Posts

Showing posts from 2017

සිංහළ ද? සිංහල ද?

1. 'සිංහල' වෙනුවට 'සිංහළ' ලිවීම හෙළ හවුල ඇති කළ ප්‍රවණතාවක් නො වේ. ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර, ඩී. බී. ජයතිලක, ජේම්ස් ද අල්විස්, ජුලියස් ද ලැනරෝල් වැනි මුලින් ම මෙසේ ලියූ වියත්තු හෙළ හවුලේ ඇත්තෝ නුවූ හ. පසු ව සී. ගොඩකුඹුරේ ද මෙසේ ලිවී. 2. ගල්පොත පුවරු ලිපිය, සාහස්සමල්ල රජු ගේ ලිපිය, පල්කුඹුරේ සන්නස ඈ පොලොන්නරු යුගයේ අභිලේඛන කිහිපයෙක ම මෙසේ යෙදී තුබුණු බව මතක යි. ඒවා හෙළ හවුලේ අය ලියූ ඒවා නොවන බව වෙසෙසා කියා යුතු නැතැ යි සිතමි. 3. මෙසේ ලිවීම ගැන 1939 දී කුමාරතුංග මුනිදාස ගෙන්  සුබසේ පාඨකයකු විමැසූ විට ඔහු කීවේ එසේ ලිවීම වැරැදි බව යි. සංස්කෘත තත්සමයක් වන මෙහි ළ'යන්නක් විය නොහැකි බව ඔහු සසාධක ව පහදා තිබිණි. 4. 1941 දී සුබසට ලියූ ලිපියෙක කුමාරතුංග මුනිදාස කීවේ 'සී-හෙළ' යන්න පද දෙක සන්ධි වී 'සීහළ' වී එය 'සිංහල' යනුවෙන් සකුවට ගිය බව ය. සී (චී) හෙළ යන්න ඔහු කීවේ විජයාදි ආර්යයනට ගැති කම් කළ හෙළයනට ය. 5. යක්, නා, අසුර, රකුස් යන සිවු ගෝත්‍ර හැඳින්වීමට යෙදූ සිවු හෙළ යන්න සිවු+හෙළ > සී+හෙළ > සීහළ > සිංහළ වූ බව මුලින් ම කීවේ ජයමහ වෙල්ලාල ය...

සිංහලයෙන් ලොවට ගිය තත්සම තද්භව භේදය

ලෝකයේ භාෂා අධ්‍යයන ඉතිහාසය විමසා බැලුවා ම ප්‍රධාන සම්ප්‍රදාය දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ ප්‍රාචීන සම්ප්‍රදායය (Oriental Tradition) සහ ප්‍රතිචීන සම්ප්‍රදායය (Western Tradition) යනුවෙන්. ප්‍රාචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ භාරතය. ප්‍රතිචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ ග්‍රීසිය. පුරාණ භාරතීය භාෂාඥයන් සංස්කෘත භාෂාව පිළිබඳ සූක්ෂ්ම විග්‍රහාත්මක අධ්‍යයනවල යෙදුණ කාලයේ පුරාණ ග්‍රීක භාෂාඥයන් කෙළේ භාෂාව ගැන දාර්ශනික සංවාදවල යෙදීම. මේ නිසා ප්‍රාචීන සම්ප්‍රදායය ප්‍රතිචීන සම්ප්‍රදායයට වඩා බොහෝ ඉදිරියෙන් පැවති බව ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් (Leonard Bloomfield) , ඩබ්. ඇස්. ඇලන් (W. S. Allen) වගේ නූතන වාග්විද්‍යාඥයන් පවා පිළිගෙන තියෙනවා. නූතන උච්චාරණ විෂයක ශබ්ද ශික්ෂාඥයන් (Articulatory Phoneticians) පාණිනිට සදා ණය ගැති බව වරක් ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් ප්‍රකාශ කරලා තිබුණා. ඒ විදියට ප්‍රාචීන සම්ප්‍රදායයෙන් ප්‍රතිචීන සම්ප්‍රදායය උකහා ගත්ත තවත් එක් වාග්විද්‍යාත්මක සිද්ධාන්තයක් ගැන හෙළි දරවු කිරීම තමයි මේ කෙටි ලියැවිල්ලේ අරමුණ. සිංහල භාෂාව අධ්‍යයනය කරන කවුරුත් පාහේ තත්සම, තද්භව, නිෂ්පන්න කියන වර්ගීකරණය ...

කුමරතුඟු මුනිදස් අත් අකුරු

Image
මේ කුමරතුඟු මුනිදසුන් 1932 දී රැසැයූ "පරෙවි සන්දේශ විවරණයේ" මුල් පැහැරැවුමේ පළමු වැනි පිටුවේ සේයාරුවෙකි. මෙහි "ස්වදේශ මිත්‍රයා සංස්කාරක තුමාණනට තුටු පඬුරු" යි ලියා ඊට යටින් "මු. කු." යන කෙටි අස්සනත් "1932. 11" යන දිනයත් යොදා ඇත්තේ කුමරතුඟු මුනිදසුන් විසිනි.   පසු ගිය දාක අපට මෙය හමු වූයේ කැලැණි සරසවි පොත් ගුලේ පුවසුරු D. J. විජයරත්න පොත් එකතුව පිරික්සූ විටෙක ය. කුමරත ුඟු අත් අකුරුවලට පහළින් ඇත්තේ පුවසුරු D. J. විජයරත්නයන් ගේ මුද්‍රාව යි. "D. J. WIJAYARATNE, University of Ceylon, PERADENIYA" යනුවෙන් එහි සඳහන් වේ. පේරාදෙණියේ ලක් සරසවියේ සිංහල පුවසුරුවකු ව සිටි D. J. විජයරත්නයන් බොහෝ දෙනා හඳුනන්නේ "History of the Sinhalese Noun" නම් ගත් රුවනෙහි කතුවරයා හැටියට ය. ඒ සැබෑ ගත් රුවනක් බවත් එහි කතුවරයා සැබෑ පඬි රුවනක් බවත් ඊට බැලුම් අසක් හෝ දුන්නාහු දනිති. 1932 නොවැම්බරයේ දී 'ස්වදේශ මිත්‍රයා' සකසුවනට කුමරතුඟු මුනිදසුන් තිළිණ කළ මේ පොත D. J. විජයරත්නයන් අතට පැමිණියේ කෙසේ දැ යි කියන්නට නම් අපි නො දනුමු.

විවියන් ද සිල්වා බොරලැස්ස

Image
සී. ටී. ප්‍රනාන්දු, මොරිස් දහනායක, කාන්ති වක්වැල්ල, වින්සන් ද පෝල් පීරිස්, සිඩ්නි ආටිගල ඈ පරපුරෙහි මෙ තෙක් කල් දිවමන් වැ සිටි ජ්‍යේෂ්ඨතම ගායිකාව වූ විවියන් ද සිල්වා බොරලැස්ස සිංහල ගීත සාහිත්‍යයට අමරණීය ගී රැසක් තිළිණ කළ ප්‍රවීණ නිර්මාණ ශිල්පිනියකි. අසූ හය වසක් ආයු සංස්කාරය වින්දනය කළ ඕ තොමෝ පසු ගිය දාක සිය ජීවන ගීය නිමා කළා විවියන් ද සිල්වා බොරලැස්ස ය. ඇය ගේ ජනප්‍රියතම ගීය වූයේ කාන්ති වක්වැල්ල සමග ගැය ූ 'දුර පෙනෙන තැනිතලා' ගීය යි. ඊට අමතර වැ ඇය ගැයූ 'නවතින්න තිස්ස ඇයි මේ', 'සම්බුදු මංගල්ලේ', 'නංගී නංගී රූපිකා' වැනි ගීත ද ජනප්‍රසාදයට පාත්‍ර විය. ඉන් ඇතැම් ගීයෙක තනු හින්දී ගීත අනුකරණයෙන් නිමැවුණේ වුව විවියන් ගේ ගායනයෙහි වූයේ නිර්ව්‍යාජ සිංහල ස්වරයෙකි. 'දුර පෙනෙන තැනිතලා' ගී තනුවෙහි ඇති බටහිර ඌරුව යටපත් වන්නේ ද ඇය ගේ මේ සිංහල ගායනයෙනි. වරක් විවියන් ගේ උපන් දිනයක් නිමිති කොටගෙන නුවන් නයනජිත් කුමාර ලියූ ඉතා හොඳ ලිපියක් 'සිළුමිණේ' පළ වූ බව මට මතක ය. විවියන් විවිසමින් ඒ ලිපිය ඉක්මවන යමක් ලිවීමට මට හැකියාවෙක් නැති. එ බැවින් හුදු පෞද්ගලික අන...

"අයාලේ ගිය සිතක සටහන්"

Image
තිස්ස අබේසේකර ඊයේ දවාලේ මා කිරිබත්ගොඩ සරසවි පොත්හලට පිවිසියේ වැඩි බලාපොරොත්තුවක් ඇති ව නො වේ. මින් පෙර ගාල්ලේ සරසවි පොත්හලින් ඒ පොත ගැන විමසා මා ලද උදාසීන ප්‍රතිචාරය මා සිතේ තිර ව රැඳී තිබිණි. එහෙත් කිරිබත්ගොඩ දී මට වාසනාව උදා විය. ටික වේලාවක් පොත් රාක්කයක් ඇවිස්සූ වෙළෙඳ සහායිකාවක් මා ඉල්ලූ පොත සොයාගෙන මා අත තැබුවා ය. ඉන් මා වත ප්‍රභාවත් වනු ඇය ද දකින්නට ඇත. මා සොයා ගියේ තිස්ස අබේසේකර ගේ 'අයාලේ ගිය සිතක සටහන්' ය. මින් පෙර ඔහු ගේ චිත්‍රපට රසිකයකු වූ මා මුලින් ම ඔහු ගේ පාඨකයකු වූයේ ඊයේ දවාලේ ය. මා තිස්ස ගේ මේ පොත සොයන්නට වූයේ සී. ටී. ප්‍රනාන්දු ගැන ඔහු ලියා ඇති යමක් දැනගනු පිණිස ය. සී. ටී. ගැන තිස්ස මහත් අභිරුචියෙන් ලියා ඇති බව මා මීට බොහෝ කලකට පෙර දැනගත්තේ සුනිල් මිහිඳුකුල ගේ ලිපියෙකිනි. තිස්ස ගේ අදාළ ලිපිය 'අයාලේ ගිය සිතක සටහන්' නම් පොතෙක ඇති බව ආරඤ්චි වූයේ අන්තර්ජාලයේ සහෘදයකු ගෙනි. මා තිස්ස ගේ පොත මහත් ආශාවෙන් කියවන්නට පටන් ගත්තේ මට අවශ්‍ය වී තුබුණු කරුණ සොයාගන්නට ‍ය. එහෙත් මට හමු වූයේ ඒ කරුණ පමණක් නො වේ. ඒ හා සබැඳි තව ද බොහෝ වැදැගත් කරුණු රැසක් ඉන් මතු විය. ආන...

රිච්මන්ඩ් යටගියාව සොයා ගිය හැටි

ඉස්සර මා නිතොර ආ ගිය මුද්‍රණ ආයතනයකට කලකට පසු අද හවස පා තැබූයෙමි. එහි පිවිසි විගස ම නැහැ පුඩු කිතිකවා-ලූ නැවුම් තීන්ත සුවඳින් මා ගේ මතක සයුර කැලැඹී-ගියේ ය. පාත මහලින් නො කඩවා ඇසෙන මුද්‍රණ යන්ත්‍රයේ ඒකාකාරී ඝෝෂාව ඔස්සේ මම වසර කිහිපයක් අතීතයට ඇදී ගියෙමි. උසස් පෙළ විභාගය පෙනී සිට සරසවි වරම් ලැබෙන තුරු අවුරුදු එකහමාරක පමණ කාලයක් මා ගෙවා දැමූයේ කලින් කලට පළින් පළට යමින් පූර්ණ ශාස්ත්‍රීය සඤ්චාරයක දෙමිනි. මුද්‍රණ ආයතන යනු එසේ මා නිතොර ආ ගිය තැන්වලින් එකකි. එසේ ආ ගිය හැම තැනකට ම නැවැත පා තබන විට එක්තරා සොඳුරු මිනිසෙක් මට සිහි වෙයි. ඒ කන්දේ සිසිල් සුරසේන මහතා ය. එ දවස මා ගේ බොහෝ උදය වරු ගෙවුණේ රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සඟරා හා කෞතුකාගාර කමිටු කාර්යාලයයේ ය. ඒ සුරසේන මහතා සමඟ පැරැණි පතපොත පෙරළමින් විද්‍යාලයයේ ඉතිහාසය ලියමිනි. සුරසේන මහතා ප්‍රකට පරිසරවෙදියකු මෙන් ම ඉතිහාස පර්යේෂකක් ද වේ. එ වක අප ලියන්නට පටන් ගත් ඉතිහාස පොත තව ම නිමහම් දුටුයේ නැති නමුත් මඳ කලෙකින් එහි සංක්ෂිප්තයක් පළ කරන්නට අපට හැකි විය. තව ද වසර කිහිපයක් ම කන්නන්ගර සමරු උලෙළ පැවැත්වීමට ද මම සුරසේන මහතාට උදවු...

සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ 'රීති' මිථ්‍යාව!

මහාචාර්ය ජේ. බී දිසානායක පතුරවපු ලොකු මිථ්‍යාවක් තමයි , ඔය සම්භාව්‍ය , සමකාලීන , සමතික්‍රමණ කියන රීති විග්‍රහය. මේ සටහනේ අරමුණ වෙන්නේ රීතිය කියන්නේ මොකක් ද කියලා පැහැදිලි කරලා, මහාචාර්ය ජේ. බී. දිසානායක ගේ රීති යන පදයේ සාවද්‍ය ව්‍යවහාරය හෙළි දරවු කිරීම. රීතිය කියන්නේ පෙරපර දෙදිග ම භාෂා සාහිත්‍ය අධ්‍යයනවල බොහොම පැහැදිලි ව විග්‍රහ කරලා තියෙන සංකල්පයක්. රසවාදය , ගුණවාදය , අලංකාරවාදය , ධ් වනිවාදය , වක්‍රෝක්‌තිවාදය , ඖචිත්‍යවාදය , අනුමිතිවාදය වගේ පෙරදිග කාව්‍ය විචාරවාද අතරින් රීති වාදය ප්‍රධාන ම එකක්. සකුව බැරි නිසා රීතිය සම්බන්ධ පෙරදිග අදහස් ගැන මං වැඩිය දන්නෑ. හැබැයි රීතිය ගැන අපරදිග අදහස් නම් යම් තරමක් කියවලා තියෙනවා. ඉංගිරිසියෙන් රීතියට කියන්නේ style කියලා. භාෂා රීති අධ්‍යයනය කිරීමට වෙන් වුණ විෂය ක්ෂේත්‍රයක් වාග්විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ රීතිවිචාරය කියලා. ඉංගිරිසියෙන් නම් stylistics. ඒ විෂයයේ රීති හැඳින්වෙන්නේ පුද්ගලයා , සන්දර්භය , භාෂා මාධ්‍යය , ( සාහිත්‍යයේ නම්) සාහිත්‍ය ප්‍රවර්ගය , අනුභූතිය වගේ විචල්‍ය සාධක අනුව වෙනස් වන භාෂා ව්‍යවහාර හැටියට. මේ නිර්වචනය අනුව පේනවා ,...