එදා පැවැත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහාත්මාව ගේ 'විචාරාත්මක චින්තනය' (Critical Thinking) දේශනය යි. දේශන ශාලාව K28 ගොඩනැඟිල්ලේ එකක් බව ද මතක තිබේ. දේශනය ඉවර වන විට වේලාව හවස හතරට පමණ ඇත. උදේ පටන් දේශන කිහිපයකට ම සහභාගී වූ බැවින් සරසවිය පසු පසින් පල්ලම් බැස වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක් පමණ පයින් ගොස් නවාතැනට යන්නට ගතට ද සිතට ද හයියක් නැත. එබැවින් අනෙක් නවක සිසුසිසුවියන් ද සමඟ රොත්ත පිටින් තෙල් බැම්ම පසු කැර යාමට මම හිත හදාගත්තෙමි.
හැන්දෑව නිසා දෝ තෙල් බැම්ම ළඟ ඒ වන විට එතරම් කුණු සින්නෝ නුවූ හ. එහි වූ කිහිප දෙනා අතුරින් හීන්දෑරි උස එකෙක් "ඒ, ඒ, ෆස්ට් ඉයර්, මෙහෙ වරං" කියා එක රොත්‍තට යමින් සිටි අප බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට පදික වේදිකාව වෙත කැඳැවූ හ. ශ්‍රී සුමංගල ශබ්දකෝශයේ එක් වෙළුමක් තරම් විශාල පොතක් කිහිල්ලේ ගහගත් දොඩමක් දෙකක් පමණ උස ඇති කුණු සින්නෙක් එහි සිටියේ ය. ඒ පොතක් අතැති ව කුණු සින්නකු බැම්මේ සිටිනු දුටු පළමු වැනි වතාව යි. ඔහු අතැ තුබුණු පොත වාණිජ්‍ය ධාරාවේ ගිණුම්කරණය හෝ අළෙවිකරණය හෝ වැනි විෂයයක් ගැන ඉංගිරිසි මාධ්‍යයෙන් ලියැවුණු පොතෙකි.
"ආදරණීය නංගියේ, මල්ලියේ" කියමින් කුණු සින්නා සිය දෙසුම ඇරැඹී ය. එය කියැවීමේ අගය පිළිබඳ දේශනයකි. "උඹලා ලෙක්චර් ගියාට විතරක් මදි. පොත්පත් කියවන්නත් ඕන. මාත් මේ ලයිබ්රියට ගිහිල්ලා එන ගමන්." හේ කියාගෙන ගියේ ය. මට තෙල් බැම්මේ දී එතෙක් හමු වූ සියලු කුණු සින්නන් අතුරින් කුණුහරුප නො කියූ එක ම තැනැත්තේ නම් මේ ය. අනෙක ඔහු ගේ දේශනය ද කියැවීමේ අගය ගැන ය. "පොත් කියවලා විතරක් මදි. මිනිස්සුන්ව ආස්සරේ කරන්නත් ඕන. මිනිස්සු ආස්සරේ කරලා ලබන දැනුම පොත් දාහකින් වත් ලැබෙන්නෙ නැහැ" යි හේ දැනුම ලැබීමේ තවත් මඟක් පෑවේ ය. ම සිතෙහි ඔහු ගැන කෙමෙන් පැහැදීමක් ඇති වෙමින් තිබිණි.
කුණු සින්නා ගේ දේශනය තව ඉදිරියට යයි. සමාජ ආශ්‍රයයෙන් තමා දැනුම ලැබූ ආකාරය ගැන හේ නිදසුන් පවතක් දක්වන්නට වන. "මේ ළඟ දී අපේ බැජ්ජෙකේ කොල්ලෙක් ගෙ තාත්තා නැති වුණා. අපි ඔක්කොම පුළුපුළුවන් විදියට බඩුමුට්ටු ටිකකුත් අරගෙන කපට ගියා" කුණු සින්නා නිදසුන් පවත දිග හරියි. "එදා පාංසුකූලෙ දෙන වෙලාවෙ හාමුදුරුවෝ අනුසාසනාවට කිව්වා අපේ ජීවිතය හරියට තණ කොළයක් අග තියෙන පිනි බින්දුවක් වගේ කොයි වෙලාවෙ බිමට වැටෙයි ද කියන්න බෑ කියලා" ඒ ගමන බණක් දෙසා වදාරති දෝ හෝ යි මම ඇස් කන් දල්වාගෙන සිටියෙමි. "ඒ හාමුදුරුවෝ කිව්ව කතාව ඇත්ත නේ ද කියලා මම හුඟක් වෙලා කල්පනා කළා. දැන් එතකොට එදා ඒ කපට ගියේ නැත්නම් මට ඒක දැනගන්න ලැබෙන්නෑ. අන්න ඒක යි මිනිස්සු ආස්සරේ කරන්න කියන්නෙ" හේ කී ය.
ගුවන්තොටක දිවුම් මඟක් දිගේ බොහෝ දුරක් දිවැ කෙමෙන් ගුවනට නැඟෙමින් තුබුණු ගුවන් යානයක් හිටි හැටියේ ම ඇංජිම නතර වීමෙන් බිම ඇදැ වැටී පුපුරා මහා අග්නි ජාලාවක් බවට පත් වන්නා සේ මා සිතෙහි ඔහු ගැන ගොඩ නැඟෙමින් තුබුණු පැහැදීම ද ඇදැ වැටී දැවී හළු වී ගියේ ය. ඒකා පටන් ගත්තේ කියැවීමේ අගය ගැන දෙසමිනි. එහෙත් ධම්මපදය, ලෝවැඩසඟරාව ආදියෙහි පණ තණ අග පිනි බිඳකට සමාන කරන උපමාව ඒකා නමෝවිත්තියෙන් අසා ඇත්තේ අර අනුසාසනාවෙනි. මම අමාරුවෙන් සිනහ තද කැරැගෙන බිම බලාගතිමි. ධම්මපදය, ලෝවැඩසඟරාව කියවා නැති උන් සරසවිවල කොතෙකුත් සිටිය හැකි ය. එහෙත් එම්. එස්. ප්‍රනාන්දු ගේ මේ බයිලා ගායනය වත් අසා නැතිවුන් සරසවිවල සිටිය හැකි ද?
"මල් යහනාවකි ලෝකේ - නැහැවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණ අග පිනි බිඳකී"
අපට කියැවීමේ අගය කියා දෙන්නට ආවේ ඔන්න ඔහොම කුණු සින්නන් ය! උන් නො දත් ලෝවැඩසඟරා කවිය මෙසේ ය:
"බණ නම් නිබොරු ය මුනිවර යන්නේ
කය නම් නොතිර ය අදහා ගන්නේ
පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
පින නම් නොපමා ව ම කැර ගන්නේ"
No comments:
Post a Comment