Sunday, March 29, 2020

කුණු සින්නො - 5: "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?"

වෙසක් පෝය ළං වෙද්දී සද්ධා බුද්ධි සම්පන්න කුණු සින්නෝ නවක ශිෂ්‍යයන් කණ්ඩායම් ගණනාවකට බෙදා සරසවිය පුරා එල්ලන්නට වෙසක් කූඩු හදන්නට පැවැරූ හ. යම් පිරිසක් කැමැත්තෙන් හා කැපවීමෙන් හා ඒ වැඩේ යෙදුණ හ. ඇතැමෙක් බේරෙන්නට හැටියක් නැති නිසා ඒ වැඩේ යෙදුණ හ. කැට හොල්ලා සිඟාගත් මුදලින් දෝ වෙසක් කූඩු සඳහා කඩදහි, බටපතුරු ආදිය සැපැයිණි. කොපමණ මුදලක් වෙසක් කුඩු නො හදා ම නිවන් ගියා දැ යි හරියට නො දනිමි. කෙසේ හෝ ඒ වෙසක් කූඩු වසංගතයෙන් බේරීමට මම සමත් වූයෙමි. ඔය දිනවල මා කුණු සින්නන් නියම කළ ඇඳුම් කට්ටලය ඇන්දේ නැති නිසා බේරී සිටින්නට හැකි වූ නමුදු මා සිටියේ මායිම් ගම්මාන වැසියකු මෙන් කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙනි. එක් දිනක් කුමක් දෝ ඉංගිරිසි පැවැරුමක් සඳහා අවශ්‍ය වූ පොත් වගයක් සොයාගන්නට පොත්ගුලට ගිය මම හෙමින් සීරුවේ තෙල් බැම්ම මඟ ඇර මී අඹ සෙවණ පැත්තෙන් පල්ලම් බැස්සෙමි. තෙල් බැම්ම පැත්තෙන් නො ගියේ එහි ගියොත් අනිවාර්ය පීඩාවකට පත් වන බැවිනි.

මී අඹ සෙවණේ මහා පතරංග වෙසක් කූඩු රාජයකු ඉදි වන බව මා දක්නා විට ආ පසු හැරෙන්නට පමා වැඩි ය. මම ඉදිරියට ම පය මෙහෙයීමි. වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්" යනුවෙන් පසු පසින් හඬ තළනු ඇසිනි. මම නෑසුණු සේ යන්න ගියෙමි. "උඹ මෙතැනට එනවද අපි ඔතැනට එන්න ද?" කුණු සින්නා තර්ජනාත්මක ස්වරයෙකින් කීයේ ය. මම ආ පසු හැරී බලා "මට ද?" යි ඇසීමි. "ඔව්, තොට තමයි. මෙතැන තව ෆස්ට් ඉයර් උන් ඉන්නවද? මෙහෙ වරෙං හු*ගන්නෙ නැතුව!" මම ඒ අණ පිළිපැද්දෙමි. මහා වෙසක් කූඩු රාජයා තැනීමට ගෙනා යකඩ බට ද ලී දඬු ද තවත් බොහෝ දෑ ද එහි තිබිණි. මට හොඳ සංග්‍රහයක් විඳින්නට වේ දෝ යි සිතේ චකිතයක් පහළ විණි. එහෙත් දැන් ආ පසු හැරී යාමක් නැත. "අපි මේ මොක ද කරන්නෙ?" එකෙක් මිහිඳු හිමියන් ගේ අඹ පැනය වැන්නක් මගෙන් ඇසී ය. "වෙසක් කූඩු හදනවා" මම කීමි. "උඹේ වෙසක් කූඩු ග්රූප් එක මොකක් ද?" මම මොකක් දෝ අංකයක් කියා දැමුවෙමි. "කවුද ග්රූප් ලීඩර්?" මා දන්නා ග්රූප් ලීඩරයෙක් නැත. මම බිම බලාගතිමි.

"උඹට කියන දේ තේරෙන්නෙ ම නෑ වගේ නෙ?" යනුවෙන් පටන් ගත් කුණු සින්නා මට තේරුම් බේරුම් ඇති කිරීම සඳහා දෝ වෙසක් කූඩු සැකිල්ල ඉදිරියේ දී ම සම්මා වාචායෙන් යමාමහ පෙළහර පෑ ය. "උඹ දන්නවා නේ ද ඔහොම ඇඳලා එන්න බැරි බව? උඹට හොඳින් කිව්වම තේරෙන්නෙ නැද්ද?" තවෙකෙක් මගේ මූණට එබී ඇසුවේ ය. මම බිම බලාගෙන සිටියෙමි. එතෙක් වේලා මට ඔරවඔරවා දත් කූරු කමින් සිටි කුණු සින්නෙක් අඩියට දෙකට මා ළඟට ආවේ ය. "උඹ රිච්මන්ඩ් නේ ද?" විමතියෙන් යුතු මම "ඔව්" කීවෙමි. "උඹට මාව මතක නෑ?" මම උඩ බිම බැලුවෙමි. ඔහොම එකකු ගැන මට මතක සේයාවක් වත් නැත. අනෙක් අතට සිසුන් හාර පන් දහසක් සිටින පාසලක උගත්තකුට තමා ගේ මිතුරන් හැරුණු කොට අනෙකෙක් මතක සිටී නම් ඒ ඉතා කැපී පෙනුණු ශිෂ්‍යයෙකි. "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?" මගේ නිහඬ බව නිසා බුරබුරා නැඟෙන කෝපාග්නියෙන් දැවෙමින් කුණු සින්නා ගුගුළේ ය. මම දෙපසට හිස සැලීමි. "තොට මාව මතක නැති වුණාට මට තෝව මතක යි" අවසන හේ කීවේ ය.

"බලපං උඹ ඇඳලා ඉන්න විදිය. උඹට මතක ඇති නෙ ඉස්කෝලෙ තිබුණ විනය. එහෙම ඕන ඕන ඒවා ඇඳගෙන එන්න බෑ නෙ. අපිත් ඒ දවස්වල ගාමිණී සර් ගෙන් ඕන තරම් කනේ පාරවල් කාලා තියෙනවා ඇඳුම නිසා" හේ කියාගෙන කියාගෙන ගියේ ය. ගාමිණී සර් යනු එවක රිච්මන්ඩ් නියෝජ්‍ය විදුහල්පති ගාමිණි ජයවර්ධන මහාත්මා යි. දැන් එතුමා මහින්ද විද්‍යාලයාධිපතිතුමා ය. එතුමා ගෙන් කනේ පාරවල් කෑ එකෙක් නම් උගේ නොම්මරය හොඳ එකක් විය නොහැකි ය. ගාමිණී සර් ඉතා සුහද පරිපාලකයෙකි. කනේ පාරක් දුන්නොත් ඒ නො දී ම බැරි එකකුට ය. දවසක් මගේ සයිඩ්බර්න්ස් දිග වැඩි බව දැක ගාමිණී ජයවර්ධන මහතා මා ළඟට කැඳැවා කීවේ "බලපං උඹේ සයිඩ්බර්න්ස්. වික්ටර් රත්නායක වගේ. හෙට එන කොට කපං ඇවිල්ලා පෙන්නන්න ඕන. උඹලත් මෙහෙම ආවම අපි කාව බලං හැදෙන්න කියලද බං අනික් ළමයින්ට කියන්නේ?" කියා ය. ඒ නිසා ගාමිණී සර් දණ්ඩනයට යන්නේ යාප්පුවෙන් මෙල්ල කළ නොහැකිවුන් සඳහා බව මම දැන සිටියෙමි. මේකා එහෙම එකෙකි.

මා සිතිවිලි සයුරේ කිමිදෙද්දී කුණු සින්නා දිගට ම දෙසයි. "මෙතැනත් විනයක් කියලා එකක් තියෙනවා. ඉස්කෝලෙ වගෙ තමයි. ඒ කියන විදියට ඇඳගෙන වරෙං ලොකු ලයින් නො දී. විනයට අනුගත වෙයං. උඹට ඉස්කෝලෙදි නම් බදාගෙන බෞද්ධ සංගම් කරන්න පුළුවන්. මෙහේ දී තමයි වෙසක් කූඩුවක් වත් හදන්න බැරි. උඹ අපේ ඉස්කෝලෙ කියලා කියන්නත් ලැජ්ජයි" කියා කුණු සින්නා ඉවත ගියේ ය. මටත් ඔහු කියූ අන්තිම වාක්‍යය ඔහු වෙනුවෙන් පුනරුච්චාරණය කරන්නට සිතුණ ද ඒ වේලාවේ එසේ කළා නම් කතාව නවතින්නේ රෝහල් වාට්ටුවකිනි. මම බයාදු ලෙස යටහත් ව සිටියෙමි. ඊළඟට ඉන්නල ගෝනියක් තරම් එකෙක් මා ළඟට පැමිණ "වාඩි වෙන්න" යි කීවේ ය. මා වාඩි වූ සැණින් කුණු සින්නෝ මගේ මවුන් පියන් පවා සිහි කරමින් සම්මා වාචාව පිළිපදින්නට වූ හ. එහෙත් "වාඩි වෙන්න" යි කී තැනැත්තේ කරුණාවක් පෑයේ ය. "ඉන්න ඇරපං" යි අනෙක් උනට කී හේ තෙමේ මා සමඟ සුහද සංවාදයකට වන්නේ ය.

මා ළඟින් ඉඳගත් හේ "මල්ලි උඹ ඉංග්ලිශ් කරනවා නේ ද?" යි ඇසුවේ ය. මම හිස සැලීමි. "මාත් කරනවා" හේ කීවේ ය. ඔහු මා අත තුබුණු පොතක් ගෙන එහි පැරැණි ඉංගිරිසියෙන් 'Tis යනුයෙන් ලියා ඇත්‍තක් පා එසේ ලියන්නේ ඇයි දැ යි ඇසී ය. "ඇමරිකන් ඉංග්ලිශ්" මම කීවෙමි. කුණු සින්නා පිළිතුරෙන් සෑහී "දන්නවනෙ!" යි කී ය. ඒකා දාන්නා තරම මම එයින් මැනැගත්තෙමි. It is යන්න Tis යනුවෙන් ලියූවේ සොළොස් වැනි සියවසේ පමණ පැරැණි ඉංගිරිසියේ විනා ඇමරිකානු ඉංගිරිසියේ නො වේ. "මල්ලි, ඉගෙන ගන්නවා වගේ ම පොදු වැඩව්ලටත් වරෙං. කැම්පස් ලයිෆ් එක කියන්නෙ ලෙක්චර්ස් යන එක විතරක් නෙවෙයි. ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව අනික් හැමෝ ම ඉන්න විදියට ඉන්න බලපං. හා, දැන් පලයං" යි කී හේ තෙමේ මා නිදහස් කෙළේ ය. මම කෘතවේදී සිනාවක් පා හුන් තැනින් නැඟිට සෙමෙන් සෙමෙන් ගියෙමි. මා යන විට අර පාසල කර පින්නාගෙන උන් ආදි රිච්මන්ඩ් සින්නා "හදන්න බෑ අපතයෙක්" කියනු මට යන්‍තමට ඇසිණි. ඒකා 'දළ' ඇති වල් ඌරකු බව මට පස්සේ ආරංචි විය.

No comments:

Post a Comment