"දදය ඔබ ගෙ පාළු යකා"

උපුල් ශාන්ත සන්නස්ගල (සන්නා) අද උදාසන සිංහල පාඩමක් උගන්වා තිබේ. ඒ පාඩම රැ. තෙන්නකෝනුන් ගේ 'කුකුළු හැවිල්ල' ගැන ය. සන්නා කියන්නේ "...'දදය ඔබ ගෙ පාළු යකා' නෙවෙයි පුතා 'දදය ඔබ ගෙ පාළු ය කා'..." කියා ය.  මේ අර්ථ නිරූපණය සන්නා ස්වයංභූ ඥානයෙන් පහළ කැරැගත් එකෙක් නො වේ. මේ වනාහි සුචරිත ගම්ලතුන් ගෙන් උළා කෑ දැනුම යි. කා ගෙන් උළා කෑවක් වුව ද මේ කරුණ සපුරා ම වැරැදි ය. සන්නා දන්නා තෙන්නකෝන් කෙනක් ද නැත; 'කුකුළු හැවිල්ලක්' ද නැත.
තකහණියක් මෙය ලියන්නේ සන්නා ගේ වාචාල කෙප්පය අසා මුළා වූ ගුරු සිසු පිරිස උදෙසා ය.   

'කුකුළු හැවිල්ල' පැදි පෙළ ඇතුළත් වන්නේ රැ. තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" නම් පැදි පොතේ ය. "හැවිල්ල"වනාහි පිටු 112කින් යුතු කුඩා කවි පොතෙකි. රැ. තෙන්නකෝනුන් එය ලියා හමාර කොට එහි අත් පිටපත කුමරතුඟු මුනිදසුන් වෙත රැගෙන ගියේ 1940 සැප්තැම්බර 07, වැනි දා, සෙනසුරාදා ය. අනතුරු වැ කුමාරතුංග මුනිදාසයන්, ජයන්ත වීරසේකරයන්, රැ. තෙන්නකෝනුන් ඇතුළු පිරිස එය කියවා බලා නැවැත සකසා පාණදුරේ පහන් පහරෙහි  මුද්‍රණය කොට පළමු වැනි වරට පළ කෙළේ 1940 දෙසැම්බර 01 වැනි දා ය. මේ තොරතුරු සියල්ල කුමරතුඟු මුනිදසුන් සකස් කළ සුබස සගනුවේ 2 වැනි වෙළුමේ 12, 13, 14, වැනි කලප්වල සඳහන් වේ. 1954 දී දෙ වැනි වරට මරදානේ අනුල පහරෙහි ලා "හැවිල්ල"  මුද්‍රණය කැරිණි. මේ සමඟ දක්වා ඇත්තේ ඒ මුද්‍රණයෙන් උපුටාගත් සේයාරූ කිහිපයෙකි.

උසස් පෙළ සිංහල විෂයය සඳහා නිර්දිෂ්ට ව ඇත්තේ රැ. තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" පැදි පොතෙහි එන 'කුකුළු හැවිල්ල' නම් පැදි පෙළෙහි කොටසෙකි. ඇත්තෙන් ම 'කුකුළු හැවිල්ල' ඔය උසස් පෙළට නිර්දිෂ්ට ව ඇති එකට වඩා දිග ය. උසස් පෙළට නිර්දිෂ්ට වැ ඇත්තේ ඒ පැදි පෙළෙන් උපුටාගෙන සුනිල් සාන්තයන් ගීයක් වසයෙන් ගායනා කළ කොටස පමණි. ඒ වනාහි 'කුකුළු හැවිල්ලේ' පසුබිම් විස්තර ඇති කොටස් ඉවත් කැරැගත් හුදු හැවිල්ල පමණක් ම වේ. ඒ නිසා උසස් පෙළ සිංහල විෂයයට නිර්දිෂ්ට වැ ඇත්තේ "කුකුළු හැවිල්ල" පැදි පෙළ නො ව සුනිල් සාන්තයන් ගායනා කළ "කුකුළු හැවිල්ල" ගීතයෙහි පද මාලාව බව සැලැකිය යුතු ය. 

"...'දදය ඔබ ගෙ පාළු යකා' නෙවෙයි පුතා 'දදය ඔබ ගෙ පාළු ය කා'..." යි සන්නා කියන කොටස එන්නේ ඔය නිර්දිෂ්ට කොටසෙහි ය. ඔහු කියන්නේ මෙහි නිවැරැදි පාඨය විය යුත්තේ "දදය ඔබ ගෙ පාළු ය කා" බව යි. මේ වනාහි සන්නා පහළ කොටගත් දැනුමෙක් නො වේ. ඔහු මෙය උළා කෑවේ 'ඉසි ඇසි තෙන්නකෝන්' මැයින් දසක දෙකකට පමණ පෙර සුචරිත ගම්ලතුන් 'ඉරිදා දිවයිනට' සැපැයූ 'සති සිතු මිණි' තීරු ලිපියෙකිනි. මේ තීරු ලිපිය "සති සිතු මිණි" පොත් පෙළේ පළමු වැන්නේ 28 වැනි පිරිසිඳිය ලෙස නැවැත පළ කොට තිබේ. ගම්ලතුන් එහි කියන්නේ, මේ හැවිල්ල කරන ගැමි ලිය ගේ කුකුළා සොර කම් කළ තැනැත්තා කතරගම දෙවියන් ගේ කොඩිය කා දමා පාළු කළ බවෙකි. මන්ද යත් කතරගම දෙවියන් ගේ කොඩියේ ඇත්තේ කුකුළෙකි. එබැවින් ගැමි ලිය ගේ කුකුළා මරා කෑ එකා කෙළේ කතරගම දෙවියන් ගේ කොඩිය කා දමා එය පාළු කිරීම යි. බැලු බැල්ම
ට හොඳ අදහසක් වුව ද ඇත්ත මෙය නො වේ.    

රැ. තෙන්නකෝනුන් හෙළ හවුලේ කවියන් අතුරින් ප්‍රමුඛතමයා වූ බව කවුරුත් දනිති. කුමාරතුංග මුනිදාසයන් ඔවුනට 'කිවිසුරු' යන ගෞරව නාමය පිරිනැමුවේ ද ඒ නිසා ය. හෙළ හවුලේ ඇතුළතකු වූ රැ. තෙන්නකෝනුන් ගේ බස් වහරෙහි අනන්‍ය ලක්ෂණයක් වූයේ ඇකාර යෝගය යි. එබැවින් "දදය ඔබ ගේ පාළු ය කා" වැන්නක් රැ. තෙන්නකෝනුන් අතින් කැලම ලියැවෙන්නේ නැත. ඒ අදහස දීමට උවමනා විණි නම් රැ. තෙන්නකෝනුන් ලියන්නේ "දදය ඔබ ගෙ පාළු යැ කා" යනුවෙනි. වාක්‍ය සමාප්තික ය නිපාතය ඇකාර සහිත වැ යෙදීමත් එය පෙර පදයෙන් වෙන් කොට ලිවීමත් රැ. තෙන්නකෝනුන් අනුදත් සුබස්  පිළිවෙත යි. "හැවිල්ල" පොතේ හැම තැන ම නිසි ලෙස ම ඇකාරය යෙදූ, නිසි ලෙස ම පද බෙදූ තෙන්නකෝනුනට මෙහි පමණක් ඒ දෙක ම වැරැදීමට හේතුවෙක් නැත. ඒ නිසා ගම්ලතුන් සිතන පරිදි මෙය සුනිල් සාන්තයන් වරදවා ගැයූවක් නො වේ. නිවැරැදි පෙළ "දදය ඔබ ගෙ පාළු යකා" ම බව මේ සමඟ දක්වා ඇති "හැවිල්ල" පැදි පොතේ 39 වැනි පිටුව සනාථ කරයි. සුචරිත ගම්ලතුන් "හැවිල්ල" පැදි පොත නො බලා රෑ වැටුණු වළෙහි සන්නා උදේ පාන්දර ම වැටුණේ ගම්ලතුන් ගේ දැනුම උළා කන්නට ගිය නිසා ය. ඕවා දිට්ඨධම්මවේදනීය කම්මවිපාක ය.

මෙහි  නිවැරැදි පෙළ "දදය ඔබ ගෙ පාළු යකා" නම්, එවිට ඒ නිවැරැදි පෙළෙහි අරුත කුමක් ද යනු කාට වුවත් මතු වන සාධාරණ ප්‍රශ්නයෙකි. එය විසැඳීමට කෙස් පැළෙන තර්ක නැඟීමට අවශ්‍ය නො වේ. "හැවිල්ල" පැදි පොතට ජයන්ත වීරසේකරයන් සැපැයූ 'විවරුව' බැලීමෙන් ඒ අවුල ලිහාගත හැකි ය. මේ සමඟ දක්වා ඇති එහි 82 වැනි පිටුවේ "පාළු" යන්නට ජයන්ත වීරසේකරයන් අරුත් දක්වා ඇත්තේ "පාළු = පැහැරගත්" යනුවෙනි. "හැවිල්ල" කියවා බැලුව ද මෙය නම් වටහාගැනීමට සන්නාට නුවණ නැත. පැහැරගැනීම යන අරුත්හි යෙදෙන "පහර" ධාතුවෙහි අතීත කාල කර්තෘ කාරක කෘදන්තය සකස් වන්නේ "පහළු" යනුවෙන් බව "ක්‍රියා විවරණයේ" 179 වැනි පිටුව දක්වයි. පැදි පෙළෙහි ඇති "පාළු" යන්න සකස් වන්නේ අන්න ඒ "පහළු" යන්නෙහි මධ්‍ය හ්කාර ලෝපයත් සමඟ සිදු වන්නා වූ සමාන ස්වර දීර්ඝයෙනි. තැන්පත් සිහිය අඩු දුනැණයකු වන සන්නා කෙසේ වෙතත් මෙය කියවන පාසල් ගුරු සිසු දෙපිරිස මේ ටික තේරුම් ගත හොත් ප්‍රමාණවත් ය.        

සන්නා "හැවිල්ල" ගැන දන්නා පමණ එතෙකින් හෙළි කොට ඊ ළඟට තමා ‍රැ. තෙන්නකෝනුන් ගැන දන්නා පමණ හෙළි කරන්නේ "රුපියල් තෙන්නකෝන් නෙවෙයි පුතා. රැපියල් හෝ රැයිපියල් තෙන්නකෝන්!" බවක් කියමිනි. රැ. තෙන්නකෝනුන් ගේ නම "රුපියල්"  නොවන බව සැබෑ ය. එසේ ම එය "රැපියල්" හෝ "රැයිපියල්" හෝ ද නො වේ.  ඔවුන් ගේ මුල් නම රෆායෙල් (Raphael) ය. ඒ ඉංගිරිසි නම ඔවුන් සිංහල කොටගත්තේ "රස වූයේ ද පිය වූයේ ද"  යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන වන පරිදි "රස+පිය+ලු > රැසි+පිය+ලු > රැහිපියෙලු > රැයිපියෙලු > රැයිපියෙල්" යනුවෙනි. ඒ අනුව "හැවිල්ල" පැදි පොත ලියූවේ රැයිපියෙල් තෙන්නකෝනුන් ය; ඊට 'විවිසුව' (විචාරය) ලියූවේ කුමාරතුංග මුනිදාසයන් ය; එහි අරුත් පැහැදිලි කරනු පිණිස 'විවරුව' (විවරණය) ලියූවේ ජයන්ත වීරසේකරයන් ය; එහි වූ 'කුකුළු හැවිල්ලෙන්' කොටසක් ගීයක් කෙළේ සුනිල් සාන්තයන් ය. මේ සිවු දෙනා ම බසෙහි උසස් දැනුම් ඇති හෙළ හවුලේ මහා පුරුෂයෝ ය. ඒ නිසා ඔවුන් ගේ කෘතිවල සන්නාට සන්න කියන්නට දෙයක් ඉතිරි වී නැත. තමාට නොවැටැහෙන යමක් ඔවුන් ගේ කෘතියෙක දුට හොත් සන්නා කළ යුත්තේ සිංහල දන්නා කවරකු හෝ වෙත එළැඹ එය අසා ඉගෙනගැනීම යි. ඒ විනා සිය රිසි සේ ඒ කෘති විකෘති කොට තම දුනැණ පමණින් බොරු අටවා පටවා රට්ටුන් මුළා කිරීම නො වේ.  

අවසන් විසින් උපුල් ශාන්ත සන්නස්ගලට කියන්නට තිබෙන්නේ "පුතා, අගක් මුලක් නැති කෙප්ප කෙළලා බාල පරපුරේ ඔළු කුරුවල් කරන්නේ නැතුව, පුතා දන්න මඟුලක් කරගෙන ඉන්න, පුතා" කියා ය. 

මෙය දක්නා කවරෙක් හෝ සන්නාට ද දක්වත් වා!



Comments

Popular posts from this blog

පුරාණ සුවර්ණ භාෂිත

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

Literature in Anuradhapura Period