Sunday, March 8, 2020

කුණු සින්නො - 2: "අඩෝ, උඹ අපේ ඉස්කෝලෙ ලොකු සර් වගේ"

ඒ මගේ සරසවි දිවියේ මුල් සති කිහිපයෙන් එකක් බව හොඳින් මතක ය. මුලින් ම සරසවි ආ දා ලක්ෂ ගණනක් වටිනා තොරණක් යටින් කැඳවාගෙන ගොස් කඩදහි පිඟානේ කිරිබත් කන්නට දී සාදරයෙන් අප පිළිගත් කුණු සින්නන් ඒ වන විට ඔවුන් ගේ දෛනික කුණුහරුප සංදර්ශනය අරඹා තිබිණි. දින පතා උදේ හතට පමණ තෙල් බැම්ම වෙත පැමිණ පාර දෙපසේ පෙළට හිටගෙන ඌ තුමූ නවක සිසුන් බිය වද්දමින් කුණුහරුප කියති. වෙන කරන්නට දෙයක් නැති නිසා මුලින් මුලින් හිස් බඩ ම කුණුහරුප අසාගෙන සරසවි ගිය ද සතියක් හමාරක් යන විට තෙල් බැම්ම මඟ හැර ආ හැකි පාරක් සොයාගැනීමට අපි සමත් වූමු. එනම් සරසවිය පිටුපසින් ඇතුළු වන වේවැල්දූව පාර යි.

එවක් පටන් දෙසුම ඇරැඹෙන වේලාවට අඩ හෝරාවකට පමණ කලින් පුරන්සිස් පටුමඟේ නවාතැනින් පිටත් වන මම ටයර් සංස්ථා හංදියට පැමිණ එහි වූ කඩයකින් උදයට කිසිවක් කා වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා දමමින් සරසවි යමි. උදේ ම ඒ දුර ගෙවා සරසවියට ළඟා වන විට හොඳ ගණන් ය. ඉහින් කනින් ඩා දිය වැගිරේ. තෙල් බැම්මේ කුණුහරුප සංදර්ශනය පෙනිපෙනී කුණු සින්නන් ගේ උකුසු ඇසට ලක් නො වී පීඨ පරිශ්‍රයේ ගේට්ටුවෙන් ඇතුළු වීම මහත් ම අපහසු කාර්යය යි. එහෙත් මම සති දෙක තුනක් ම ඉතා සාර්ථක ව ඒ මාරකය පැනැගන්නට සමත් වීමි. ආ පසු නවාතැනට යන විට ද ආ පාරෙන් ම යාමට පරිස්සම් වීමි.

එහෙත් එක් දවසක් මාරකය විස්තාරණය වී තිබිණි. එදා පීඨයේ ගේට්ටුවෙන් ඇතුළේ ද කුණු සින්නෝ කිහිප දෙනෙක් සිටිය හ. මම සිත දැඩි කැරගෙන ඇතුළු වී අඩියට දෙකට ගියෙමි. ඒ සින්නන් ගේ ඇසට මා ලක් වූයේ නැත. ඉන් පසු කිහිප දිනක් ම එතැන ද සින්නන් සිටි නමුදු ඔවුනට මා ගැන නිච්චියක් වූයේ නැත. මා සරසවි එන්නේ ඔවුන් දුන් ලිපි ගොනුව කන්තෝරු මල්ලක ඔබා මල්ල උරහිසේ එල්ලාගෙන බැවින් ඔවුන් මා නවක ශිෂ්‍යයකු බව හැඳිනගැනීමට අසමත් වීම අරුමයෙක් නො වේ. අනෙක් අතට ඒ දිනවල මා වැඩියක් ම ඇන්දේ සුදු කමිසයත් සුදු කලිසමත් ය. තනි සුදු ඇඳ කළු පා වහන් හා කළු ඉණ පටිය හා පැලැඳ ගෙන එන මා බැලු බැල්මට නවක ශිෂ්‍යයකු බව පෙනෙන්නේ නැත. මම ඒ වෙස් පෙරැළියෙන් උපරිම ප්‍රයෝජනය ගතිමි.

එක් දිනක් මේ හැංගි මුත්තන් සෙල්ලම නවත්තන්නට සිදු විය. දින පතා ම පාහේ සුදු ඇඳගෙන උදේට එන හවසට යන එකකු ඉන්නා බව ඔවුනට ඉව වැටී තිබිණි. එහෙත් මා නවක ශිෂ්‍යයකු ද යන්න ගැන ඔවුනට තුබුණේ සැකයක් පමණි. එදා දෙසුම් දෙකක් අතර සැලැකිය යුතු ඉඩක් තුබුණෙන් මම පොත්ගුලට රිංගන අටියෙන් කුණු සින්නන් පසු කැර යන්නට වීමි. එකෙක් මා දුටුයේ ය. "මචං අරූ ෆස්ට් ඉයර් ද?" හේ අනෙකකු ගෙන් පිළිවිසී. "දන්නෑ බං. මාත් දැකලා තියෙනවා, ඩෑල් එක හැම දා ම මෙතැනින් යනවා" අනෙකා පැවැසී. ඔවුන් ගේ මේ දෙඩුම් මා සවනෙහි වැටේ. දැන් කනේ යවුල් අනින්නා සේ ය. හදේ පිටි කොටන්නා සේ ය. "අඩෝ, කෝකටත් ටෝක් කරලා බලමු" යි කුණු සින්නෝ තීරණයකට අවුත් "ඒයි ෆස්ට් ඉයර්, ෆස්ට් ඉයර්" යි දෙතුන් විටක් උස් හඬින් කෑ ගෑ හ.

නෑසුණු විලාසයෙන් මඟ හැර යන්නට උඩු සිත කියයි. එහෙත් අනන්‍යතාව හෙළි වූ දාක කුමක් වේ දැ යි යටි හිත අසයි. "ඕන එකක් වෙච්චාවෙ" යි සිතාගෙන මම හැරී බැලුවෙමි. "මෙහෙ වරෙං" එකෙක් කී ය. මම ළඟට ගියෙමි. "අඩෝ උඹ ෆස්ට් ඉයර් ද?" හේ ඇසී ය. "ඔව්" මම කීවෙමි. "කියපං කැන්ටින් කීයක් තියෙනව ද?" මම කීයක් දෝ හිතට ආ ගණනක් කීවෙමි. උත්තරය වැරැදි බව කුණු සින්නන් ගේ මුහුණුවලින් පෙනිණි. "ඇත්ත කියපං. උඹ බැම්මට අහු වෙලා තියෙනවද?" එකෙක් ඇසී ය. "නෑ" මම කීවෙමි. "කවදා වත් ම නෑ??" තව එකෙක් විස්මයයෙන් ඇසී ය. "පළවෙනි දවසෙ මාව නැනැවැත්තුවා. ඊට පස්සෙ නම් නැවැත්තුවෙ නෑ" මම කියාගෙන ගියෙමි. "නවත්තයි ද ඉතිං? බලපං උඹ ඇඳගෙන ඉන්න හැටි. අපි හිතුවෙ උඹ ලෙචෙක් කියලා. ඒ බං, බලපංකො මූව" හේ තවෙකකුට ඇරියුම් කෙළේ ය.

ඒකා ද රැග් කරමින් සිටි කෙල්ලන් පිටත් කොට මා දෙසට ආවේ "මූ ෆස්ට් ඉයර් ද?" අසමිනි. "ඒක තමයි බං. බලපංකො ඇඳලා ඉන්න හැටි" ඇරියුම් කළ එකා උත්තර දිනි. "අඩෝ, උඹ අපේ ඉස්කොලෙ ලොකු සර් වගේ" හේ ඔලොක්කුවට සිනා වෙමින් කීවේ ය. "මූව බැම්මෙන් නවත්තන්නෙ නෑ ලු" ඇරියුම් කළ එකා පැමිණිල්ලක් විලාසයෙන් කී ය. ඒ පැමිණිල්ලෙන් පසු මා ලොකු සර් වැන්නැ යි කී තැනැත්තේ තරවටුව පටන් ගති. "උඹ මීට පස්සෙ සුදු කලිසම අඳිනවා නම් සුදු කමිසේ අඳින්න බෑ. සුදු කමිසෙ අඳිනවා නම් සුදු කලිසම අඳින්න බෑ. තේරුණා ද?" මම හිස සැලීමි. මේ වන විට එතැන සිටි කුණු සින්නන් සියලු දෙනා ම පාහේ මා වට කැරගෙන ය. "මීට පස්සෙ උඹව බැම්මෙන් නැවැත්තුවෙ නැත්නම් උඹ නැවතිලා අයියලා කියලා දෙන දේවල් අහගන්න ඕන." ඉන් එකෙක් කී ය. "අනික ලෙක්චර් එකේ වෙලාවට ම නැතුව ටිකක් කලින් එන්න ඕන" තවෙකෙක් එකතු කෙළේ ය. මම කර බාගෙන හිස සැලීමි.

"හා, හා, දැන් පලයං" ඈතින් ආචාර්යවරයකු එනු දුටු එකෙක් කීවේ ය. මම ඉක්මන් කෙළෙමි. "හෙට එන කොට මෙච්චර දවස් උගන්නපුවා උඹට පුළුවන් වෙලා තියෙන්න ඕන" මට යන්නට මඟ ඉඩ අරිමින් අවසන් තරවටුව ද එකෙක් කෙළේ ය. තෙල් බැම්මේ කුණු සින්නන් මගේ මුහුණ හඳුනාගත්තේ එදා ය. එදායින් පසු උන් ගේ කුණුහරුප සංදර්ශනය නොවිඳ සරසවියට ඇතුළු වීමක් නුවූ තරමි.

(මෙහි සංවාද ලියා දැක්වූයේ කුණු සින්නන් කියූ කුණුහරුප ඉවත් කොට බව සලකන්න.)

No comments:

Post a Comment