සිංහලයෙන් ලොවට ගිය තත්සම තද්භව භේදය
ලෝකයේ භාෂා අධ්‍යයන ඉතිහාසය විමසා බැලුවා ම ප්‍රධාන සම්ප්‍රදාය දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ ප්‍රාචීන සම්ප්‍රදායය (Oriental Tradition) සහ ප්‍රතිචීන සම්ප්‍රදායය (Western Tradition) යනුවෙන්. ප්‍රාචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ භාරතය. ප්‍රතිචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ ග්‍රීසිය. පුරාණ භාරතීය භාෂාඥයන් සංස්කෘත භාෂාව පිළිබඳ සූක්ෂ්ම විග්‍රහාත්මක අධ්‍යයනවල යෙදුණ කාලයේ පුරාණ ග්‍රීක භාෂාඥයන් කෙළේ භාෂාව ගැන දාර්ශනික සංවාදවල යෙදීම. මේ නිසා ප්‍රාචීන සම්ප්‍රදායය ප්‍රතිචීන සම්ප්‍රදායයට වඩා බොහෝ ඉදිරියෙන් පැවති බව ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් (Leonard Bloomfield) , ඩබ්. ඇස්. ඇලන් (W. S. Allen) වගේ නූතන වාග්විද්‍යාඥයන් පවා පිළිගෙන තියෙනවා. නූතන උච්චාරණ විෂයක ශබ්ද ශික්ෂාඥයන් (Articulatory Phoneticians) පාණිනිට සදා ණය ගැති බව වරක් ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් ප්‍රකාශ කරලා තිබුණා. ඒ විදියට ප්‍රාචීන සම්ප්‍රදායයෙන් ප්‍රතිචීන සම්ප්‍රදායය උකහා ගත්ත තවත් එක් වාග්විද්‍යාත්මක සිද්ධාන්තයක් ගැන හෙළි දරවු කිරීම තමයි මේ කෙටි ලියැවිල්ලේ අරමුණ. සිංහල භාෂාව අධ්‍යයනය කරන කවුරුත් පාහේ තත්සම, තද්භව, නිෂ්පන්න කියන වර්ගීකරණය ...