ඒ. ඒ. අභයසිංහ භාෂා ශාස්ත්‍රීය සම්ප්‍රදානය
කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්යවරයකු වූ ඒ. ඒ. අභයසිංහ සූරීහු ස අසූ වසක් ආයු වළඳා 2023 ඔක්තෝබර 20 වැනි දා අභාවප්‍රාප්ත වූ හ. මේ ලිපිය ඔවුන් ගෙන් ඉටු වූ භාෂා ශාස්ත්‍රීය සම්ප්‍රදානය පිළිබඳ ඇගැයුමෙකි. 1938 අප්‍රේල් 18 වැනි දා උපන් අදිකාරි ආරච්චිගේ අභයසිංහ සූරීහු කුලියාපිටි මැදි විදුහලෙන් පාසල් අධ්‍යාපනයත් පේරාදෙණි සරසවියෙන් හා යෝර්ක් සරසවියෙන් හා උසස් අධ්‍යාපනයත් ලැබූ හ. පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ දී ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සඳහා ප්‍රධාන විෂයය ලෙස සිංහලත් උපවිෂයය ලෙස පාළිත් හදාළ ඔහු තුමූ ආචාර්ය ම. ව. සුගතපාල ද සිල්වා සූරීන් ඇසුරින් වාග්විද්‍යාව කෙරෙහි නැමීගත් හ. සුගතපාල ද සිල්වා සූරීන් ගේ අධීක්ෂණය යටතේ 1973 දී ඔවුන් සිදු කළ 'සිංහල භාෂාව පිළිබඳ පදිමවිචාරාත්මක අධ්‍යයනය' (A Morphological Study of Sinhalese) සඳහා එංගලන්තයේ යෝර්ක් විශ්වවිද්‍යාලයය ඔවුනට දර්ශනසූරී උපාධිය පිරිනැමී ය. අනතුරු වැ මවුබිමට පැමිණි අභයසිංහ සූරීහු කැලැණි සරසවි සිංහල අධ්‍යයනාංශයේ ආචාර්ය මණ්ඩලයේ සේවයට එක් වූවාහු කිහිප විටක් ම එහි ප්‍රධාන ධුරය ද හෙබැවූ හ. ව්‍යාකරණයත් වාග්විද්‍යාවත් කෙර...