රිච්මන්ඩ් යටගියාව සොයා ගිය හැටි
ඉස්සර මා නිතොර ආ ගිය මුද්‍රණ ආයතනයකට කලකට පසු අද හවස පා තැබූයෙමි. එහි පිවිසි විගස ම නැහැ පුඩු කිතිකවා-ලූ නැවුම් තීන්ත සුවඳින් මා ගේ මතක සයුර කැලැඹී-ගියේ ය. පාත මහලින් නො කඩවා ඇසෙන මුද්‍රණ යන්ත්‍රයේ ඒකාකාරී ඝෝෂාව ඔස්සේ මම වසර කිහිපයක් අතීතයට ඇදී ගියෙමි. උසස් පෙළ විභාගය පෙනී සිට සරසවි වරම් ලැබෙන තුරු අවුරුදු එකහමාරක පමණ කාලයක් මා ගෙවා දැමූයේ කලින් කලට පළින් පළට යමින් පූර්ණ ශාස්ත්‍රීය සඤ්චාරයක දෙමිනි. මුද්‍රණ ආයතන යනු එසේ මා නිතොර ආ ගිය තැන්වලින් එකකි. එසේ ආ ගිය හැම තැනකට ම නැවැත පා තබන විට එක්තරා සොඳුරු මිනිසෙක් මට සිහි වෙයි. ඒ කන්දේ සිසිල් සුරසේන මහතා ය. එ දවස මා ගේ බොහෝ උදය වරු ගෙවුණේ රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සඟරා හා කෞතුකාගාර කමිටු කාර්යාලයයේ ය. ඒ සුරසේන මහතා සමඟ පැරැණි පතපොත පෙරළමින් විද්‍යාලයයේ ඉතිහාසය ලියමිනි. සුරසේන මහතා ප්‍රකට පරිසරවෙදියකු මෙන් ම ඉතිහාස පර්යේෂකක් ද වේ. එ වක අප ලියන්නට පටන් ගත් ඉතිහාස පොත තව ම නිමහම් දුටුයේ නැති නමුත් මඳ කලෙකින් එහි සංක්ෂිප්තයක් පළ කරන්නට අපට හැකි විය. තව ද වසර කිහිපයක් ම කන්නන්ගර සමරු උලෙළ පැවැත්වීමට ද මම සුරසේන මහතාට උදවු...