"අයාලේ ගිය සිතක සටහන්"
තිස්ස අබේසේකර ඊයේ දවාලේ මා කිරිබත්ගොඩ සරසවි පොත්හලට පිවිසියේ වැඩි බලාපොරොත්තුවක් ඇති ව නො වේ. මින් පෙර ගාල්ලේ සරසවි පොත්හලින් ඒ පොත ගැන විමසා මා ලද උදාසීන ප්‍රතිචාරය මා සිතේ තිර ව රැඳී තිබිණි. එහෙත් කිරිබත්ගොඩ දී මට වාසනාව උදා විය. ටික වේලාවක් පොත් රාක්කයක් ඇවිස්සූ වෙළෙඳ සහායිකාවක් මා ඉල්ලූ පොත සොයාගෙන මා අත තැබුවා ය. ඉන් මා වත ප්‍රභාවත් වනු ඇය ද දකින්නට ඇත. මා සොයා ගියේ තිස්ස අබේසේකර ගේ 'අයාලේ ගිය සිතක සටහන්' ය. මින් පෙර ඔහු ගේ චිත්‍රපට රසිකයකු වූ මා මුලින් ම ඔහු ගේ පාඨකයකු වූයේ ඊයේ දවාලේ ය. මා තිස්ස ගේ මේ පොත සොයන්නට වූයේ සී. ටී. ප්‍රනාන්දු ගැන ඔහු ලියා ඇති යමක් දැනගනු පිණිස ය. සී. ටී. ගැන තිස්ස මහත් අභිරුචියෙන් ලියා ඇති බව මා මීට බොහෝ කලකට පෙර දැනගත්තේ සුනිල් මිහිඳුකුල ගේ ලිපියෙකිනි. තිස්ස ගේ අදාළ ලිපිය 'අයාලේ ගිය සිතක සටහන්' නම් පොතෙක ඇති බව ආරඤ්චි වූයේ අන්තර්ජාලයේ සහෘදයකු ගෙනි. මා තිස්ස ගේ පොත මහත් ආශාවෙන් කියවන්නට පටන් ගත්තේ මට අවශ්‍ය වී තුබුණු කරුණ සොයාගන්නට ය. එහෙත් මට හමු වූයේ ඒ කරුණ පමණක් නො වේ. ඒ හා සබැඳි තව ද බොහෝ වැදැගත් කරුණු රැසක් ඉන් මතු විය. ආන...