Posts

Showing posts from March, 2016

රාගම දුම්රිය පොළේ අනිර්වචනීය සෞන්දර්යය

පසු ගිය දාක යම් කටයුත්තක් සඳහා මම රාගමට ගියෙමි. විඩා බර දවසෙක කටයුතු පෙළ ගැස්ම අගට රාගම ගමන යොදා-ගත් බැවින් මා එහි ගියේ ගොම්මන් හැන්දෑවේ ය. ගිය කටයුත්ත හමාර වන විට ගස් වැල් පවා තිමිර සළු පොරවා-ගෙන නින්දට සැරැසී සිටියේ ය. වේලාව රාත්‍රි අටට පමණ ඇත. තවත් පමා නො වී දුම්රියෙක නැඟී කැලැණියට යාමට මම තීරණය කෙළෙමි. වේලාවේ හැටියට ඉක්මනින් ම ආ පසු යා හැක්කේ දුම්රියෙනි. අඩියට දෙකට දුම්රිය පොළට ගිය මම කළු ලෑල්ලක ලියා ඇති ධාවන කාල සටහනට නෙත් හෙළීමි. ක ැලැණියට යා හැකි දුම්රියක් එන්නට තවත් විනාඩි කිහිපයක් ම තිබේ. ඒ දුම්රිය පැමිණෙන්නේ සිවු වැනි වේදිකාවට ය. මම ප්‍රවේශ පත්‍රයක් ගෙන දුම්රිය පොළ තුළට ඇවිද ගියෙමි. දුම්රිය වේදිකාවල දුරින් දුරින් එල්ලෙන කහ පැහැති විදිලි බුබුළුවල මලානික ආලෝකය අන්ධකාරය හා අසාර්ථක සටනෙක යෙදී සිටී. බිත්තිවල ආලේප කොට ඇති රෝස පැහැයට හුරු සායම ඒ මලානික ආලෝකය ද උරා-ගන්නා සේ ය. බිම අතුරා ඇති ගල්තාර ද ගනකම් දුහුවිලි තට්ටුවකින් වැසී ඇත. ටොපි කොළ, කඩල ගොටු, විස්කෝතු දවටන ආදිය ඒ මත එහි මෙහි විසිර තිබේ. තැනින් තැන ඇති දුර්වර්ණ වූ ලී බංකුවල කිහිප දෙනෙක් හිඳ සිටිති. කෙනෙක...