Posts

Showing posts from January, 2016

හිමිදිරි පින්නේ රජරට සැරිය

අඳුරු පරිසරයේ වේගයෙන් පසු වී යන ගස්කොළන් ගෙවල්දොරවල් දෙස රිය කවුළුවෙන් බලබලා ආ ගමන චමත්කාර ජනක අද්දැකීමක් විය. අනුරපුර බස් නැවැතුමට බසය ළඟා වූයේ පෙර වරු  2:30 ට පමණ ය. එතැන් සිට තවත් කිලෝමීටර පහළොවක් දුර මා රැගෙන යන්නට හොරොව්පොතානේ බසය පැමිණෙන තුරු අඩ හෝරාවක් පමණ එහි රැඳුණෙමි. එතැන් සිට මෙහි ආවේ පවනට බඳු වේගයෙනි. රජරට සරසවි බස් නැවැතුම් පොළ වෙත මා ගෙන එන්නට ඒ බසය අඩ හෝරාවක් වත් ගත්තේ නැත. ඇඟ කිලිපොළා යන සීතලක් දැනේ. මම කමිසයේ අත් දිග හැර-ගනිමි. මුළු ලොව ම තිමිර සළු පොරොවා-ගෙන නින්දේ පසු වන සෙයෙකි. මේ බස් නැවැතුම් පොළට ගොඩ වන විට වේලාව පෙර වරු 4:00 බව අතේ බැඳි   කාලයන්ත්‍රය දැක්වී ය. දැන් මට සිදු ව ඇත්තේ හෝරා පහකට අධික කාලයක් ගත් දීර්ඝ ගමනක් අවසානයේ තවත් හෝරා පහක් බස් නැවැතුම් පොළෙක ගෙවා දමන්නට ය. ඒකත් නරක ම නැත. තනි ව ම ඉපැදී තනි ව ම මිය යන එකේ , හොරා පහක් තනි ව බස් නැවැතුම් පොළකට වී ගෙවා-දැමීම මහ කමක් ද ?   මම පාර දෙස ඔහේ බලා-ගෙන හිඳිමි. ඉඳ හිට වාහනයක් හෝ යතුරුපැදියක් හෝ පාරේ යයි. ඒ හැරුණු කොට මහ මඟ පාළු ය. වීදි ලාම්පුවේ මලානික එළිය විටෙක අඩු වෙයි ; විටෙක වැඩි ...