කුමරතුඟු මුනිදසුන් ගේ පැරැණි ම පැදි පෙළ


කුමාරතුංග මුනිදාසයන් විසින් ලියන ලද පැරැණි ම පැදිය ලෙස සැලැකෙන්නේ 1905 දී "කණා කවුද?" යන මැයින් කවි කොළ විරිතින් ලියා පුවත්පතක පළ කළ තනි පැදියක්. ඉන් පසු කුමාරතුංග මුනිදාසයන් ලියූ සපිරි පැදි පෙළක් හැටියට හමු වුණේ 1907 අගෝස්තු 20 වැනි දා දොන් ජානිස් මුතුකුමාරණ නම් වැඩිමහලු මිතුරකුට ලියා යැවූ ලියුමක්. එහෙත් මේ සමඟ පළමු වරට මාධ්‍යයක පළ වන පැදි පෙළ අර කී මිතුරාට ම 1907 ජනවාරි 20 වැනි දා ලියා යැවූවක්. ඒ අනුව මෙය තමයි කුමාරතුංග මුනිදාසයන් ගේ දැනට හමු වී ඇති පැරැණි ම පැදි පෙළ!

එවක කොළඹ ගුරු ඇබෑසි විදුහලේ ඉගැනුම ලැබූ විසි හැවිරිදි සිසුවකු වූ කුමාරතුංග මුනිදාසයන් මේ ලියුම ලියලා තියෙන්නේ දොන් ජානිස් මුතුකුමාරණ නැමැති වැඩි මහලු මිතුරාට යි. පසු ගිය වසරේ තමන් ගේ ඉගැනුම් කටයුතු සඳහා ඔහු ගෙන් ලැබුණු රුපියල් හතක මුදල වෙනුවෙන් ස්තුති කරන කුමාරතුංගයන් මේ වසරේ ඉගෙනුම් කටයුතු සඳහා රුපියල් පහක් දෙන ලෙස මේ පැදි පෙළෙන් බොහොම යටහත් ව ඉල්ලා සිටිනවා.

මේ පැදි පෙළ අප වෙත ලැබුණේ රුහුණු සරසවි සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ධර්මා රාජපක්ෂ මැතිනිය ගෙන්. එතුමියට මේ පැදි පෙළ ලබා දී ඇත්තේ උසස් පෙළ පිළිතුරු පත් ඇගැයුම් මඬුල්ලක දී හමු වූ පාසල් ගුරුවරියක්. ඇය දොන් ජානිස් මුතුකුමාරණයන් ගේ දියණියන් කෙනකු බව එතුමිය කීවා. අභාග්‍යයකට ඒ ගුරුවරිය ගේ නමක් ගමක් ඇය ගේ මතකයේ රැඳිලා නැහැ. කෙසේ වෙතත් මේ පැදි පෙළ මෙසේ රැකගෙන අප වෙත ලබා දීම ගැන මහාචාර්යතුමියට අප හැම ගේ අවංක ආදර ස්තුතිය හිමි විය යුතු යි.

මේ පැදි පෙළ දෙ අතකින් ම ඉතා වැදැගත් වෙනවා. එක් අතකින් මෙය කුමාරතුංග මුනිදාසයන් ගේ ඉගැනීම සඳහා ජානිස් මුතුකුමාරණ නම් වැඩිමහලු මිතුරා මුදල් දුන් බව මුල් වරට හෙළි කරනවා. අනෙක් අතට විසි හැවිරිදි වියේ දී කුමාරතුංග මුනිදාසයන් විද්‍යෝදය ගුරු කුලයේ අක්ෂර වින්‍යාස සම්ප්‍රදයය අනුගමනය කළ බවත් පද බෙදීම ගැන කිසි දු සැලැකිල්ලක් දක්වලා නැති බවත් මෙය හෙළි කරනවා. මේ දෙක ම වැදැගත් අනාවරණ බව අමුතුවෙන් කිය යුතු නැහැ.

මේ මහාර්ඝ වස්තුව මා වෙත එවීම වෙනුවෙන් මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහාත්මාවට යළි යළිත් පින් සිදු වේ වා!

=============================================================== 

සෙත්වේවා!

පුන් සේ රැස් තුරු හර හර නිතර යසස හරණ
බින්දූ සේ මිණි රිපු නම් සිය කොඳ හිම කිරණ
දොන් ජානිස් මුතුකුමරණ නම්දර මැතිවරණ
ඉන් දා සස් රන් ගිර ගිම් දන ලැබ සුර සරණ

කිරණ සිය දරානෝ මත් සුමිත් ගිම් කරානෝ
සතරඳුරු හිරානෝ තුම් රුවින් පන් සැරානෝ
නුවණ ගණිසුරානෝ පෑ විකුම් සිව් කරානෝ
සැරද සොහොයුරානෝ කල් සහස් වත් දරානෝ

ලඳ උවිඳු උරේ රැන්දූ ලඳුන් දික් නුවන්හි
අඳන අඳන රූ සිත් මින් යදින් සිත් සතොස් දුන්
සොඳ ගුණබරණින් දුල් ව උතුම් සෝයුරානන්
පද වැඳ මේ ලෙසින් දන්වා සිටිම් වී බැගෑපත්

මෙමට ඉගෙණ ගන්නා පිණිස සත තතු
පිහිට වෙනා ඔබ යස දස දෙස දිමුතු
විතුට මෙලක රැක්මේ දෙවියෝ නියුතු
හිමට රකිත්වා වෙර සැප දී අමුතු

මෙන්නේ සිතැඟි මට සොහොයුර පරසිද්දේ
දුන්නේ සතකි රුපියල් ගිය අව්රුද්දේ
දෙන්නේ නම් පහක් තව දිය විල මැද්දේ
වෙන්නේ ම ය පුබුදු ඔබ යස සර සුද්දේ

දපා හරණ අමිතුරු කිරි කෙසර ලෙසේ
සෙපා සුගුණ යුතු සොහොයුර බසැති රසේ
එපා නො කොට මා මෙම අයදුම නොලසේ
දෙපා නැමද අයදිමි සිදු කරණ ලෙසේ

මේ වගට: මලනු වන
මුනිදාස කුමාරණතුංග වම් හ.

1907 ජනවාරි 20

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. cumara's mom's surname is the same as janis'. could it be that this benefactor is also a relative, not just a friend?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

පුරාණ සුවර්ණ භාෂිත

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?