කැලැණි සරසවියේ CCTV ප්‍රශ්නය පිළිබඳ මා ෆේස්බුක් මාධ්‍යයේ ලියූ අවස්ථාවේ පටන් මේ දක්වා මටත් මගේ දෙමාපියනටත් අතොරක් නැති ව අපහාස උපහාස කරන එවක අපේ ජ්‍යේෂ්ඨ උත්තමයන් ව සිට තව මත් කැලැණි සරසවි මහා ශිෂ්‍ය සංගමය අස්සේ හොල්මන් කරන ආතක් පාතක් නැති කුණු සින්නන් හට උපහාර පිණිස නවක වධය පිළිබඳ මගේ මතක මෙසේ ලියා තබන්නට සිතුවෙමි.
මා CCTV ප්‍රශ්නයට මැදිහත් වූ අවස්ථාවේ දණ්ඩෙන් පහර කෑ සපකු සේ කිපී ගිය එකකු දිගින් දිගට ම කියන්නේ මට මානසික රෝගයක් ඇති බව ය. වාණිජවේදි උපාධිය හැදෑරීමට නියමිත කාලයේ රට වටේ රස්තියාදුවේ ගිය ඔහු දැන් හිටි හැටියේ ම මනෝරෝග විශේෂඥයකු බවට පත් ව ඇත. ඔහු කියන්නේ මට මානසික රෝගයක් ඇතැ යි ඔවුන් විනිශ්චය කළේ මා සරසවි සිසුවකු ව සිටිය දී ම බව යි. ඒ කාලයේ ඔවුන් එසේ සිතන්නට පෙලැඹැවූ එක් සිද්ධියක් මෙසේ ය.
ඒ මගේ සරසවි දිවියේ පළමු වසරේ දෙ වන සමාසිකයේ මුල් හරිය විය යුතු ය. ඒ වන විටත් කුණු සින්නෝ සතියකට දවස් දෙක තුනක් වත් තෙල් බැම්මට ගොඩ වී අපට කුණුහරුප කීමෙන් විනෝදය ලද හ. මේ කියන දවසේ කවර හෝ කරුණක් නිසා ඔවුන් අපට විවේකයක් දී තිබිණි. එහෙත් අඹ ගස් සෙවෙණේ තෙල් බැම්ම මත ඉඳගෙන කාලය කා හුළං බොන කුණු සින්නෝ හත් අට දෙනෙක් එදා එහි වූ හ. වෙනසකට සිතා මම ඔවුන් ගෙන් විනෝදයක් ලැබීමට සිතුවෙමි.
බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට පදික වේදිකාව අසල පාරේ බම්පරයක් තිබිණි. මේ බම්පරය ළඟ තරමක මඩ වළක් තුබුණු බව ද බොහෝ දෙනාට මතක ඇති. මම පාරේ තුබුණු අඹ කොළයක් මඩ වළේ අයිනකින් දමා ගං ඉවුරෙක ඔරුව නවතාගෙන මඟීන් එගොඩ මෙගොඩ ගෙන යන්නට බලා ඉන්නා තොටියකු ගේ ස්වරූපයට ආවේශ වීමි. දැන් මඩ වළ ගංගාව යි. අඹ කොළය ඔරුව යි. මම තොටියා යි. පදික වේදිකා ගැට්ටේ ඉඳගෙන මහ හඬින් "එගොඩහ යන්නෝ... මෙගොඩහ යන්නෝ..." ආදියෙන් තොටි ගීය ඇරැඹුවෙමි.
නුදුරේ තෙල් බැම්මට පස්ස දී ගෙන හිටි කුණු සින්නෝ ඒ ඇසී කුමක් වී දෝ හෝ යි සිතාගත නොහැකි ව මොහොතක් මා දෙස බලා හුන් හ. "අඩෝ, මොකක් ද බං ඒ ආතල් එක?" එකෙක් අනෙකකු ගේ මුහුණ බලා කියයි. "අනේ දන්නෑ බං. මුට ඔල්මාදෙද කොහෙ ද?" හේ පිළිතුරු දෙයි. සෙස්සෝ ද මොනමොනවා දෝ කියති. මම නෑසූ කන් ව තව මත් තොටි ගීය ගයමි. ඌ තුමූ බැම්මෙන් පස්ස උස්සාගෙන වහ වහා මා වෙත වන් හ; "අඩෝ, ෆස්ට් ඉයර්, නැඟිටපං. උඹට ආතල් ද? ආ ඩෝ?" ආදියෙන් ඇරැඹ කුණු කාණුවකින් දහජරාව ගලන්නා සේ කුණුහරුප වැළක් ම කියාපූ හ. මම බයාදු මුහුණත් යටහත් බවත් පෑමි. අවසන ඌ තුමූ "පලයං, පලයං යන්න" කියා මා එළැවූ හ.
ඇත්තෙන් ම පුදුම විය යුත්තේ එදා එහි සිටි කුණු සින්නකු මා මානසික රෝගියෙකැ යි සිතා නො ගත්තා නම් ය. මා ගේ තොටි රංගනයේ පරමාර්ථය වූයේ ද ඔවුනට එවැන්නක් සන්නිවේදනය කිරීම යි. ඒ ආත්ම ආරක්ෂාව පිණිස ය. පිස්සකු හැටියට අඩයාළමක් වැදුණු පසු කුමක් කළත් "ඌ පිස්සා" කියා අත හැර දමන බැවින් එවිට ආත්ම ආරක්ෂාව ගැන බයක් සැකක් ඇති කැරැගත යුතු නැත.
No comments:
Post a Comment