කුමාරතුංග මුනිදාස ළමා පද්‍ය සාහිත්‍යයේ ප්‍රතිධ්වනික පද භාවිතය
කුමරතුඟු මුනිදසුන් ගේ හැත්තෑ වැනි සමරුව නිමිත්තෙන් ශාන්ත කේ. හේරත් ඇඳි සිතුවමකි. විසි වැනි සියවසෙහි හෙළ දිව වුසූ පඬිවරුන් අතුරින් කුමාරතුංග මුනිදාසයනට හිමි වනුයේ අන් කවරකුට වත් නො දෙ වැනි තැනෙකි. බහුනිපුණ චරිතයෙකින් හෙබි ඔවුන් නොයෙක් දෙනා හඳුනා-ගත්තේ නොයෙක් අයුරිනැ යි කීම වැරැදි නො වේ. වැඩි දෙනකු ඔවුන් දුටුයේ මහා ශාබ්දිකයකු ලෙසිනි; ඇතැමකු ඔවුන් දුටුයේ නිදහස් සටනේ මහ සෙනෙවියකු ලෙසිනි; තවත් පිරිසක් ඔවුන් දුටුයේ සම්භාව්‍ය සාහිත්‍ය විශාරදයකු ලෙසිනි; ඒ කිසිවක් ගැන නිනවුවක් නැති ළපැටියන් ඔවුන් දුටුයේ රසවත් ගී කව් කතා පබඳ සැපැයූ ලේඛකයකු ලෙසිනි. සිංහල සාහිත්‍යයේ චූල සම්ප්‍රදායයට ගොනු කැරුණු ජනශ්‍රැතික සාහිත්‍යයේ මුත් මහා සම්ප්‍රදායයට අයත් සම්භාව්‍ය සාහිත්‍යයේ ළමා සාහිත්‍ය නිර්මාණ ලෙස හඳුනා-ගත හැකි කිසිවක් නො විණි. මේ බව සිය සියුම් නුවණින් විමසා දැක නූතන සිංහල ළමා සාහිත්‍යයක් බිහි කිරීමට පුරෝගාමී වූ මහා පුරුෂයාණන් ලෙස කුමාරතුංග මුනිදාසයන් හැඳින්වීම සාධාරණ වේ. ඔව...