Monday, November 9, 2020

කුමාරතුංග මුනිදාස බෞද්ධ විරෝධියෙක් ද?

කුමාරතුංග මුනිදාසයන් බුදු, දම්, සඟ (බුද්ධ, ධම්ම, සංඝ) යන තෙරුවන වෙනුවට බස, රැස, දෙස (භාෂාව, ජාතිය, දේශය) යන තෙරුවන ආදේශ කළ හ යි බුකිවාසී කෘතක පණ්ඩිතයෝ කිහිප දෙනෙක් ම කියති. කෙනෙක් ඊට සාධක පිණිස එහෙන් මෙහෙන් අහුලාගත් අසම්බන්ධ උද්ධෘත ද දක්වති. මේ අලුත් පන්නේ විවේචකයන් කුමාරතුංග මුනිදාසයන් ගැන විනිශ්චය කිරීම පිණිස ඔවුන් ලියූ දැයක් කියවා ඇත්නම් ඒ "හත්පණ", "මඟුල් කෑම", "හීන් සැරය" පොත් තුන හැරුණු කොට "ලක් මිණි පහන් කතුවැකි" පොතත් "කුමාරතුංග ගේ සමාජ දර්ශනය" පොතත් පමණි. ඉතින් කුමරතුඟු පබඳ සයුරක් නම් එහි ඔබා පිටතට ගෙන හත් විටක් ගැසූ අස් ලොමෙක ඉතිරි වන දිය බිඳිත්ත තරමේ සුඟෙකි, ඔවුන් කියවා ඇත්තේ. ඒ නිසා ඔවුන් කියන්නේ ඔවුන් ගේ ලොකු ඔළු ගෙඩිවල හිස් බව පුරවන්නට ම මැවුණු විකාර විනා ඇත්ත නො වේ. එසේ නම් ඇත්ත කිමෙක් ද?

කුමාරතුංග මුනිදාසයෝ වනාහි යටත් විජිත සිංහල ද්වීපයේ වුසූ තාක් සියල්ලන් ම කිසි දු භේදයෙකින් තොර ව අධිරාජ්‍යවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයට එක් කොටගන්නට වෑයම් කළ කෙනෙකි. "ආගමය පෞද්ගලික යැ" යි ද "එය උවමනා විටෙක වෙනස් කළ හැකි යැ" යි ද කියා තමන් ගේ ජාතික ව්‍යාපාරය ආගමය වෙනුවට භාෂාව කේන්ද්‍ර ව ස්ථාපනය කොටගත්තේ ඒ නිසා ය. කුමාරතුංගයන් පෙන්වා දෙන පරිදි රැසක් යනු එක් පොදු බසක් කතා කිරීම නිසා සංස්කෘතික වැ ඒකාබද්ධ වූ ජන කොට්ඨාසය යි. දෙස නම් ඒ ජන කොට්ඨාසයට අයත් වාස භූමිය යි. ඒ අනුව බස නිසා රැසත්, රැස නිසා දෙසත් ඇති වන බව පැහැදිලි ය. ඒ නයින් ම බස නැසුණ හොත් රැසත්, රැස නැසුණ හොත් දෙසත් නැසෙන බව කුමාරතුංගයෝ පෙන්වා දුන් හ. එසේ වන්නේ කෙසේ දැයි මඳක් පැහැදිලි කළ යුතු ය.

බස වනාහි චින්තනයේ මාධ්‍යය යි. ඒ බව පිළිගන්නා වාග්විද්‍යාඥයෝ ද වෙති. අප සිතන්නේ බස මාධ්‍යය කොටගෙන ය. අප ලොව දකින්නේ ද බස මාධ්‍යය කොටගෙන ය. සිංහලයා එක්තරා පාටක් "තැඹිලි පාට" යනුවෙන් හඳුන්වත් දී ඉංගිරිසියා ඒ පාට ම "orange colour" යනුවෙන් හඳුන්වන්නේ ඔවුන් තමතමන් ගේ බස හරහා ලොව දක්නා නිසා ය. ඒ නිසා යම් රැසෙක බස අවුල් වුව හොත් එයින් ම ඔවුන් ගේ චින්තනයත් ලෝක දෘෂ්ටියත් අවුල් වැ යෙයි. චින්තනයත් ලෝක දෘෂ්ටියත් අවුල් වූ රැසකට කවර නම් පැවැත්මෙක් ද? මෙරට ඉතිහාසයේ කෝට්ටේ යුගයත් කොළඹ යුගයත් අතර කොටස පිරික්සා බැලීමේ දී බස අවුල් වූ හා ම රැස අවුල් වූ බවත් රැස අවුල් වූ හා ම බස අවුල් වූ බවත් ප්‍රත්‍යක්ෂ වේ. දෙස රැකීමට ඇත්තේ රැස යි. චින්තනයත් ලෝක දෘෂ්ටියත් අවුල් වූ රැසකට ඔවුන් ගේ දෙස රැකගත හෙති යි සිතනු ම විහිළුවෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ නම් වඩුග රජු කෙරෙහි කළකිරුණු උඩරට රදලයන් ඒ රජු ඉංගිරිසින් හට කුදලා බාර දීමෙන් දෙස රැකෙනු පැතීම වනාහි රැසේ චින්තනය අවුල් වැ ගොස් කළ එක් අනුවණ කමකට නිදසුනෙකි. මේ අනුව බසත් රැසත් දෙසත් අනුපිළිවෙළින් එකිනෙක හා බැඳී ඇති සැටිත් අනුපිළිවෙළින් එකිනෙකින් රැකෙන සැටිත් පැහැදිලි ය.

කුමාරතුංග මුනිදාසයන් බස, රැස, දෙස හඳුන්වා දුන්නේ "හෙළ තෙරුවන" යනුවෙනි. බොදුනුවන් හට බුදු, දම්, සඟ යනුවෙන් තෙරුවනක් ඇත්තා සේ ආගමයෙන් බොදුනු, කිතුනු ඈ ලෙස බෙදුණු කාට වුව බස, රැස, දෙස යනුවෙන් තෙරුවනක් ඇති බව ඔහු තුමූ පෙන්වා දුන් හ; එය බොදු තෙරුවනෙන් අන්‍ය කොට ගැනීම සඳහා "හෙළ තෙරුවන" යනුවෙන් ම වෙසෙසා හැඳින්වූ හ. ඒ අනුව හෙළයාට (සිංහලයාට) හෙළ තෙරුවන ඇත්තේ ය; බොදුනුවාට (බෞද්ධයාට) බොදු තෙරුවන ඇත්තේ ය; හෙළ බොදුනුවාට (සිංහල බෞද්ධයාට) හෙළ තෙරුවනත් බොදු තෙරුවනත් දෙක ම ඇත්තේ ය.  ඒ විනා කුමාරතුංගයෝ කිසි කලෙකත් "බොදු තෙරුවන වෙනුවට හෙළ තෙරුවන ගන්නැ" යි බෞද්ධ විරෝධී ගුඩු බණ නො කී හ. කුමාරතුංගයන් එසේ කී හ යි යෙමින් මහත් භයක් හඟවාපියමින් කුමාරතුංගයනට අපහාස කරන්නෝ වනාහි මා ඉහත කී පරිදි "හත්පණ", "මඟුල් කෑම", "හීන් සැරය" පොත් තුනෙන් පටන් ගෙන "ලක් මිණි පහන් කතුවැකි" පොතත් "කුමාරතුංග ගේ සමාජ දර්ශනය" පොතත් පමණක් ප්‍රමාණ කොටගෙන කුමාරතුංගයන් අධ්‍යයනය කළ බුකිවාසි කෘතක පණ්ඩිතයෝ ය.

රට, ජාතිය, ආගමය, භාෂාව යනුවෙන් රත්න හතරක් ඇතැ යි කීවෝ අනගාරික ධර්මපාලයෝ ය. මුලින් කී රට, ජාතිය, ආගමය තුනට ඔවුන් භාෂාව එක් කොටගත්තේ පසු ව ය. එහෙත් කුමාරතුංගයන් මෙන් ඒ එකිනෙක අතර විදුහුරු සැබැඳියාවක් පෑමට ඔවුන් සමත් වූයේ නැත. ආගමය බදාගත් විට රැස එකතු වීමට වඩා බෙදීම සිදු වන නිසා යි, කුමාරතුංගයන් බස, රැස, දෙස යනුවෙන් හෙළ තෙරුවනක් පෑවේ. අනගාරික ධර්මපාලයන් ගේ ආර්ය සිංහල ව්‍යාපාරය බෞද්ධයනට මිස අන් කිසි දු ලබ්ධිකයකුට දොර ඇරුණු එකෙක් නො වී ය. ධර්මපාලයෝ ප්‍රසිද්ධියේ ම අන්‍ය ලබ්ධිකයන් හෙළා කතා පැවැත්වූ හ. මේ රටේ අයිතිය සිංහල බෞද්යධනට ම පමණක් බව ඔවුන් ගේ ස්ථාවරය වී ය. එහෙත් තමන් ගේ බස හෙළ බස (සිංහල භාෂාව) බව පිළිගන්නා තාක් බෞද්ධ, ක්‍රෛස්තව, වෛෂ්ණව, මහම්මදික, නිරාගමික කාට වුවත් තමන් හෙළ රැසට අයත් සේ සලකා ඒ නිසා ම හෙළ දෙස රැකීම පිණිස හවුල් වීමට කුමාරතුංග මුනිදාසයෝ ඉඩ හළ හ. ඒ නිසා ම එවක් පටන් මෙවක් තෙක් ම හෙළ හවුලේ බෞද්ධ, ක්‍රෛස්තව, වෛෂ්ණව, මහම්මදික, නිරාගමික කවුරුත් වූ හ; දැනුදු බෞද්ධ, ක්‍රෛස්තව, මහම්මදික, නිරාගමික අය එහි වෙති. ඒ අය බසත් රැසත් දෙසත් රකිනු පිණිස හවුලේ වෙහෙසෙති; එහෙත් ආගමය අදහන විට එය තනි තනි ව අදහති.

හෙළ හවුල වටා භේදයෙකින් තොර ව කවුරුනුත් එකතු වනු දැක ඊර්ෂ්‍යාවට පත් එවක ඇතැම් පැවිද්දෝ කුමාරතුංග මුනිදාසයන් බෞද්ධ විරෝධියකු බවත් පල්ලියේ කොන්ත්‍රාත්කරුවකු බවත් ඈ මුසා ඇද බාමින් කුමාරතුංගයන් ගේ ව්‍යාපාරය පිළිබඳ දුර්මත සමාජ ගත කළෝ ය. ඔවුන් ගේ පහරට ලක් වූ එක් ප්‍රධාන සංකල්පයක් වූයේ කුමාරතුංගයන් ගේ "හෙළ තෙරුවන" යි. ඔවුන් ගේ ඇතැම් කුහක ප්‍රතිපදාවලට කුමාරතුංගයන් ගෙන් ඉතා තදින් පහර වැදුණු නිසා කුමාරතුංගයනට බෞද්ධ විරෝධී අඩයාලම ගැසීම ඔවුනට පහසු විය. එහෙත් ගුණ නැණ එක සේ පිහිටි විදුරුපොළ පියතිස්ස, පැළෑණේ සිරි වජිරඤාණ, බළන්ගොඩ ආනන්දමෛත්‍රේය වැනි මහ නා හිමිවරු ද කෝදාගොඩ සිරි ඤාණාලෝක, වරකාගොඩ සීලරතන, සිටිනාමළුවේ සුමනරතන, තංගල්ලේ ධීරාලංකාර, මිරිස්සේ චන්දජෝති වැනි පඬි හිමිවරු ද කුමාරතුංග මුනිදාසයන් පිරිවැරූ හ. ඒ නිසා කුමාරතුංගයන් බෞද්ධ විරෝධියකු වූ බවත් කුමාරතුංගයන් හා භික්ෂූන් අතර හිතවත් කමක් නො වූ බවත් කියන කෘතක පණ්ඩිතයන් මේ කී නම්වලින් හැඳින්වෙන්නාහු බෞද්ධ භික්ෂූහු නො වූ දැ යි පැහැදිලි කළ යුතු ය.

ඒ පණ්ඩිතයෝ තුමූ බුකියේ වහසි බිණීමට නම් උපන් ගෙයි හපන්නු ය. එහෙත් තමන් ඉපැදැවූ වාදයකට පිහිට පිණිස කරුණු ඇර පාන්නැ යි ඇරියුණු කල්හි ඔහු තුමූ පොලිස් රාලහාමියකු දුටු කසිප්පුකාරයන් සේ වහා දිවැ ගොස් කැලෑ වදිති. ඔවුනට අපි අනුකම්පා කෙරෙමු.

No comments:

Post a Comment