වියරණ පැනයට පිළිතුර - 7: රඹුටන්
රඹුටන් යනු ඉතා රසවත් පලතුරෙකි. එ හෙත් එය ඉතා උෂ්ණාධික ආහාරයක් බැවින් ඇතැම් අසනීප ඇති අයට රඹුටන් කෑම හොඳ නැත. ලක් දිව රඹුටන් වගාවට චිර ප්‍රසිද්ධ ප්‍රදේශය මල්වානේ ය. එ හෙත් සිංහල භාෂාවට 'රඹුටන්' යන වදන ආවේ මල්වානෙන් නො ව මැලේසියාවෙනි. මැලේ බසින් 'රම්බූට්' (rambut) යනු 'හිස කෙස්' යන අරුත දෙයි. ඉන් නිපන් 'රම්බූටන්' (rambutan) යනු 'කෙස් ගුළිය' වැනි අරුතක් දෙන වදනෙකි. එ වැනි නාමයක් ඒ පලතුරට සුදුසු ඇයි දැ යි වෙසෙසා කිය යුතු නො වේ. 'රම්බූටන්' යන වදන සිංහලයට පැමිණීමේ දී 'ම්බූ' ශබ්ද සංයෝගය 'ඹු' යනුයෙන් සංකෝචනය වී තිබේ. මැලේ බසින් 'වූල් පොරෝනය' (woolen blanket) සඳහා යෙදෙන 'රම්බූටි' (rambuti) යන වදන ද 'රඹුටන්' හා නෛරුක්තික ඥාතිත්වයක් ඇත්තෙකි. අප මේ තතු උපුටාගත්තේ 1959 වසරේ දී ආර්. ජේ. විල්කින්සන් වියතුන් රැසැයූ 'මැලේ - ඉංගිරිසි සද කොසුවේ' 941, 942 පිටුවලිනි. පසු සටහන: චාමික රත්නායක සූරීහු මේ නිරුක්තිය ගැන මෙ බඳු අදහසක් දක්වති: "මැලේ මිතුරකු පැවැසූ අන්දමට rambutan යන්න සෑදී ඇත්තේ rambut + ...