Posts

Showing posts from February, 2018

වියරණ පැනයට පිළිතුර 3: 'අම්බලම' යි 'හෝම්පළ' යි කෙසේ ඇති වී ද?

'අම්බලම' යන වදනට නිරුත් ඛෙණෙන අරීසෙන් අහුබුදුවෝ 'අන් පළ' මැ 'අම්බළම' වන බවක් පවසති. එ නම් අන්+පළ+ම > අම්පළම > අම්බළම යනු යි. ඒ නයින් 'අම්බලම' යන්නෙහි යෙදියැ යුත්තේ මූර්ධජ ළ යන්න යි. ඇපි නම් කිසි දාකැ එ වන් සේ පියෝවක් දැකැ නැත්තෙමු. 'හෝම්පළ' ගැනැ සඳහන ඔවුන් ඊට නිරුත් ඛෙණෙනුයේ ද හොවිනා පළ > හෝන්+පළ > හෝම්පළ වන බවෙකි. අරීසෙන් අහුබුදුවන් දක්වන ඒ නිරුක්ති ද්වයය මැ තාර්කික බව නම් සැබෑ යැ. එ හෙත් කවරකු ගේ නිරුක්තියක් වුව ද නො විමසා පිළිගැනීම මුළාවට මඟ සලසයි. එක් අතෙකින් එය ඔවුනට කරන ඉහළ මැ නිහරසරයෙකි. එ බැවින් ඇපි මඳක් මේ ගැනැ විමසා බැලියැ යුත්තෙමු. 'අම්බලම්' යන්න දෙමළයෙන් තත්සම වූවක් බව සඳගෝමි කෝපරහේවයන් ගේ 'සිංහල භාෂාවේ දෙමළ වචන අකාරාදියෙහි' දැක්වේ. දෙමළ බසෙහි 'අම්බලම්' යන්න 'මඟ අසල ඇති ගිමන් හල' යන අරුතින් යෙදේ. එ නම් වර්තමානයේ සිංහලයෙහි එ පදය යෙදෙන අරුතින් මැ යි. අහුබුදුවන් ගේ නිරුක්තියට වඩා මේ නිරුක්තිය අරුතින් ද රුවින් ද එක සේ ව්‍යවහාරයට සමීප යැ. 'හෝම්පළ' ගැනැ දු අප දන්නා නිරුක්තිය අනෙකෙකි....

වියරණ පැනයට පිළිතුර - 2: 'සද්භාව' යන්නෙහි උපසර්ගයෙක් තිබේ ද?

සාම්ප්‍රදායික සංස්කෘත ව්‍යාකරණය අනුව 'සද්භාව' යන්නෙහි උපසර්ගයෙක් නැත. 'සත්' යනු සංස්කෘතයේ නාම ප්‍රකෘතියෙකි. '-ත්ව' වැනි තද්ධිත ප්‍රත්‍යය ඊට යෙදී සත්+ත්ව > සත්ත්ව වැනි නාම පද නිපැයෙන්නේ එ බැවිනි. අනෙක් පදයක් හා සන්ධි වීමේ දී අනුයාත ශබ්දවල බලපෑමෙන් 'සත්' යන්න 'සද්/ සජ්/ සච්' වැනි රූපාන්තරණ ගනී. මෙ කී සංස්කෘත භාෂා ව්‍යවහාරය අනුව 'සද්භාව' යනු සන්ධි පදයෙකි. එහි උපසර්ගයෙක් නැත. 'සත්' යන්න සංස්කෘතයෙහි නාම ප්‍රකෘතියක් වුව ද සිංහලයේ දී තවත් නාමයකට පූර්වයෙන් මිස කිසි විටෙක ස්වාධීන ව නොයෙදෙන පරිදි පරිසර සීමනයකට (environment restriction) එය පත් ව ඇත. මේ නිසා සංස්කෘතයේ දී කෙසේ වුව සිංහලයේ දී 'සත්/ සද්/ සජ්/ සච්' යන රූප සියල්ල එක ම උපසර්ගයක පදාණුක විකල්පන (allomorphic alternations) ලෙස සැලැකීම යෝග්‍ය ය. ජේ. බී. දිසානායක ද 'සත්/ සද්' යන රූප දෙක පූර්වසර්ග (prefixes) ලෙස දක්වයි. (ඉංගිරිසිය දෙස බලාගෙන ඔහු උපසර්ගවලට කියන්නේ 'පූර්වසර්ග' කියා ය. 'සච්/ සජ්' යන රූප දෙක භාෂාවේ යෙදෙන බව ඔහු දන්නේ නැත.) එ හෙත් කුමාරතු...