කුණු සින්නො - 6: "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු"

එදා සරසවියේ දෙසුම් හමාර වූයේ මහ දවාලේ ය. හැන්දෑවේ දෙසුම් නැත. ඒ නිසා නවාතැනට යා යුතු ය. සුපුරුදු පරිදි වේවැල්දූව පාරෙන් යන්නට සිත් වුව ද මහ දවාලේ අව්ව නිසා ඇති වූ දාහය එයට සිත මැළි කරවයි. ඒ නිසා සරසවියේ ඉදිරි පසින් ම යන්නට අදහස් කෙළෙමි. තෙල් බැම්ම ඉස්සරහින් ගිය හොත් කුණුහරුප වරුසාවකට තෙමෙන්නට සිදු වන බැවින් පුස්තකාලයය පැත්තට ගොස් මී අඹ සෙවණ මැද්දෙන් තෙල් බැම්ම මඟ හැර යන්නට පටන් ගත්තෙමි. තෙල් බැම්මේ කුණු සින්නන් කුණු හරුප කියනු පෙනිපෙනී ඇසිඇසී යා යුතු ගමනක් නිසා හද ගැස්ම නැඟෙයි. එහෙත් ඒ වේලාවේ සිත බල කෙළේ ඒ පාරෙන් යන්නට ය.

වැඩි දුරක් යා නො දී මී අඹ සෙවණේ වූ සින්නෙක් මා නෙත ගැටිණි. ඒකා බළල් කුලේ එකකු බව පසු කලෙක දැනගන්නට ලැබිණි. කටේ දිවේ නො ගෑවී කුණු හරුප කීමෙහි ලා සියලු කුණු සින්නන් අතුරෙන් පෙරමුණේ ම සිටියේ ඒකාත් තවත් එකකුත් ය. එහෙත් ඔහු සිටියේ මට පිටු පාලා ය. ඒක සැනැසීමකි. ඒ නිසා ඒකා ගේ බළල් ඇසෙහි නො ගැටී යාගත හැකි වෙති යි සිතූ මම ඒ පැත්ත වත් නොබලා පය ඉක්මන් කෙළෙමි. ඒ හැටි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්!" යනුයෙන් ඒ බළල් කුලයා හඬ නඟනු ඇසිණි. මම නෑසුණා සේ යන්නට තැනීමි. "උඹට කන ඇහෙන්නේ නෑ වගේ නේ ද?" යි ඒකා නැවැත ද කියනු ඇසුණෙන් මම ආපසු හැරී බැලුවෙමි.

"මෙහෙ වරෙන්!" ඒකා මුහුණ නොරොක් කොටගෙන, දෑස් ඔරවාගෙන, නළල රැළි නංවාගෙන මට හඬ තැළී ය. මම කුණු හරුප අහන්නට හිත හදාගෙන ඒකා වෙත සෙමෙන් සෙමෙන් කිට්ටු කෙළෙමි. "උඹ කොහෙද යන්නෙ?" බිළාල කුලයා ගුගුරාගෙන පැන්නේ ය. මම වට පිට බලා "අර මිල්ක් බාර් එකට" යි කීවෙමි. "කොහේ ද?" කුණු සින්නා ඇස් මහත් කොට විමතියෙන් ඇසී ය. "මිල්ක් බාර්" යන ඉංගිරිසි වචනය ඔහුට අජීර්ණ වූ බව මට එක් ක්ණෂයෙන් අවබෝධ විණි. එහෙත් ඒ අල්ල පනල්ලේ "මිල්ක් බාර්" එකට සිංහලයෙන් කියන වචනය මා සිතට එන්නේ නැත. අම්මා ගේ අතේ එල්ලී පෙර පාසල් ගිය අවදියේ පටන් මා එවැනි ඒවාට කීවේ "මිල්ක් බාර්" කියා ය. මම බිම බලාගත්තෙමි.

"කියපං *ත්තො, මොකක් ද උඹ ඒකට කියපු නම?" කුණු සින්නා මා වෙත නැඹුරු වෙමින් අසයි. මම බයෙන් බයෙන් හිස ඔසවා එවැනි ඒවාට මා දන්නා කලෙක පටන් කියූ එක ම නම වූ "මිල්ක් බාර් එක" යන්න කියමි. බිළාල කුලයේ කුණු සින්නා ගේ ඉවැසුම් වැසුම් ඉරාගෙන පැන්නේ ය. කන් පිරෙන්නට සම්මා වාචායෙන් සංග්‍රහ ලැබිණි. "ඇත්ත කියපං තෝ බැම්මට අහු වෙලා නෑ නේ ද?" හේ අග දී ඇසී ය. "කීප දවසක් මාව නැවැත්තුවා" මම කීවෙමි. "කීප දවසක්? ඔව් ඉතිං තෝව නවත්තන්නේ කොහෙද තෝ කැලෑපාරවලින් පනිනවනේ?" හේ ගුගුළේ ය. නැවැත දු සම්මා වාචායෙන් මට සංග්‍රහ කළ හේ තෙමේ "මිල්ක් බාර් එකට" සිංහලයෙන් කියන්නේ "කිරි හල" බව මට කියා දුන්නේ ය.

"දැන් වරෙන් බැම්මට යන්න" යි කියමින් කුණු සින්නා ඉස්සර වූයේ ය. මම පසු මඟ ගතිමි. "කිරි හල" යන වචනය දෙකනෙහි දෝංකාර දෙයි. දැන් තෙල් බැම්මට ගෙන ගොස් අසුවල් ඇබැද්දියක් සිදු කරනු ඇද්දැයි සිතේ ඉවැසුම් නැත. "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු" බිළාල කුලයා මා පෙන්වමින් තවත් කුණු සින්නකුට කීවේ ය. "මිල්ක් බාර්?" යනුවෙන් ප්‍රතිරාව කරමින් ඒ කුණු සින්නා මා දෙසට ආවේ ය. "ඔව්, මූ කිරි හලට කියන්නේ මිල්ක් බාර් කියලා" බිළාල කුලයේ කුණු සින්නා සෝපහාසී සිනාවක් නඟාගෙන කීවේ ය. මම බිම බලාගෙන සිටියෙමි. මා වෙත ඇවිද ආ අනෙක් කුණු සින්නා, "යකෝ, බාර් කියන්නේ අරක්කු විකුණන තැනට; කිරි විකුණන තැනට නෙවෙයි" යනුවෙන් මට ඉංගිරිසි පාඩමක් කියා දුන්නේ ය. මම ද හිස නමා කන් සලා උගත්තෙමි.

"එතකොට රෙකෝඩ් බාර් කියන්නේ අරක්කු රෙකෝඩ් කරන තැනට ද?" කියා අසන්නට සිත් වූ නමුත් බත් කන්නට දත් ඕනෑ බව කල්පනා වූයෙන් මම යටහත් බව ම පෑවෙමි. තෙල් බැම්ම මඟ හැර යාමටත් සරසවියේ කිරි හල් ගණන නොදැනීමටත් දඬුවම් වසයෙන් ඔහු තුමූ මා තෙල් බැම්ම වටා වට කිහිපයක් ඇවිද්දවූ හ. ඒ ඇවිද්දවූයේ කලිසමේ එක් කකුලක් උඩට නවා පොත් ටික හිසට දීලා ය. එසේ චිරාගත චාරිත්‍රානුකූල ව තෙල් බැම්ම ප්‍රදක්ෂිණා කරද්දී ඊට පස්ස දී ගෙන උන් සෙසු කුණු සින්නෝ ද විටින් විට මා නවතා නොයෙක් දෑ විචාරමින් විනෝද වූ හ. මෙසේ අඩ හෝරාවක් පමණ ගෙවුණු පසු මට නවාතැන කරා යන්නට නිදහස ලැබිණි.

Comments

Popular posts from this blog

පුරාණ සුවර්ණ භාෂිත

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?