සිප්විදු සක්විති ඊලියන් ද සිල්වා
තොටවත්ත දොන් මනුවෙල් ඊලියන් ද සිල්වා (1926. 10. 31 - 2015. 09. 23) සිප්විදු සක්විති ඊලියන් ද සිල්වාණෝ 2015 සැප්තැම්බර 23 වැනි දා පෙර වරුවේ අභාවප්‍රාප්ත වූ හ. මිය යන විට 89 වැනි වියේ පසු වූ එතුමාණෝ වෛද්‍ය මල්ලිකා ද සිල්වා මැතිනිය ගේ සැමියාණෝ ද වරුණ තොටවත්ත මහතා ගේ පියාණෝ ද වූ හ. නැසීගිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ටයිටස් තොටවත්තයන් ඇතුළු සහෝදර-සහෝදරියන් සිවු දෙනකු ගේ සොහොවුරකු වූ එතුමාණෝ වෘත්තියෙන් විදිලි මැවිසුරුවකු ( electrical engineer) වූ අතර සිංහල භාෂාවට අනුපමේය සේවාවක් ඉටු කළ විද්වතෙක් ද වූ හ. අගනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ T. G. M. ජුලියස් ද සිල්වා පියාණනට දා ව සිසිලියා සෙට්ටිනායක මෑණියන් ගේ කුසින් 1926 ඔක්තෝබර 31 වැනි දා මෙලෝ එළිය දුටු තොටවත්ත දොන් මනුවෙල් ඊලියන් ද සිල්වාණෝ කොළොඹ ආනන්ද විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය පිණිස ලංඩන සරසවියට බැඳී එහි දී විදිලි මැවිසුරුවම පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබූ හ. අනතුරු ව එක්සත් රජදහනේ විදිලි මැවිසුරු හවුල විසින් ද සිරි ලක විදිලි මැවිසුරු හවුල විසින් ද වර ලත් විදිලි මැවිසුරුවකු ලෙස පිළිගැනුණු එතුමාණන් ...