කුණු සින්නො - 7: "මල්ලි, මට මේක ට්රාන්ස්ලේට් කරලා දෙන්න පුළුවන් ද?"
සරසවියේ පළමු වැනි වසරේ දී මා හදාළේ සිංහල, ඉංගිරිසි, වාග්විද්‍යාව යන විෂය ත්‍රයය යි. දෙ වැනි වසරේ පටන් ඉන් එක් විෂයයක් තෝරාගෙන විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ ඒ තුන ම තෝරාගෙන සාමාන්‍ය ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ හදාළ යුතු විය. විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හදාරන බවට මා ඒ වන විටත් තීරණය කොට තුබුණ ද ඒ කවර විෂයයෙන් ද යන තීරණය ගැනීම පහසු වූයේ නැත. පළමු වැනි වසරේ හදාළ විෂය ත්‍රයයෙන් ඕනෑ ම එකක් විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සඳහා හැදෑරීමට සුදුසු කම් ලබා තිබීම ප්‍රශ්නය තවත් සංකීර්ණ කෙළේ ය. වැඩි දෙනකු මා තල්ලු කෙළේ ඉංගිරිසි හැදෑරීමට ය. එහෙත් විචාර ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම සඳහා උද්ධෘත පාඨ කට පාඩම් කිරීම මහා වේදනාවක් සේ සලකන මට ඉංගිරිසි හෝ සිංහල හෝ සමඟ විශේෂ ශාස්ත්‍රවේදී දීගය කෑ නොහෙන බව වැටැහිණි. එහෙත් වාග්විද්‍යාව කෙරෙහි මසිතැ පැවැත්තේ නොසිඳෙන කුහුලෙකි; ළිය ලන ආශාවෙකි; ඤාණ පිපාසාවෙකි. මා ගේ ආචාර්ය භවතුන් දෙදෙනකු යෝජනා කළ පරිදි වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සපුරා ම ඉංගිරිසි මාධ්‍යයෙන් හැදෑරීමට අන්තිමේ දී මම තීරණයක් ගත්තෙමි. වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව හදාරන්නට පටන් ගත් අලුත එ...