සිංහළ ද? සිංහල ද?
1. 'සිංහල' වෙනුවට 'සිංහළ' ලිවීම හෙළ හවුල ඇති කළ ප්‍රවණතාවක් නො වේ. ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර, ඩී. බී. ජයතිලක, ජේම්ස් ද අල්විස්, ජුලියස් ද ලැනරෝල් වැනි මුලින් ම මෙසේ ලියූ වියත්තු හෙළ හවුලේ ඇත්තෝ නුවූ හ. පසු ව සී. ගොඩකුඹුරේ ද මෙසේ ලිවී. 2. ගල්පොත පුවරු ලිපිය, සාහස්සමල්ල රජු ගේ ලිපිය, පල්කුඹුරේ සන්නස ඈ පොලොන්නරු යුගයේ අභිලේඛන කිහිපයෙක ම මෙසේ යෙදී තුබුණු බව මතක යි. ඒවා හෙළ හවුලේ අය ලියූ ඒවා නොවන බව වෙසෙසා කියා යුතු නැතැ යි සිතමි. 3. මෙසේ ලිවීම ගැන 1939 දී කුමාරතුංග මුනිදාස ගෙන් සුබසේ පාඨකයකු විමැසූ විට ඔහු කීවේ එසේ ලිවීම වැරැදි බව යි. සංස්කෘත තත්සමයක් වන මෙහි ළ'යන්නක් විය නොහැකි බව ඔහු සසාධක ව පහදා තිබිණි. 4. 1941 දී සුබසට ලියූ ලිපියෙක කුමාරතුංග මුනිදාස කීවේ 'සී-හෙළ' යන්න පද දෙක සන්ධි වී 'සීහළ' වී එය 'සිංහල' යනුවෙන් සකුවට ගිය බව ය. සී (චී) හෙළ යන්න ඔහු කීවේ විජයාදි ආර්යයනට ගැති කම් කළ හෙළයනට ය. 5. යක්, නා, අසුර, රකුස් යන සිවු ගෝත්‍ර හැඳින්වීමට යෙදූ සිවු හෙළ යන්න සිවු+හෙළ > සී+හෙළ > සීහළ > සිංහළ වූ බව මුලින් ම කීවේ ජයමහ වෙල්ලාල ය...