වියරණ පැනයට පිළිතුර - 5: 'බාච්චුව' ආවේ කවර බසින් ද?
සමකාලීන ව්‍යවහාර සිංහලයේ 'බාච්චුව' යන රූපයෙන් ව්‍යවහාර වන පද දෙකෙකි. ඒ දෙක භාෂා දෙකෙක එකිනෙකින් වෙනස් මූලයන් ගෙන් සිද්ධ ය. 'බාච්චුව' යන පදයෙහි එක් අරුතක් නම් 'කුඩා සැහැල්ලූ බෝට්ටුව' යන්න යි. ඒ අරුතින් 'බාජු' යන පදය ද දකුණු පළාතේ ව්‍යවහාර වේ. 'බාජු බෝට්ටු' යනු අද පවා ඇතැම් වැඩිහිටියන් ගෙන් අසන්නට ලැඛෙන්නෙකි. 'බාජු බෝට්ටු' යන්න හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ගේ 'මහා සිංහල ශබ්දකෝශයෙහි' දැක්වෙතත් ඔවුන් ඊට දෙන අරුත නිවැරැදි නො වේ. පුර්තුගීසි භාෂාවේ 'barco' (බාචො) යනු 'සැහැල්ලූ මුහුදු යාත්‍රාව' වැනි අරුතකි. බෝට්ටුවක් හැඳින්වීමට යෙදෙන 'බාච්චුව / බාජුව' යන වදන් සිංහලයට පැමිණියේ එයිනි. ඉංගිරිසි භාෂාවේ 'barge' (බාජ්) යනුවෙන් යෙදෙන වදනත් 'barco' (බාචො) යන පුර්තුගීසි වදනත් ඥාති පද ය. 'බාච්චුව' යන්නෙහි අනෙක් අරුත නම් 'ලිහිල් උඩු කය ඇඳුම' යන්න යි. එය ඇතැම් විට 'බාච්චි' යනුවෙන් ද ව්‍යවහාර වනු ඇසේ. හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ස්වකීය 'මහා සිංහල ශබ්දකෝශයේ' ඊට නම් නිවැරැදි ව අරුත් දී...