හැවිල්ල අසූ විය සපුරයි!
1940 දෙසැම්බර 01 වැනි දා එළි දුටු රැයිපියෙල් තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" පැදි පොත 2020 දෙසැම්බර 01 වැනි දා අසූ විය සැපිරී ය. එහි ආ 'කුකුළු හැවිල්ලෙන්' කොටසක් සුනිල් සාන්තයන් ගේ සර හා හඬ හා මුසු ව ගීයක් බවට පත් වැ හැත්තෑ පස් වසරක් වත් වෙයි. එහෙත් ඇතැමෙක් තව මත් එයට හරි හැටි අරුත් බණන්නට ද නොපොහොසත් ය.
රැ. තෙන්නකෝනුන් විසින් ලියැවුණු "හැවිල්ලේ" අත් පිටපත කුමාරතුංග මුනිදාසයන් වෙත ලැබුණේ 1940 සැප්තැම්බර 07 වැනි දා, සනි දා ය. ඒ බව 1940 සැප්තැම්බර 09 වැනි දා, සඳු දා නිකුත් වූ 'සුබසෙහි' 2 වැනි වෙළුමේ 8 වැනි කලබේ 128 වැනි පිටුවේ සඳහන් වේ. එහි "හැවිල්ලේ" වස්තු සාරයත් 'කුකුළු හැවිල්ල' මුලින් ලියැවී තුබුණු සැටිත් එය ගැයිය යුතු විරිතත් සඳහන් වේ.
මෙහි උපුටා දැක්වෙන්නේ එහි දැක්වුණු මුල් 'කුකුළු හැවිල්ල' යි. එය "හැවිල්ල" පැදි පොතෙහි පළ වූයේ කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර දෙ වියතුන් ගේ ද පහසට පත් වැ අද අපට අසන්නට ලැබෙන 'කුකුළු හැවිල්ල' බවට පත් වූ පසු ය. රැ. තෙන්නකෝන් විසින් ලියැවුණු මුල් 'කුකුළු හැවිල්ලට' වඩා පසු ව සැකැසුණු 'කුකුළු හැවිල්ල' කොතරම් මනරම් ද? මේ වනාහි එදා හෙළ හවුලේ 'සහයුරු විමසුව' (peer review) කැරුණු පරිදි යි.
'කුකුළු හැවිල්ල' මුලින් ලියැවුණේ අද දක්නට ලැබෙන පරිද්දෙන් නොවන බව අප පෙන්වා දෙන තුරු කිසි කෙනෙක් නො දත් හ. දැන් ඒ දැනුම කාටත් හිමි යි. මෙය උපුටාගෙන අන් කවර තැනෙක වුව ද පළ කිරීමට අවසර ඇත. එහෙත් එසේ කරන විට අප ගෙන් ලැබුණු දෙයක් බව සඳහන් කිරීමට තරම් ගුණවත් වුව මැනැවි.

Comments
Post a Comment