Posts

Showing posts from 2020

සම්භාව්‍ය සාහිත්‍යගත භාෂා පරිවර්තන ක්‍රමවේද | Translation Methods in Classical Literature

මෙහි මුල් ක්‍රමවේද අට ඩග්ලස් එච්. රොබින්සන් (Douglas H. Robinson) ගේ Becoming a Translator කෘතියේ එන 'පාඨ විශ්වාස්‍යතා ප්‍රවර්ග' (Types of Text Reliability) අනුසාරයෙනි (Robinson, 2003: 12).   1. Literalism/ අනුපදීකරණය - පරිවර්තනයක් බව පැහැදිලි ව පෙනෙන සේ මුල් කෘතිය පදයෙන් පදය සිය බසට පෙරැළීම 2. Foreignism/ විභාෂාකරණය - පරිවර්තනයක් බව ඇඟැවෙන සේ මුල් කෘතියෙහි භාෂා සංස්ථිතික ලක්ෂණ සිය බසෙහි රැඳෙන සේ පෙරැළීම 3. Fluency/ ව්‍යක්තකරණය - පරිවර්තනයක් දැ යි සිතාගත නොහැකි වන ලෙස මුල් කෘතියේ භාෂා සංස්ථිතික ලක්ෂණ සඟවා සිය බසට පෙරැළීම 4. Summary/ සාරාංශකරණය - මුල් කෘතියේ අතිදීර්ඝ, පුනරුක්තික, අනවශ්‍ය ස්ථාන කෙටි කොට සිය බසට පෙරැළීම 5. Commentary/ විවරණය - මුල් කෘතියේ ඇතැම් තැන් වඩාත් විස්තරාත්මක ව ප්‍රකට වන පරිදි පැහැදිලි කරමින් සිය බසට පෙරැළීම 6. Summary-Commentary/ සාරාංශ-විවරණය - මුල් කෘතියේ ඇතැම් තැන් හකුළුවමින් ද ඇතැම් තැන් වඩාත් විස්තර කරමින් ද සිය බසට පෙරැළීම 7. Adaptation/ අනුවර්තනය - මුල් කෘතියේ වස්තුව පමණක් ගෙන එහි බොහෝ සංස්කෘතික ලක්ෂණ හළා සිය රටෙහි සංස්කෘතික ලක්ෂණවලට සීහෙන පරිදි ස...

"දදය ඔබ ගෙ පාළු යකා"

Image
උපුල් ශාන්ත සන්නස්ගල (සන්නා) අද උදාසන සිංහල පාඩමක් උගන්වා තිබේ. ඒ පාඩම රැ. තෙන්නකෝනුන් ගේ 'කුකුළු හැවිල්ල' ගැන ය. සන්නා කියන්නේ "...'දදය ඔබ ගෙ පාළු යකා' නෙවෙයි පුතා 'දදය ඔබ ගෙ පාළු ය කා'..." කියා ය.  මේ අර්ථ නිරූපණය සන්නා ස්වයංභූ ඥානයෙන් පහළ කැරැගත් එකෙක් නො වේ. මේ වනාහි සුචරිත ගම්ලතුන් ගෙන් උළා කෑ දැනුම යි. කා ගෙන් උළා කෑවක් වුව ද මේ කරුණ සපුරා ම වැරැදි ය. සන්නා දන්නා තෙන්නකෝන් කෙනක් ද නැත; 'කුකුළු හැවිල්ලක්' ද නැත. තකහණියක් මෙය ලියන්නේ සන්නා ගේ වාචාල කෙප්පය අසා මුළා වූ ගුරු සිසු පිරිස උදෙසා ය.    'කුකුළු හැවිල්ල' පැදි පෙළ ඇතුළත් වන්නේ රැ. තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" නම් පැදි පොතේ ය. "හැවිල්ල"වනාහි පිටු 112කින් යුතු කුඩා කවි පොතෙකි. රැ. තෙන්නකෝනුන් එය ලියා හමාර කොට එහි අත් පිටපත කුමරතුඟු මුනිදසුන් වෙත රැගෙන ගියේ 1940 සැප්තැම්බර 07, වැනි දා, සෙනසුරාදා ය. අනතුරු වැ කුමාරතුංග මුනිදාසයන්, ජයන්ත වීරසේකරයන්, රැ. තෙන්නකෝනුන් ඇතුළු පිරිස එය කියවා බලා නැවැත සකසා පාණදුරේ පහන් පහරෙහි  මුද්‍රණය කොට පළමු වැනි වරට පළ කෙළේ 1940 දෙසැම...

හැවිල්ල අසූ විය සපුරයි!

Image
1940 දෙසැම්බර 01 වැනි දා එළි දුටු රැයිපියෙල් තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" පැදි පොත 2020 දෙසැම්බර 01 වැනි දා අසූ විය සැපිරී ය. එහි ආ 'කුකුළු හැවිල්ලෙන්' කොටසක් සුනිල් සාන්තයන් ගේ සර හා හඬ හා මුසු ව ගීයක් බවට පත් වැ හැත්තෑ පස් වසරක් වත් වෙයි. එහෙත් ඇතැමෙක් තව මත් එයට හරි හැටි අරුත් බණන්නට ද නොපොහොසත් ය. රැ. තෙන්නකෝනුන් විසින් ලියැවුණු "හැවිල්ලේ" අත් පිටපත කුමාරතුංග මුනිදාසයන් වෙත ලැබුණේ 1940 සැප්තැම්බර 07 වැනි දා, සනි දා ය. ඒ බව 1940 සැප්තැම්බර 09 වැනි දා, සඳු දා නිකුත් වූ 'සුබසෙහි' 2 වැනි වෙළුමේ 8 වැනි කලබේ 128 වැනි පිටුවේ සඳහන් වේ. එහි "හැවිල්ලේ" වස්තු සාරයත් 'කුකුළු හැවිල්ල' මුලින් ලියැවී තුබුණු සැටිත් එය ගැයිය යුතු විරිතත් සඳහන් වේ.  මෙහි උපුටා දැක්වෙන්නේ එහි දැක්වුණු මුල් 'කුකුළු හැවිල්ල' යි. එය "හැවිල්ල" පැදි පොතෙහි පළ වූයේ කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර දෙ වියතුන් ගේ ද පහසට පත් වැ අද අපට අසන්නට ලැබෙන 'කුකුළු හැවිල්ල' බවට පත් වූ පසු ය. රැ. තෙන්නකෝන් විසින් ලියැවුණු මුල් 'කුකුළු හැවිල්ලට' වඩා පසු ව...

කුමරතුඟු මුනිදසුන් ගේ පැරැණි ම පැදි පෙළ

Image
කුමාරතුංග මුනිදාසයන් විසින් ලියන ලද පැරැණි ම පැදිය ලෙස සැලැකෙන්නේ 1905 දී "කණා කවුද?" යන මැයින් කවි කොළ විරිතින් ලියා පුවත්පතක පළ කළ තනි පැදියක්. ඉන් පසු කුමාරතුංග මුනිදාසයන් ලියූ සපිරි පැදි පෙළක් හැටියට හමු වුණේ 1907 අගෝස්තු 20 වැනි දා දොන් ජානිස් මුතුකුමාරණ නම් වැඩිමහලු මිතුරකුට ලියා යැවූ ලියුමක්. එහෙත් මේ සමඟ පළමු වරට මාධ්‍යයක පළ වන පැදි පෙළ අර කී මිතුරාට ම 1907 ජනවාරි 20 වැනි දා ලියා යැවූවක්. ඒ අනුව මෙය තමයි කුමාරතුංග මුනිදාසයන් ගේ දැනට හමු වී ඇති පැරැණි ම පැදි පෙළ! එවක කොළඹ ගුරු ඇබෑසි විදුහලේ ඉගැනුම ලැබූ විසි හැවිරිදි සිසුවකු වූ කුමාරතුංග මුනිදාසයන් මේ ලියුම ලියලා තියෙන්නේ දොන් ජානිස් මුතුකුමාරණ නැමැති වැඩි මහලු මිතුරාට යි. පසු ගිය වසරේ තමන් ගේ ඉගැනුම් කටයුතු සඳහා ඔහු ගෙන් ලැබුණු රුපියල් හතක මුදල වෙනුවෙන් ස්තුති කරන කුමාරතුංගයන් මේ වසරේ ඉගෙනුම් කටයුතු සඳහා රුපියල් පහක් දෙන ලෙස මේ පැදි පෙළෙන් බොහොම යටහත් ව ඉල්ලා සිටිනවා. මේ පැදි පෙළ අප වෙත ලැබුණේ රුහුණු සරසවි සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ධර්මා රාජපක්ෂ මැතිනිය ගෙන්. එතුමියට මේ පැදි පෙළ ලබා දී ඇත්තේ උසස් පෙළ පිළිතුරු පත් ඇගැ...

නො කියවන සිසුවා සරසවි නො යා යුතු ය!

Image
"Two books a week is the normal ration, three not unusual: and this goes on throughout one's life. From children's stories and fiction, one slips unselfconsciously into biography, travel, poetry, drama, and ultimately into solid literature. This is the main part of the education of the undergraduate; and indeed a student who does not read at least two books a week ought not to go to a University, because he lacks education, no matter how many examinations he passed." Prof. Sir William Ivor Jennings  "... සතියකට පොත් දෙකක් කියැවීම සාමාන්‍ය අනුපාතය යි. එය සතියකට පොත් තුනක් වුව ද අසාමාන්‍ය නො වේ. මෙය යමකු ගේ ජීවිතය කාලය පුරාවට ම අදාළ ය. ළමා කතාවලින් සහ ප්‍රබන්ධ කථාවලින් පටන් ගන්නෙක් අවිඥානික ව ම චරිතාපදාන, චාරිකා විත්ති, කාව්‍ය, නාට්‍ය ආදිය ඔස්සේ අවසනැ සාරගර්භ සාහිත්‍ය කරා කෙමෙන් යොමු වෙයි. උපාධි අපේක්ෂකයකු ගේ අධ්‍යාපනයේ ප්‍රධාන අංගය වන්නේ කියැවීම යි. ඇත්තෙන් ම, සතියකට පොත් දෙකක් වත් නො කියවන ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයයකට නො යා යුත්තෙකි. මන් ද යත් කොතරම් විභාග සමත් කළ ...

පුරාණ සුවර්ණ භාෂිත

Image
01.  वैयाकरणप्रशंसा   वैयाकरणकिरातादपशब्दमृगां क्व यान्ति सत्रस्ताः | ज्योतिर्नटविटगायकभिषगाननगह्वराणि यदि न स्युः ||          - सुभाषितरत्नभाण्डागार (42.1)   වෛයාකරණප්‍රශංසා වෛයාකරණකිරාතාදපශබ්දමෘගාං ක්ව යාන්ති සන්ත්‍රස්තාඃ ජ්‍යෝතිර්නටවිටගායකභිෂගානනගහ්වරාණි යදි න ස්‍යුඃ - සුභාෂිතරත්නභාණ්ඩාගාර (42.1) ව්‍යාකරණඥයන් විසින් පලවනු ලැබූ අපශබ්ද නැමැති මුවෝ බියේ පැන ගොස් ජ්‍යෝතිර්වේදීන්, රංගනශිල්පීන්, ගායකයන්, වෛද්‍යයන් ආදීන් ගේ මුඛයට වදිති. ------------------------------------------------------------------------------------------------------------- 02.   एकाक्षरं सदाचारं - यो गुरु नाभिवन्दथे  स्वान योनि शतङ् भूत्वा - चण्डालेश्वपि जायथे   ඒකාක්ෂරං සදාචාරං - යෝ ගුරු නාභිවන්දතේ ස්වාන යෝනි ශතං භුත්වා - චණ්ඩාලේෂ්වපි ජායතේ එකකුරෙකුදු               ඉගැන්වූ ගුරු හට නො වැඳි        මිනිසා සිය වර බලු වැ                  උප...

කුමාරතුංග මුනිදාස බෞද්ධ විරෝධියෙක් ද?

කුමාරතුංග මුනිදාසයන් බුදු, දම්, සඟ (බුද්ධ, ධම්ම, සංඝ) යන තෙරුවන වෙනුවට බස, රැස, දෙස (භාෂාව, ජාතිය, දේශය) යන තෙරුවන ආදේශ කළ හ යි බුකිවාසී කෘතක පණ්ඩිතයෝ කිහිප දෙනෙක් ම කියති. කෙනෙක් ඊට සාධක පිණිස එහෙන් මෙහෙන් අහුලාගත් අසම්බන්ධ උද්ධෘත ද දක්වති. මේ අලුත් පන්නේ විවේචකයන් කුමාරතුංග මුනිදාසයන් ගැන විනිශ්චය කිරීම පිණිස ඔවුන් ලියූ දැයක් කියවා ඇත්නම් ඒ "හත්පණ", "මඟුල් කෑම", "හීන් සැරය" පොත් තුන හැරුණු කොට "ලක් මිණි පහන් කතුවැකි" පොතත් "කුමාරතුංග ගේ සමාජ දර්ශනය" පොතත් පමණි. ඉතින් කුමරතුඟු පබඳ සයුරක් නම් එහි ඔබා පිටතට ගෙන හත් විටක් ගැසූ අස් ලොමෙක ඉතිරි වන දිය බිඳිත්ත තරමේ සුඟෙකි, ඔවුන් කියවා ඇත්තේ. ඒ නිසා ඔවුන් කියන්නේ ඔවුන් ගේ ලොකු ඔළු ගෙඩිවල හිස් බව පුරවන්නට ම මැවුණු විකාර විනා ඇත්ත නො වේ. එසේ නම් ඇත්ත කිමෙක් ද? කුමාරතුංග මුනිදාසයෝ වනාහි යටත් විජිත සිංහල ද්වීපයේ වුසූ තාක් සියල්ලන් ම කිසි දු භේදයෙකින් තොර ව අධිරාජ්‍යවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයට එක් කොටගන්නට වෑයම් කළ කෙනෙකි. "ආගමය පෞද්ගලික යැ" යි ද "එය උවමනා විටෙක වෙනස් කළ හැකි යැ...

ප්‍රවණතා කාරක ප්‍රියන්ත ප්‍රනාන්දු

Image
ප්‍රියන්ත ප්‍රනාන්දු (1952.09.05 - 2018.05.01) ජනප්‍රිය ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු අභාව ප්‍රාප්ත වී 2020 මැයි 01 වැනි දාට වසර දෙකක් සැපිරෙයි. මේ සැකෙවි සටහන ඔහු අනුස්මරණය කරනු සඳහා ය. ශ්‍රී ලාංකේය පොප් ගී සම්ප්‍රදායයේ පුරෝගාමියා වූ සී. ටී. ප්‍රනාන්දු ගේ එක ම පුත්‍ර රත්නය වසයෙන් 1952 සැප්තැම්බර 05 වැනි දා මෙ ලෝ එළි දුටු ප්‍රියන්ත සිංහල ගීත සාහිත්‍යයෙහි ඉතිහාස ගත වන්නේ අනුප්‍රාප්තික ගායක පුත්‍ර සම්ප්‍රදායයේ පුරෝගාමියා හැටියට ය. එ නම් සිය පියා ගේ වියොවින් පසු පියා ගේ ගී ගැයීමට ඉදිරි පත් වූ පළමු වැනි පුත්‍රයා හැටියට ය. ජනප්‍රියත්වයෙහි හිණි පෙත්තෙහි සිටිය දී අකල් මරණයකට ගොදුරු වූ සිය පියාණන් වූ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීත ගැයීමට ප්‍රියන්ත ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වූයේ 1978 දී ය. එ වක් පටන් 2018 දී මඳ කලක් ගිලන් ව සිට මෙ ලෝ හැර යන තුරු පුරා සතළිස් වසරක් ප්‍රියන්ත සිය රසික ජනයා පිනැවී ය. මේ සටහනෙහි සිරසෙහි ප්‍රියන්ත හඳුන්වා ඇත්තේ ප්‍රවණතා කාරකයකු හැටියට යි. ප්‍රවණතා කාරකයෙක් යනු අලුත් ප්‍රවණතාවක් ඇති කළ පුද්ගලයෙකි. ප්‍රියන්ත ඇති කළ ප්‍රවණතාව වූයේ ගායකයකු ගේ වියොවින් පසු ඔහු ගේ ගී ගැයීමට පු...

කුණු සින්නො - 7: "මල්ලි, මට මේක ට්රාන්ස්ලේට් කරලා දෙන්න පුළුවන් ද?"

සරසවියේ පළමු වැනි වසරේ දී මා හදාළේ සිංහල, ඉංගිරිසි, වාග්විද්‍යාව යන විෂය ත්‍රයය යි. දෙ වැනි වසරේ පටන් ඉන් එක් විෂයයක් තෝරාගෙන විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ ඒ තුන ම තෝරාගෙන සාමාන්‍ය ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ හදාළ යුතු විය. විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හදාරන බවට මා ඒ වන විටත් තීරණය කොට තුබුණ ද ඒ කවර විෂයයෙන් ද යන තීරණය ගැනීම පහසු වූයේ නැත. පළමු වැනි වසරේ හදාළ විෂය ත්‍රයයෙන් ඕනෑ ම එකක් විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සඳහා හැදෑරීමට සුදුසු කම් ලබා තිබීම ප්‍රශ්නය තවත් සංකීර්ණ කෙළේ ය. වැඩි දෙනකු මා තල්ලු කෙළේ ඉංගිරිසි හැදෑරීමට ය. එහෙත් විචාර ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම සඳහා උද්ධෘත පාඨ කට පාඩම් කිරීම මහා වේදනාවක් සේ සලකන මට ඉංගිරිසි හෝ සිංහල හෝ සමඟ විශේෂ ශාස්ත්‍රවේදී දීගය කෑ නොහෙන බව වැටැහිණි. එහෙත් වාග්විද්‍යාව කෙරෙහි මසිතැ පැවැත්තේ නොසිඳෙන කුහුලෙකි; ළිය ලන ආශාවෙකි; ඤාණ පිපාසාවෙකි. මා ගේ ආචාර්ය භවතුන් දෙදෙනකු යෝජනා කළ පරිදි වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සපුරා ම ඉංගිරිසි මාධ්‍යයෙන් හැදෑරීමට අන්තිමේ දී මම තීරණයක් ගත්තෙමි. වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව හදාරන්නට පටන් ගත් අලුත එ...

කුණු සින්නො - 6: "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු"

එදා සරසවියේ දෙසුම් හමාර වූයේ මහ දවාලේ ය. හැන්දෑවේ දෙසුම් නැත. ඒ නිසා නවාතැනට යා යුතු ය. සුපුරුදු පරිදි වේවැල්දූව පාරෙන් යන්නට සිත් වුව ද මහ දවාලේ අව්ව නිසා ඇති වූ දාහය එයට සිත මැළි කරවයි. ඒ නිසා සරසවියේ ඉදිරි පසින් ම යන්නට අදහස් කෙළෙමි. තෙල් බැම්ම ඉස්සරහින් ගිය හොත් කුණුහරුප වරුසාවකට තෙමෙන්නට සිදු වන බැවින් පුස්තකාලයය පැත්තට ගොස් මී අඹ සෙවණ මැද්දෙන් තෙල් බැම්ම මඟ හැර යන්නට පටන් ගත්තෙමි. තෙල් බැම්මේ කුණු සින්නන් කුණු හරුප කියනු පෙනිපෙනී ඇසිඇසී යා යුතු ගමනක් නිසා හද ගැස්ම නැඟෙයි. එහෙත් ඒ වේලාවේ සිත බල කෙළේ ඒ පාරෙන් යන්නට ය. වැඩි දුරක් යා නො දී මී අඹ සෙවණේ වූ සින්නෙක් මා නෙත ගැටිණි. ඒකා බළල් කුලේ එකකු බව පසු කලෙක දැනගන්නට ලැබිණි. කටේ දිවේ නො ගෑවී කුණු හරුප කීමෙහි ලා සියලු කුණු සින්නන් අතුරෙන් පෙරමුණේ ම සිටියේ ඒකාත් තවත් එකකුත් ය. එහෙත් ඔහු සිටියේ මට පිටු පාලා ය. ඒක සැනැසීමකි. ඒ නිසා ඒකා ගේ බළල් ඇසෙහි නො ගැටී යාගත හැකි වෙති යි සිතූ මම ඒ පැත්ත වත් නොබලා පය ඉක්මන් කෙළෙමි. ඒ හැටි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්!" යනුයෙන් ඒ බළල් කුලයා හඬ නඟනු ඇසිණි. මම නෑසුණා සේ යන්නට තැනීමි...

කුණු සින්නො - 5: "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?"

වෙසක් පෝය ළං වෙද්දී සද්ධා බුද්ධි සම්පන්න කුණු සින්නෝ නවක ශිෂ්‍යයන් කණ්ඩායම් ගණනාවකට බෙදා සරසවිය පුරා එල්ලන්නට වෙසක් කූඩු හදන්නට පැවැරූ හ. යම් පිරිසක් කැමැත්තෙන් හා කැපවීමෙන් හා ඒ වැඩේ යෙදුණ හ. ඇතැමෙක් බේරෙන්නට හැටියක් නැති නිසා ඒ වැඩේ යෙදුණ හ. කැට හොල්ලා සිඟාගත් මුදලින් දෝ වෙසක් කූඩු සඳහා කඩදහි, බටපතුරු ආදිය සැපැයිණි. කොපමණ මුදලක් වෙසක් කුඩු නො හදා ම නිවන් ගියා දැ යි හරියට නො දනිමි. කෙසේ හෝ ඒ වෙසක් කූඩු වසංගතයෙන් බේරීමට මම සමත් වූයෙමි. ඔය දිනවල මා කුණු සින්නන් නියම කළ ඇඳුම් කට්ටලය ඇන්දේ නැති නිසා බේරී සිටින්නට හැකි වූ නමුදු මා සිටියේ මායිම් ගම්මාන වැසියකු මෙන් කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙනි. එක් දිනක් කුමක් දෝ ඉංගිරිසි පැවැරුමක් සඳහා අවශ්‍ය වූ පොත් වගයක් සොයාගන්නට පොත්ගුලට ගිය මම හෙමින් සීරුවේ තෙල් බැම්ම මඟ ඇර මී අඹ සෙවණ පැත්තෙන් පල්ලම් බැස්සෙමි. තෙල් බැම්ම පැත්තෙන් නො ගියේ එහි ගියොත් අනිවාර්ය පීඩාවකට පත් වන බැවිනි. මී අඹ සෙවණේ මහා පතරංග වෙසක් කූඩු රාජයකු ඉදි වන බව මා දක්නා විට ආ පසු හැරෙන්නට පමා වැඩි ය. මම ඉදිරියට ම පය මෙහෙයීමි. වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට්...

කුණු සින්නො - 4: "ඈ යකෝ, උඹලෑ ගෙදර තාත්තට වඩා අම්මා වැඩිමල් ද?"

මා මුලින් ම තෙල් බැම්මට අසු වූ දා මට අද මෙන් මතක තිබේ. එවක බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට යකඩ වැට පටන් ගන්නා කෙළවරේ මොකක් දෝ රූස්ස ගහක් තිබිණි. කුණු සින්නන් තෙල් බැම්මේ දී කියන කුණු හරුප ඉවසා දරා වාවාගත නොහී දෝ පසු කලෙක ඒ මහා වෘක්ෂ රාජයා මුලින් ඉදිරී වැටිණි. මා මුලින් ම කුණු සින්නකුට අසු වූයේ අන්න ඒ මහා වෘක්ෂ රාජයා පා මුල දී ය. උදේ අටට පමණ පටන් ගන්නා දේශනයකට සහභාගී වීම සඳහා මම අඩියට දෙකට දේශනා ශාලාව බලා දුවමින් සිටියෙමි. ඒ වන විට මා වේවැල්දූව පාර සොයාගෙන නොතුබුණු බැවින් ආවේ ගියේ කවුරුනුත් සරසවි යන එන ඉස්සරහ පැත්තෙනි. මා එනු දැක "ඒයි, ෆස්ට් ඉයර්, මෙහෙ වරෙන්" කියා කුණු සින්නෙක් මා ඔහු ළඟට කැඳවී ය. මම ඒකාට කීකරු වුණෙමි. "ගුඩ් මෝනිං" කුණු සින්නා මට ආචාර කෙළේ ය. මම ද පිළිතුරු විසින් "ගුඩ් මෝනිං" කීවෙමි. "මල්ලි, උඹේ ගම කොහේ ද?" හේ ඉතා ආදරයෙන් ඇසී ය. "ගාල්ලේ" මම කීවෙමි. "ගෙදර ඉන්නේ කවුරු කවුරු ද?" ඒ ඊළඟ ප්‍රශ්නය යි. "අම්මයි තාත්තයි මමයි" මට පිළිතුර හමාර කරන්නට ලැබුණේ නැත. කුණු සින්නා හෙණ පතයක් ගැසුවා සේ පුපුරා පැන්නේ ය. ...

කුණු සින්නො - 3: "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ"

එදා පැවැත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහාත්මාව ගේ 'විචාරාත්මක චින්තනය' (Critical Thinking) දේශනය යි. දේශන ශාලාව K28 ගොඩනැඟිල්ලේ එකක් බව ද මතක තිබේ. දේශනය ඉවර වන විට වේලාව හවස හතරට පමණ ඇත. උදේ පටන් දේශන කිහිපයකට ම සහභාගී වූ බැවින් සරසවිය පසු පසින් පල්ලම් බැස වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක් පමණ පයින් ගොස් නවාතැනට යන්නට ගතට ද සිතට ද හයියක් නැත. එබැවින් අනෙක් නවක සිසුසිසුවියන් ද සමඟ රොත්ත පිටින් තෙල් බැම්ම පසු කැර යාමට මම හිත හදාගත්තෙමි. හැන්දෑව නිසා දෝ තෙල් බැම්ම ළඟ ඒ වන විට එතරම් කුණු සින්නෝ නුවූ හ. එහි වූ කිහිප දෙනා අතුරින් හීන්දෑරි උස එකෙක් "ඒ, ඒ, ෆස්ට් ඉයර්, මෙහෙ වරං" කියා එක රොත්‍තට යමින් සිටි අප බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට පදික වේදිකාව වෙත කැඳැවූ හ. ශ්‍රී සුමංගල ශබ්දකෝශයේ එක් වෙළුමක් තරම් විශාල පොතක් කිහිල්ලේ ගහගත් දොඩමක් දෙකක් පමණ උස ඇති කුණු සින්නෙක් එහි සිටියේ ය. ඒ පොතක් අතැති ව කුණු සින්නකු බැම්මේ සිටිනු දුටු පළමු වැනි වතාව යි. ඔහු අතැ තුබුණු පොත වාණිජ්‍ය ධාරාවේ ගිණුම්කරණය හෝ අළෙවිකරණය හෝ වැනි විෂයයක් ගැන ඉංගිරිසි මාධ්‍යයෙන් ලියැවුණු පොතෙකි. "ආදරණ...

කුණු සින්නො - 2: "අඩෝ, උඹ අපේ ඉස්කෝලෙ ලොකු සර් වගේ"

ඒ මගේ සරසවි දිවියේ මුල් සති කිහිපයෙන් එකක් බව හොඳින් මතක ය. මුලින් ම සරසවි ආ දා ලක්ෂ ගණනක් වටිනා තොරණක් යටින් කැඳවාගෙන ගොස් කඩදහි පිඟානේ කිරිබත් කන්නට දී සාදරයෙන් අප පිළිගත් කුණු සින්නන් ඒ වන විට ඔවුන් ගේ දෛනික කුණුහරුප සංදර්ශනය අරඹා තිබිණි. දින පතා උදේ හතට පමණ තෙල් බැම්ම වෙත පැමිණ පාර දෙපසේ පෙළට හිටගෙන ඌ තුමූ නවක සිසුන් බිය වද්දමින් කුණුහරුප කියති. වෙන කරන්නට දෙයක් නැති නිසා මුලින් මුලින් හිස් බඩ ම කුණුහරුප අසාගෙන සරසවි ගිය ද සතියක් හමාරක් යන විට තෙල් බැම්ම මඟ හැර ආ හැකි පාරක් සොයාගැනීමට අපි සමත් වූමු. එනම් සරසවිය පිටුපසින් ඇතුළු වන වේවැල්දූව පාර යි. එවක් පටන් දෙසුම ඇරැඹෙන වේලාවට අඩ හෝරාවකට පමණ කලින් පුරන්සිස් පටුමඟේ නවාතැනින් පිටත් වන මම ටයර් සංස්ථා හංදියට පැමිණ එහි වූ කඩයකින් උදයට කිසිවක් කා වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා දමමින් සරසවි යමි. උදේ ම ඒ දුර ගෙවා සරසවියට ළඟා වන විට හොඳ ගණන් ය. ඉහින් කනින් ඩා දිය වැගිරේ. තෙල් බැම්මේ කුණුහරුප සංදර්ශනය පෙනිපෙනී කුණු සින්නන් ගේ උකුසු ඇසට ලක් නො වී පීඨ පරිශ්‍රයේ ගේට්ටුවෙන් ඇතුළු වීම මහත් ම අපහසු කාර්යය යි. එහෙත් මම සති දෙක තුනක් ම...

කුණු සින්නො -1: "එගොඩහ යන්නෝ"

කැලැණි සරසවියේ CCTV ප්‍රශ්නය පිළිබඳ මා ෆේස්බුක් මාධ්‍යයේ ලියූ අවස්ථාවේ පටන් මේ දක්වා මටත් මගේ දෙමාපියනටත් අතොරක් නැති ව අපහාස උපහාස කරන එවක අපේ ජ්‍යේෂ්ඨ උත්තමයන් ව සිට තව මත් කැලැණි සරසවි මහා ශිෂ්‍ය සංගමය අස්සේ හොල්මන් කරන ආතක් පාතක් නැති කුණු සින්නන් හට උපහාර පිණිස නවක වධය පිළිබඳ මගේ මතක මෙසේ ලියා තබන්නට සිතුවෙමි. මා CCTV ප්‍රශ්නයට මැදිහත් වූ අවස්ථාවේ දණ්ඩෙන් පහර කෑ සපකු සේ කිපී ගිය එකකු දිගින් දිගට ම කියන්නේ මට මානසික රෝගයක් ඇති බව ය. වාණිජවේදි උපාධිය හැදෑරීමට නියමිත කාලයේ රට වටේ රස්තියාදුවේ ගිය ඔහු දැන් හිටි හැටියේ ම මනෝරෝග විශේෂඥයකු බවට පත් ව ඇත. ඔහු කියන්නේ මට මානසික රෝගයක් ඇතැ යි ඔවුන් විනිශ්චය කළේ මා සරසවි සිසුවකු ව සිටිය දී ම බව යි. ඒ කාලයේ ඔවුන් එසේ සිතන්නට පෙලැඹැවූ එක් සිද්ධියක් මෙසේ ය. ඒ මගේ සරසවි දිවියේ පළමු වසරේ දෙ වන සමාසිකයේ මුල් හරිය විය යුතු ය. ඒ වන විටත් කුණු සින්නෝ සතියකට දවස් දෙක තුනක් වත් තෙල් බැම්මට ගොඩ වී අපට කුණුහරුප කීමෙන් විනෝදය ලද හ. මේ කියන දවසේ කවර හෝ කරුණක් නිසා ඔවුන් අපට විවේකයක් දී තිබිණි. එහෙත් අඹ ගස් සෙවෙණේ තෙල් බැම්ම මත ඉඳගෙන කාලය කා හුළං බොන කුණු සින...