කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?
වර්තමානයේ 'කොම්පඤ්ඤ වීදිය' යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය සඳහා ඉංගිරිසියෙන් යොදන 'Slave Island' යන නාමය ඉවත් කිරීමට අගමැති ලේකම් තැන නියෝග පමුණුවා ඇති බව වාර්තා වේ. මේ වනාහි 'Slave Island' යනු 'වහල් දූපත' යන අරුත ඇති බැවින් ඒ ප්‍රදේශයේ ජීවත් වන්නන් වහලුන් නොවන බව ලොවට මුර ගා කීම සඳහා ඉතා දුර දක්නා නුවණින් කළ වැඩක් බව පෙනේ. එහෙත් ඒ සා දුර දක්නා නුවණක් නැති අපට මෙහි පෙනෙන්නේ ඉතිහාස ඝාතනයක් පමණි. පුරාණ කොළඹ නගරය පිළිබඳ තතු විමැසීමේ දී පැහැදිලි වන පළමු වැනි කරුණ නම් 'කොම්පඤ්ඤ වීදිය' යනුත් 'Slave Island' යනුත් සපුරා සමාන භූමි ප්‍රදේශයක් නොවන බව යි. 'Slave Island' යනු තුන් පසෙකින් බේරේ වැවෙන් වට වූ තරමක් විශාල භූමි ප්‍රදේශයෙකි. නමින් මැ ඇඟැවෙන පරිදි 'කොම්පඤ්ඤ වීදිය' යනු වීදියෙකි; 'Slave Island' යනු දූපතෙකි. වීදියක් හා දූපතක් හා දෙකක් බව නො දන්නෝ අග්‍රාමාත්‍ය කාර්යාලයයේ මිස අන් කොහි වෙත් ද? පුරාණ කොළොඹ නගර සිතියම් අනුව තහවුරු වන්නේ 'කොම්පඤ්ඤ වීදිය' යනු 'වහල් දූපතේ' එක් කොටසක් පමණක් බව යි. සම්පූර්ණ වහල් දූපතට...