Tuesday, December 29, 2020

සම්භාව්‍ය සාහිත්‍යගත භාෂා පරිවර්තන ක්‍රමවේද | Translation Methods in Classical Literature

මෙහි මුල් ක්‍රමවේද අට ඩග්ලස් එච්. රොබින්සන් (Douglas H. Robinson) ගේ Becoming a Translator කෘතියේ එන 'පාඨ විශ්වාස්‍යතා ප්‍රවර්ග' (Types of Text Reliability) අනුසාරයෙනි (Robinson, 2003: 12).  

1. Literalism/ අනුපදීකරණය
- පරිවර්තනයක් බව පැහැදිලි ව පෙනෙන සේ මුල් කෘතිය පදයෙන් පදය සිය බසට පෙරැළීම

2. Foreignism/ විභාෂාකරණය
- පරිවර්තනයක් බව ඇඟැවෙන සේ මුල් කෘතියෙහි භාෂා සංස්ථිතික ලක්ෂණ සිය බසෙහි රැඳෙන සේ පෙරැළීම

3. Fluency/ ව්‍යක්තකරණය
- පරිවර්තනයක් දැ යි සිතාගත නොහැකි වන ලෙස මුල් කෘතියේ භාෂා සංස්ථිතික ලක්ෂණ සඟවා සිය බසට පෙරැළීම

4. Summary/ සාරාංශකරණය
- මුල් කෘතියේ අතිදීර්ඝ, පුනරුක්තික, අනවශ්‍ය ස්ථාන කෙටි කොට සිය බසට පෙරැළීම

5. Commentary/ විවරණය
- මුල් කෘතියේ ඇතැම් තැන් වඩාත් විස්තරාත්මක ව ප්‍රකට වන පරිදි පැහැදිලි කරමින් සිය බසට පෙරැළීම

6. Summary-Commentary/ සාරාංශ-විවරණය
- මුල් කෘතියේ ඇතැම් තැන් හකුළුවමින් ද ඇතැම් තැන් වඩාත් විස්තර කරමින් ද සිය බසට පෙරැළීම

7. Adaptation/ අනුවර්තනය
- මුල් කෘතියේ වස්තුව පමණක් ගෙන එහි බොහෝ සංස්කෘතික ලක්ෂණ හළා සිය රටෙහි සංස්කෘතික ලක්ෂණවලට සීහෙන පරිදි සිය බසට පෙරැළීම

8. Encryption/ විගෝපනය
- මුල් කෘතියේ අරුත එක්තරා පිරිසකට නොවැටැහෙන සේත් තවත් පිරිසකට වැටැහෙන සේත් -එනම් එක් පිරිසකට එය රහසක් වන සේ- සිය බසට පෙරැළීම

9. Inter-textualism/ අන්තඃපාඨනය
- මුල් කෘතියේ අරුත් පැහැදීමට වෙනත් විවිධ කෘතිවලින් කොටස් උද්ධෘත කරමින් සිය බසට පෙරැළීම 

10. Annotation/ ව්‍යාඛ්‍යාකරණය 
- මුල් කෘතියේ දුරවබෝධ පාඨ හෝ වචන හෝ උපුටා දක්වා ඒවායෙහි අර්ථ නිරුක්ති පහදමින් සිය බසට පෙරැළීම 

Sunday, December 20, 2020

"දදය ඔබ ගෙ පාළු යකා"

උපුල් ශාන්ත සන්නස්ගල (සන්නා) අද උදාසන සිංහල පාඩමක් උගන්වා තිබේ. ඒ පාඩම රැ. තෙන්නකෝනුන් ගේ 'කුකුළු හැවිල්ල' ගැන ය. සන්නා කියන්නේ "...'දදය ඔබ ගෙ පාළු යකා' නෙවෙයි පුතා 'දදය ඔබ ගෙ පාළු ය කා'..." කියා ය.  මේ අර්ථ නිරූපණය සන්නා ස්වයංභූ ඥානයෙන් පහළ කැරැගත් එකෙක් නො වේ. මේ වනාහි සුචරිත ගම්ලතුන් ගෙන් උළා කෑ දැනුම යි. කා ගෙන් උළා කෑවක් වුව ද මේ කරුණ සපුරා ම වැරැදි ය. සන්නා දන්නා තෙන්නකෝන් කෙනක් ද නැත; 'කුකුළු හැවිල්ලක්' ද නැත.
තකහණියක් මෙය ලියන්නේ සන්නා ගේ වාචාල කෙප්පය අසා මුළා වූ ගුරු සිසු පිරිස උදෙසා ය.   

'කුකුළු හැවිල්ල' පැදි පෙළ ඇතුළත් වන්නේ රැ. තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" නම් පැදි පොතේ ය. "හැවිල්ල"වනාහි පිටු 112කින් යුතු කුඩා කවි පොතෙකි. රැ. තෙන්නකෝනුන් එය ලියා හමාර කොට එහි අත් පිටපත කුමරතුඟු මුනිදසුන් වෙත රැගෙන ගියේ 1940 සැප්තැම්බර 07, වැනි දා, සෙනසුරාදා ය. අනතුරු වැ කුමාරතුංග මුනිදාසයන්, ජයන්ත වීරසේකරයන්, රැ. තෙන්නකෝනුන් ඇතුළු පිරිස එය කියවා බලා නැවැත සකසා පාණදුරේ පහන් පහරෙහි  මුද්‍රණය කොට පළමු වැනි වරට පළ කෙළේ 1940 දෙසැම්බර 01 වැනි දා ය. මේ තොරතුරු සියල්ල කුමරතුඟු මුනිදසුන් සකස් කළ සුබස සගනුවේ 2 වැනි වෙළුමේ 12, 13, 14, වැනි කලප්වල සඳහන් වේ. 1954 දී දෙ වැනි වරට මරදානේ අනුල පහරෙහි ලා "හැවිල්ල"  මුද්‍රණය කැරිණි. මේ සමඟ දක්වා ඇත්තේ ඒ මුද්‍රණයෙන් උපුටාගත් සේයාරූ කිහිපයෙකි.

උසස් පෙළ සිංහල විෂයය සඳහා නිර්දිෂ්ට ව ඇත්තේ රැ. තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" පැදි පොතෙහි එන 'කුකුළු හැවිල්ල' නම් පැදි පෙළෙහි කොටසෙකි. ඇත්තෙන් ම 'කුකුළු හැවිල්ල' ඔය උසස් පෙළට නිර්දිෂ්ට ව ඇති එකට වඩා දිග ය. උසස් පෙළට නිර්දිෂ්ට වැ ඇත්තේ ඒ පැදි පෙළෙන් උපුටාගෙන සුනිල් සාන්තයන් ගීයක් වසයෙන් ගායනා කළ කොටස පමණි. ඒ වනාහි 'කුකුළු හැවිල්ලේ' පසුබිම් විස්තර ඇති කොටස් ඉවත් කැරැගත් හුදු හැවිල්ල පමණක් ම වේ. ඒ නිසා උසස් පෙළ සිංහල විෂයයට නිර්දිෂ්ට වැ ඇත්තේ "කුකුළු හැවිල්ල" පැදි පෙළ නො ව සුනිල් සාන්තයන් ගායනා කළ "කුකුළු හැවිල්ල" ගීතයෙහි පද මාලාව බව සැලැකිය යුතු ය. 

"...'දදය ඔබ ගෙ පාළු යකා' නෙවෙයි පුතා 'දදය ඔබ ගෙ පාළු ය කා'..." යි සන්නා කියන කොටස එන්නේ ඔය නිර්දිෂ්ට කොටසෙහි ය. ඔහු කියන්නේ මෙහි නිවැරැදි පාඨය විය යුත්තේ "දදය ඔබ ගෙ පාළු ය කා" බව යි. මේ වනාහි සන්නා පහළ කොටගත් දැනුමෙක් නො වේ. ඔහු මෙය උළා කෑවේ 'ඉසි ඇසි තෙන්නකෝන්' මැයින් දසක දෙකකට පමණ පෙර සුචරිත ගම්ලතුන් 'ඉරිදා දිවයිනට' සැපැයූ 'සති සිතු මිණි' තීරු ලිපියෙකිනි. මේ තීරු ලිපිය "සති සිතු මිණි" පොත් පෙළේ පළමු වැන්නේ 28 වැනි පිරිසිඳිය ලෙස නැවැත පළ කොට තිබේ. ගම්ලතුන් එහි කියන්නේ, මේ හැවිල්ල කරන ගැමි ලිය ගේ කුකුළා සොර කම් කළ තැනැත්තා කතරගම දෙවියන් ගේ කොඩිය කා දමා පාළු කළ බවෙකි. මන්ද යත් කතරගම දෙවියන් ගේ කොඩියේ ඇත්තේ කුකුළෙකි. එබැවින් ගැමි ලිය ගේ කුකුළා මරා කෑ එකා කෙළේ කතරගම දෙවියන් ගේ කොඩිය කා දමා එය පාළු කිරීම යි. බැලු බැල්ම
ට හොඳ අදහසක් වුව ද ඇත්ත මෙය නො වේ.    

රැ. තෙන්නකෝනුන් හෙළ හවුලේ කවියන් අතුරින් ප්‍රමුඛතමයා වූ බව කවුරුත් දනිති. කුමාරතුංග මුනිදාසයන් ඔවුනට 'කිවිසුරු' යන ගෞරව නාමය පිරිනැමුවේ ද ඒ නිසා ය. හෙළ හවුලේ ඇතුළතකු වූ රැ. තෙන්නකෝනුන් ගේ බස් වහරෙහි අනන්‍ය ලක්ෂණයක් වූයේ ඇකාර යෝගය යි. එබැවින් "දදය ඔබ ගේ පාළු ය කා" වැන්නක් රැ. තෙන්නකෝනුන් අතින් කැලම ලියැවෙන්නේ නැත. ඒ අදහස දීමට උවමනා විණි නම් රැ. තෙන්නකෝනුන් ලියන්නේ "දදය ඔබ ගෙ පාළු යැ කා" යනුවෙනි. වාක්‍ය සමාප්තික ය නිපාතය ඇකාර සහිත වැ යෙදීමත් එය පෙර පදයෙන් වෙන් කොට ලිවීමත් රැ. තෙන්නකෝනුන් අනුදත් සුබස්  පිළිවෙත යි. "හැවිල්ල" පොතේ හැම තැන ම නිසි ලෙස ම ඇකාරය යෙදූ, නිසි ලෙස ම පද බෙදූ තෙන්නකෝනුනට මෙහි පමණක් ඒ දෙක ම වැරැදීමට හේතුවෙක් නැත. ඒ නිසා ගම්ලතුන් සිතන පරිදි මෙය සුනිල් සාන්තයන් වරදවා ගැයූවක් නො වේ. නිවැරැදි පෙළ "දදය ඔබ ගෙ පාළු යකා" ම බව මේ සමඟ දක්වා ඇති "හැවිල්ල" පැදි පොතේ 39 වැනි පිටුව සනාථ කරයි. සුචරිත ගම්ලතුන් "හැවිල්ල" පැදි පොත නො බලා රෑ වැටුණු වළෙහි සන්නා උදේ පාන්දර ම වැටුණේ ගම්ලතුන් ගේ දැනුම උළා කන්නට ගිය නිසා ය. ඕවා දිට්ඨධම්මවේදනීය කම්මවිපාක ය.

මෙහි  නිවැරැදි පෙළ "දදය ඔබ ගෙ පාළු යකා" නම්, එවිට ඒ නිවැරැදි පෙළෙහි අරුත කුමක් ද යනු කාට වුවත් මතු වන සාධාරණ ප්‍රශ්නයෙකි. එය විසැඳීමට කෙස් පැළෙන තර්ක නැඟීමට අවශ්‍ය නො වේ. "හැවිල්ල" පැදි පොතට ජයන්ත වීරසේකරයන් සැපැයූ 'විවරුව' බැලීමෙන් ඒ අවුල ලිහාගත හැකි ය. මේ සමඟ දක්වා ඇති එහි 82 වැනි පිටුවේ "පාළු" යන්නට ජයන්ත වීරසේකරයන් අරුත් දක්වා ඇත්තේ "පාළු = පැහැරගත්" යනුවෙනි. "හැවිල්ල" කියවා බැලුව ද මෙය නම් වටහාගැනීමට සන්නාට නුවණ නැත. පැහැරගැනීම යන අරුත්හි යෙදෙන "පහර" ධාතුවෙහි අතීත කාල කර්තෘ කාරක කෘදන්තය සකස් වන්නේ "පහළු" යනුවෙන් බව "ක්‍රියා විවරණයේ" 179 වැනි පිටුව දක්වයි. පැදි පෙළෙහි ඇති "පාළු" යන්න සකස් වන්නේ අන්න ඒ "පහළු" යන්නෙහි මධ්‍ය හ්කාර ලෝපයත් සමඟ සිදු වන්නා වූ සමාන ස්වර දීර්ඝයෙනි. තැන්පත් සිහිය අඩු දුනැණයකු වන සන්නා කෙසේ වෙතත් මෙය කියවන පාසල් ගුරු සිසු දෙපිරිස මේ ටික තේරුම් ගත හොත් ප්‍රමාණවත් ය.        

සන්නා "හැවිල්ල" ගැන දන්නා පමණ එතෙකින් හෙළි කොට ඊ ළඟට තමා ‍රැ. තෙන්නකෝනුන් ගැන දන්නා පමණ හෙළි කරන්නේ "රුපියල් තෙන්නකෝන් නෙවෙයි පුතා. රැපියල් හෝ රැයිපියල් තෙන්නකෝන්!" බවක් කියමිනි. රැ. තෙන්නකෝනුන් ගේ නම "රුපියල්"  නොවන බව සැබෑ ය. එසේ ම එය "රැපියල්" හෝ "රැයිපියල්" හෝ ද නො වේ.  ඔවුන් ගේ මුල් නම රෆායෙල් (Raphael) ය. ඒ ඉංගිරිසි නම ඔවුන් සිංහල කොටගත්තේ "රස වූයේ ද පිය වූයේ ද"  යන විග්‍රහ වාක්‍යයෙන් කියැවෙන වන පරිදි "රස+පිය+ලු > රැසි+පිය+ලු > රැහිපියෙලු > රැයිපියෙලු > රැයිපියෙල්" යනුවෙනි. ඒ අනුව "හැවිල්ල" පැදි පොත ලියූවේ රැයිපියෙල් තෙන්නකෝනුන් ය; ඊට 'විවිසුව' (විචාරය) ලියූවේ කුමාරතුංග මුනිදාසයන් ය; එහි අරුත් පැහැදිලි කරනු පිණිස 'විවරුව' (විවරණය) ලියූවේ ජයන්ත වීරසේකරයන් ය; එහි වූ 'කුකුළු හැවිල්ලෙන්' කොටසක් ගීයක් කෙළේ සුනිල් සාන්තයන් ය. මේ සිවු දෙනා ම බසෙහි උසස් දැනුම් ඇති හෙළ හවුලේ මහා පුරුෂයෝ ය. ඒ නිසා ඔවුන් ගේ කෘතිවල සන්නාට සන්න කියන්නට දෙයක් ඉතිරි වී නැත. තමාට නොවැටැහෙන යමක් ඔවුන් ගේ කෘතියෙක දුට හොත් සන්නා කළ යුත්තේ සිංහල දන්නා කවරකු හෝ වෙත එළැඹ එය අසා ඉගෙනගැනීම යි. ඒ විනා සිය රිසි සේ ඒ කෘති විකෘති කොට තම දුනැණ පමණින් බොරු අටවා පටවා රට්ටුන් මුළා කිරීම නො වේ.  

අවසන් විසින් උපුල් ශාන්ත සන්නස්ගලට කියන්නට තිබෙන්නේ "පුතා, අගක් මුලක් නැති කෙප්ප කෙළලා බාල පරපුරේ ඔළු කුරුවල් කරන්නේ නැතුව, පුතා දන්න මඟුලක් කරගෙන ඉන්න, පුතා" කියා ය. 

මෙය දක්නා කවරෙක් හෝ සන්නාට ද දක්වත් වා!



Tuesday, December 1, 2020

හැවිල්ල අසූ විය සපුරයි!


1940 දෙසැම්බර 01 වැනි දා එළි දුටු රැයිපියෙල් තෙන්නකෝනුන් ගේ "හැවිල්ල" පැදි පොත 2020 දෙසැම්බර 01 වැනි දා අසූ විය සැපිරී ය. එහි ආ 'කුකුළු හැවිල්ලෙන්' කොටසක් සුනිල් සාන්තයන් ගේ සර හා හඬ හා මුසු ව ගීයක් බවට පත් වැ හැත්තෑ පස් වසරක් වත් වෙයි. එහෙත් ඇතැමෙක් තව මත් එයට හරි හැටි අරුත් බණන්නට ද නොපොහොසත් ය.

රැ. තෙන්නකෝනුන් විසින් ලියැවුණු "හැවිල්ලේ" අත් පිටපත කුමාරතුංග මුනිදාසයන් වෙත ලැබුණේ 1940 සැප්තැම්බර 07 වැනි දා, සනි දා ය. ඒ බව 1940 සැප්තැම්බර 09 වැනි දා, සඳු දා නිකුත් වූ 'සුබසෙහි' 2 වැනි වෙළුමේ 8 වැනි කලබේ 128 වැනි පිටුවේ සඳහන් වේ. එහි "හැවිල්ලේ" වස්තු සාරයත් 'කුකුළු හැවිල්ල' මුලින් ලියැවී තුබුණු සැටිත් එය ගැයිය යුතු විරිතත් සඳහන් වේ. 

මෙහි උපුටා දැක්වෙන්නේ එහි දැක්වුණු මුල් 'කුකුළු හැවිල්ල' යි. එය "හැවිල්ල" පැදි පොතෙහි පළ වූයේ කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර දෙ වියතුන් ගේ ද පහසට පත් වැ අද අපට අසන්නට ලැබෙන 'කුකුළු හැවිල්ල' බවට පත් වූ පසු ය. රැ. තෙන්නකෝන් විසින් ලියැවුණු මුල් 'කුකුළු හැවිල්ලට' වඩා පසු ව සැකැසුණු 'කුකුළු හැවිල්ල' කොතරම් මනරම් ද? මේ වනාහි එදා හෙළ හවුලේ 'සහයුරු විමසුව' (peer review) කැරුණු පරිදි යි.

'කුකුළු හැවිල්ල' මුලින් ලියැවුණේ අද දක්නට ලැබෙන පරිද්දෙන් නොවන බව අප පෙන්වා දෙන තුරු කිසි කෙනෙක් නො දත් හ. දැන් ඒ දැනුම කාටත් හිමි යි. මෙය උපුටාගෙන අන් කවර තැනෙක වුව ද පළ කිරීමට අවසර ඇත. එහෙත් එසේ කරන විට අප ගෙන් ලැබුණු දෙයක් බව සඳහන් කිරීමට තරම් ගුණවත් වුව මැනැවි.

Sunday, November 29, 2020

කුමරතුඟු මුනිදසුන් ගේ පැරැණි ම පැදි පෙළ


කුමාරතුංග මුනිදාසයන් විසින් ලියන ලද පැරැණි ම පැදිය ලෙස සැලැකෙන්නේ 1905 දී "කණා කවුද?" යන මැයින් කවි කොළ විරිතින් ලියා පුවත්පතක පළ කළ තනි පැදියක්. ඉන් පසු කුමාරතුංග මුනිදාසයන් ලියූ සපිරි පැදි පෙළක් හැටියට හමු වුණේ 1907 අගෝස්තු 20 වැනි දා දොන් ජානිස් මුතුකුමාරණ නම් වැඩිමහලු මිතුරකුට ලියා යැවූ ලියුමක්. එහෙත් මේ සමඟ පළමු වරට මාධ්‍යයක පළ වන පැදි පෙළ අර කී මිතුරාට ම 1907 ජනවාරි 20 වැනි දා ලියා යැවූවක්. ඒ අනුව මෙය තමයි කුමාරතුංග මුනිදාසයන් ගේ දැනට හමු වී ඇති පැරැණි ම පැදි පෙළ!

එවක කොළඹ ගුරු ඇබෑසි විදුහලේ ඉගැනුම ලැබූ විසි හැවිරිදි සිසුවකු වූ කුමාරතුංග මුනිදාසයන් මේ ලියුම ලියලා තියෙන්නේ දොන් ජානිස් මුතුකුමාරණ නැමැති වැඩි මහලු මිතුරාට යි. පසු ගිය වසරේ තමන් ගේ ඉගැනුම් කටයුතු සඳහා ඔහු ගෙන් ලැබුණු රුපියල් හතක මුදල වෙනුවෙන් ස්තුති කරන කුමාරතුංගයන් මේ වසරේ ඉගෙනුම් කටයුතු සඳහා රුපියල් පහක් දෙන ලෙස මේ පැදි පෙළෙන් බොහොම යටහත් ව ඉල්ලා සිටිනවා.

මේ පැදි පෙළ අප වෙත ලැබුණේ රුහුණු සරසවි සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය ධර්මා රාජපක්ෂ මැතිනිය ගෙන්. එතුමියට මේ පැදි පෙළ ලබා දී ඇත්තේ උසස් පෙළ පිළිතුරු පත් ඇගැයුම් මඬුල්ලක දී හමු වූ පාසල් ගුරුවරියක්. ඇය දොන් ජානිස් මුතුකුමාරණයන් ගේ දියණියන් කෙනකු බව එතුමිය කීවා. අභාග්‍යයකට ඒ ගුරුවරිය ගේ නමක් ගමක් ඇය ගේ මතකයේ රැඳිලා නැහැ. කෙසේ වෙතත් මේ පැදි පෙළ මෙසේ රැකගෙන අප වෙත ලබා දීම ගැන මහාචාර්යතුමියට අප හැම ගේ අවංක ආදර ස්තුතිය හිමි විය යුතු යි.

මේ පැදි පෙළ දෙ අතකින් ම ඉතා වැදැගත් වෙනවා. එක් අතකින් මෙය කුමාරතුංග මුනිදාසයන් ගේ ඉගැනීම සඳහා ජානිස් මුතුකුමාරණ නම් වැඩිමහලු මිතුරා මුදල් දුන් බව මුල් වරට හෙළි කරනවා. අනෙක් අතට විසි හැවිරිදි වියේ දී කුමාරතුංග මුනිදාසයන් විද්‍යෝදය ගුරු කුලයේ අක්ෂර වින්‍යාස සම්ප්‍රදයය අනුගමනය කළ බවත් පද බෙදීම ගැන කිසි දු සැලැකිල්ලක් දක්වලා නැති බවත් මෙය හෙළි කරනවා. මේ දෙක ම වැදැගත් අනාවරණ බව අමුතුවෙන් කිය යුතු නැහැ.

මේ මහාර්ඝ වස්තුව මා වෙත එවීම වෙනුවෙන් මහාචාර්ය ධර්මා රාජපක්ෂ මහාත්මාවට යළි යළිත් පින් සිදු වේ වා!

=============================================================== 

සෙත්වේවා!

පුන් සේ රැස් තුරු හර හර නිතර යසස හරණ
බින්දූ සේ මිණි රිපු නම් සිය කොඳ හිම කිරණ
දොන් ජානිස් මුතුකුමරණ නම්දර මැතිවරණ
ඉන් දා සස් රන් ගිර ගිම් දන ලැබ සුර සරණ

කිරණ සිය දරානෝ මත් සුමිත් ගිම් කරානෝ
සතරඳුරු හිරානෝ තුම් රුවින් පන් සැරානෝ
නුවණ ගණිසුරානෝ පෑ විකුම් සිව් කරානෝ
සැරද සොහොයුරානෝ කල් සහස් වත් දරානෝ

ලඳ උවිඳු උරේ රැන්දූ ලඳුන් දික් නුවන්හි
අඳන අඳන රූ සිත් මින් යදින් සිත් සතොස් දුන්
සොඳ ගුණබරණින් දුල් ව උතුම් සෝයුරානන්
පද වැඳ මේ ලෙසින් දන්වා සිටිම් වී බැගෑපත්

මෙමට ඉගෙණ ගන්නා පිණිස සත තතු
පිහිට වෙනා ඔබ යස දස දෙස දිමුතු
විතුට මෙලක රැක්මේ දෙවියෝ නියුතු
හිමට රකිත්වා වෙර සැප දී අමුතු

මෙන්නේ සිතැඟි මට සොහොයුර පරසිද්දේ
දුන්නේ සතකි රුපියල් ගිය අව්රුද්දේ
දෙන්නේ නම් පහක් තව දිය විල මැද්දේ
වෙන්නේ ම ය පුබුදු ඔබ යස සර සුද්දේ

දපා හරණ අමිතුරු කිරි කෙසර ලෙසේ
සෙපා සුගුණ යුතු සොහොයුර බසැති රසේ
එපා නො කොට මා මෙම අයදුම නොලසේ
දෙපා නැමද අයදිමි සිදු කරණ ලෙසේ

මේ වගට: මලනු වන
මුනිදාස කුමාරණතුංග වම් හ.

1907 ජනවාරි 20

Wednesday, November 18, 2020

නො කියවන සිසුවා සරසවි නො යා යුතු ය!













"Two books a week is the normal ration, three not unusual: and this goes on throughout one's life. From children's stories and fiction, one slips unselfconsciously into biography, travel, poetry, drama, and ultimately into solid literature. This is the main part of the education of the undergraduate; and indeed a student who does not read at least two books a week ought not to go to a University, because he lacks education, no matter how many examinations he passed."

Prof. Sir William Ivor Jennings

 "... සතියකට පොත් දෙකක් කියැවීම සාමාන්‍ය අනුපාතය යි. එය සතියකට පොත් තුනක් වුව ද අසාමාන්‍ය නො වේ. මෙය යමකු ගේ ජීවිතය කාලය පුරාවට ම අදාළ ය. ළමා කතාවලින් සහ ප්‍රබන්ධ කථාවලින් පටන් ගන්නෙක් අවිඥානික ව ම චරිතාපදාන, චාරිකා විත්ති, කාව්‍ය, නාට්‍ය ආදිය ඔස්සේ අවසනැ සාරගර්භ සාහිත්‍ය කරා කෙමෙන් යොමු වෙයි. උපාධි අපේක්ෂකයකු ගේ අධ්‍යාපනයේ ප්‍රධාන අංගය වන්නේ කියැවීම යි. ඇත්තෙන් ම, සතියකට පොත් දෙකක් වත් නො කියවන ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයයකට නො යා යුත්තෙකි. මන් ද යත් කොතරම් විභාග සමත් කළ ද ඔහු ඌන අධ්‍යාපනයක් ලබන්නකු බැවිනි..."

මහාචාර්ය ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්

Source: Jayawardane, Amal, "Jennings on University Education" More Open than Usual, (ed.) R.A.LH. Gunawardana, University of Peradeniya, 1992.

Background Image: Cover page of the book, "Sir Ivor Jennings and the University of Peradeniya" by Samapth Bandara.

Image courtesy: Dilanjana Madhushan Pathirana



Tuesday, November 17, 2020

පුරාණ සුවර්ණ භාෂිත



01. 

वैयाकरणप्रशंसा  

वैयाकरणकिरातादपशब्दमृगां क्व यान्ति सत्रस्ताः |
ज्योतिर्नटविटगायकभिषगाननगह्वराणि यदि न स्युः ||         

- सुभाषितरत्नभाण्डागार (42.1)  

වෛයාකරණප්‍රශංසා

වෛයාකරණකිරාතාදපශබ්දමෘගාං ක්ව යාන්ති සන්ත්‍රස්තාඃ
ජ්‍යෝතිර්නටවිටගායකභිෂගානනගහ්වරාණි යදි න ස්‍යුඃ

- සුභාෂිතරත්නභාණ්ඩාගාර (42.1)

ව්‍යාකරණඥයන් විසින් පලවනු ලැබූ අපශබ්ද නැමැති මුවෝ බියේ පැන ගොස් ජ්‍යෝතිර්වේදීන්, රංගනශිල්පීන්, ගායකයන්, වෛද්‍යයන් ආදීන් ගේ මුඛයට වදිති.

-------------------------------------------------------------------------------------------------------------

02.  

एकाक्षरं सदाचारं - यो गुरु नाभिवन्दथे 
स्वान योनि शतङ् भूत्वा - चण्डालेश्वपि जायथे  

ඒකාක්ෂරං සදාචාරං - යෝ ගුරු නාභිවන්දතේ
ස්වාන යෝනි ශතං භුත්වා - චණ්ඩාලේෂ්වපි ජායතේ

එකකුරෙකුදු               ඉගැන්වූ
ගුරු හට නො වැඳි        මිනිසා
සිය වර බලු වැ                  උපදී
මිනිස් වර සැඬොලෙක්     වේ

-------------------------------------------------------------------------------------------------------------

03. 

एकामेवाक्षारं यस्तु - गुरुः शिष्यन्तु शिक्षयेत् 
पृथिव्याङ् नास्ति तद्द्रव्यङ् - यद्दत्वा चानृणि भवेत्  

ඒකමේවාක්ෂරං යස්තු - ගුරුඃ ශිෂ්‍යන්තු ශික්ෂයේත්
පෘථිව්‍යාං නාස්ති තද්ද්‍රව්‍යං - යද්දත්වා චානෘණී භවේත් 

ගුරුවරයෙක් ශිෂ්‍යයකුට එක් අකුරක් හෝ උගන්වා නම් ඒ ණය ගෙවා-ලිය හැකි ක්‍රමයක් මෙ මිහිපිට නැත්තේ මැ යි. 

-------------------------------------------------------------------------------------------------------------

04. 

मूर्खोपी शोघाथे यावत् - सभायां वस्त्र वेष्टितः
तावच्च शोभते मूर्खो - यावत् किन्चित् न भाषाथे  

මූර්ඛෝපි ශෝභතේ යාවත් - සභායාං වස්ත්‍ර වෙෂ්ටිතඃ
තාවච්ච ශෝභතේ මූර්ඛෝ - යාවත් කිඤ්චිත් න භාෂතේ  

හැඳ පැලැඳ ආ කල
          සබයෙහි දිලෙත් දදහු ද
කෙතෙක් වෙ ද එ දිලුම 
          මුව හස් බිඳින තෙක් ම ය   

-------------------------------------------------------------------------------------------------------------

05. 

अज्ञः सुखमारारध्यः - सुखतरमाराध्यते विशेषतज्ञः
ज्ञानलव दुर्विदग्धं - ब्रह्मापि नरं न रञ्जयति   

අඥඃ සුඛමාරධ්‍යඃ - සුඛතරමාරාධ්‍යතෙ විශේෂඥඃ
ඥානලව දුර්විදග්ධං - බ්‍රහ්මා'පි නරං න රඤ්ජයති

- නීති ශතකය 

නො දත් දන පහසු වෙයි තොස    කැරැවීම 
ඉනුත් වැඩි පහසු දන දත් වෙසෙසා          ම
'මමත් දනිමි' මඳ දැනැ උඩඟු වු බෝ           ම
නොවත් වෙයි බඹා වත් ඔහු            පිනැවීම  

- කුමාරතුංග මුනිදාස

-------------------------------------------------------------------------------------------------------------

06. 

සාහිත්‍ය සංගීත කලා විහීනඃ - සාක්ෂාත් පශුඃ පුච්ඡ විෂාණ හීනඃ
තෘණං න ඛාදන්නපි ජීවමානඃ - තද්භාගධේයං පරමං පශූනාම්

- භර්තෘහරී, සුභාෂිත සංග්‍රහ

ගීත සාහිත රස නො               දන්නේ
නැතත් කුර අං ගොනුන්        වැන්නේ
ඇයි ද උන් තණ කොළ නො කන්නේ
වාසනාව යි ඒ                 ගොනුන්නේ

-------------------------------------------------------------------------------------------------------------

07.

යො නිරුත්තිං න ජානාති -  ජානාති පිටකත්තයං,
පදේ පදේ විකංඛෙය්‍ය - වනේ අන්ධගජෝ විය

- මොග්ගල්ලානපඤ්චිකා, කවිදප්පණනීති

නිරුත් නො මැ දත්තේ
          තෙවෙළාව උගත්ත ද
පියෙන් පියැ පැකිළේ
          වෙනෙහි අඳ ඇතකු සේ

---------------------------------------------------------------------------------------------------------------

08.

ව්‍යාසාදීන් කවිපුංගවානනුචිතෛර්වාක්‍යෛඃ සලීලං හසන්
නුච්චෛඃ ජල්ප නිමීල්‍ය ලොචනයුගං ශ්ලෝකාන් සගර්ව පඨ
කාව්‍යං ධික්කුරු යත්පරෛර් විරචිතං ස්පර්ධස්ව සාර්ධං බුධෛඃ
යද්‍යභ්‍යර්ථයසේ ශ්‍රැතේන රහිතඃ පාණ්ඩිත්‍යමාප්තුං බලාත් 

- සුභාෂිතරත්නභාණ්ඩාගාර, කුපණ්ඩිත නින්දා 63 

හරි හමන් ඉගනීමක් නැතුව පණ්ඩිතයෙක් වෙන්න කැමති නම්, ව්‍යාසාදී ශ්‍රේෂ්ඨ කවීන් හෙළා උස් හඬින් කතා කරනු! ඇස් දෙක වහගෙන ආඩම්බරයෙන් ශ්ලෝක කියනු! අනුන් ලියූ කවිවලට නින්දා කරනු! පණ්ඩිතයන් වාදවලට කැඳවනු!

---------------------------------------------------------------------------------------------------------------

09.

සණන්තා යන්ති කුස්සොබ්භා
තුණ්හී යාති මහෝද්ධි 

- සුත්ත නිපාත, 723 

කුඩා දිය පහරවල් හඬ නඟමින් ගලා යෙයි. මහා නදිය නිහඬ ව ම ගලා යෙයි. 

---------------------------------------------------------------------------------------------------------------

10. 

බ‍්‍රහ්මඝ්නේ ච සුරාපේ ච චෞරේ භග්නවෘතේ ශඨේ
නිෂ්කෘතිර්විහිතා සද්භිඃ කෘතඝ්නේ නාස්ති නිෂ්කෘතිඃ

බමුණන් නැසූ තැනැත්තා කෙරෙහි ද සුරා පානය කරන්නා කෙරෙහි ද සොරා කෙරෙහි ද සිල් බිදගත් තැනැත්තා කෙරෙහි ද කපටියා කෙරෙහි ද සත්පුරුෂයන් විසින් නිදහස් වීමක් දක්වා ඇතත් අකෘතඥයා කෙරෙහි නිදහස් වීමක් නැත.

---------------------------------------------------------------------------------------------------------------

11. 

ජනිතා චෝපනේතා ච - යශ්ච විද්‍යාං ප්‍රයච්ඡති
අන්නදාතා භයත්‍රාතා - පංචෛතේ පිතරඃ ස්මෘතාඃ

උපත දෙන තැනැත්තා ය (ජනිතා), හොඳ-නරක පෙන්වා හික්මවන තැනැත්තා ය (උපනේතා), අධ්‍යාපනය දෙන තැනැත්තා ය (විද්‍යාඃ ප්‍රයච්ඡති යඃ), ආහාර දෙන තැනැත්තා ය (අන්නදාතා), ආරක්ෂාව දෙන තැනැත්තා ය (භයත්‍රාතා) මේ පස් දෙනා පියවරු යැ යි දත යුතු ය.

---------------------------------------------------------------------------------------------------------------

12. 


නිම් නැති සැටි වුව බස් විදු            සතරේ
දිවි කල කෙටි වෙයි සරසින්      නිතොරේ
    සරු දෙය ගෙන නොම සරු දැය    අතැරේ
    තිසරකු ලෙස කිරි හැර බොන        වතුරේ

---------------------------------------------------------------------------------------------------------------

13.

ආචාරඃ කුලමාඛ්‍යාති - දේශමාඛ්‍යාති භාෂණම්
සම්භ්‍රමඃ ස්නේහමාඛ්‍යාති - වපුරාඛ්‍යාති භෝජනම් 

හැසිරෙන සැටි පවුලේ තතු   පවසයි 
කතා බහ ද ගම් පළාත          පවසයි   
දුටු කල ඉඟි බිඟි සෙනෙහස  පවසයි 
කෑ බී දේ ගැන ඇඟපත         පවසයි 


---------------------------------------------------------------------------------------------------------------

14.

සුස්වරං සරසං චෛව - සරාග මධුරාක්ෂරං
සාලංකාරං ප්‍රමාණං ච - ෂඩ්විධං ගීත ලක්ෂණම්

ස්වර සහිත භාවය, රස සහිත භාවය, රාග සහිත භාවය, මධුර අක්ෂර සහිත භාවය, අලංකාර සහිත භාවය, ප්‍රමාණ සහිත භාවය යන මේවා ගීතයේ ෂඩ්විධ ලක්ෂණ වේ. 


---------------------------------------------------------------------------------------------------------------

15.

දේහිති වචනද්වාරාදාත්මස්ථාඃ පඤ්ච දේවතාඃ
සද්‍යෝ නිර්යාන්ති තං ත්‍යක්ත්වා හ්රී ශ්‍රී ධී ධෘති කීර්ත්‍යඃ

තමාට දෙව යි යන වචන ද්වාරයෙන් තමා තුළ වූ දෙවියෝ පස් දෙනෙක් එකෙණෙහි ම ඔහු අත හැර නික්මෙන්නේ ය; එනම් ලජ්ජාව, ශ්‍රී කාන්තාව, නුවණ, ධෛර්යය, කීර්තිය යන මොහු ය.  


---------------------------------------------------------------------------------------------------------------

16.

දාරිද්‍රස්‍ය පරාමූර්තිර් - යාච්ඤා න ද්‍රවිණාල්පතා
ජරද්ගව ධනශ්ශම්භුස් - තථාපි පරමේශ්වරඃ

දිළිඳු බවේ පිළිබිඹුව බැගෑපත් ව යැදීම යි; වස්තු හිඟකම නො වේ. ශිව දෙවි තෙමේ මහලු ගොනා ධනය කොට ඇත්තේ ය. එසේ ද වුවත් පරමේශ්වර ද වෙයි.



---------------------------------------------------------------------------------------------------------------

17.

සේවිතව්‍යෝ මහාවෘක්ෂඃ - ඵලච්ඡායා සමන්විතඃ
යදි දෛවාත් ඵලං නාස්ති - ඡායා කේන නිවායර්තේ

පල ද සෙවණ ද ඇති මහ ගසක් ම ඇසුරු කළ මනා ය. දෛවය නිසා පල නො ලැබුණේ වුව සෙවණ නම් කවුරු වලකත් ද?  


---------------------------------------------------------------------------------------------------------------

18. 

කාකදෘෂ්ටිඃ බකධ්යානං - ශ්වානනිද්රා තථෛව
අල්පාහාරී බ්රහ්මචාරී - විද්යාර්ථි පඤ්ච ලක්ෂණම්

කපුටු දැක්ම, කොක් දැහැන, බලු නින්ද, අඩුවෙන් කෑම, බඹසර රැක්ම යනු විද්‍යාර්ථියකු ගේ පඤ්ච ලක්ෂණය යි. 



---------------------------------------------------------------------------------------------------------------

19. 

සර්වේ ක්ෂයාන්තා නීචයාඃ - පතනාන්තාඃ සමුච්ඡ්රයාඃ
සංයෝගා විප්‍රයෝගාන්තා - මරණාන්තං ච ජීවිතම් 

සියලු රැස් කිරීම් ගෙවෙනසුලු ය. උසස් කම් පහත් වනසුලු ය. එක් වීම් වෙන් වනසුලු ය. ජීවිතය ද මරණය කෙළවර කොට ඇත්තේ ය. 



---------------------------------------------------------------------------------------------------------------

20. 

උෂ්ට්‍රාණාං ච විවාහේෂු - ගීතං ගායන්ති ගර්දභාඃ
පරස්පරං ප්‍රශංසන්ති - අහෝ රූපමහෝ ධ්වනිඃ

ඔටුවන් ගේ විවා මඟුලේ දී බූරුවෝ ගී ගයති. ඔහු තුමූ එකිනෙකා පසසති: "කවර රූසිරියක් ද! කවර හඬක් ද!" (During the marriage ceremony of camels, donkeys sing a song. Both praise each other saying "Oh, what a beautiful face! What a sweet voice!"


---------------------------------------------------------------------------------------------------------------

21.

කාර්යේෂු මන්ත්‍රී කරණෙෂු දක්ෂී - රූපේෂු ලක්ෂ්මී සමයාන්තරඥා
ස්නේහේෂු මාතා ශයනේෂු වේශ්‍යා - ෂඩ්භිස්තු නාරී කුලමුද්භවන්ති

කටයුත්තෙහි මන්ත්‍රිණියකට සමාන, වැඩෙහි දක්ෂ, රූපයෙන් සිරි කත කාන්තාව හා සමාන, සමයාන්තරඥානය ඇති, සෙනෙහසින් මවට සමාන, නිදි යහනේ දී වෙසඟනකට සමාන වෙන කාන්තාව පවුල බබළවයි.


---------------------------------------------------------------------------------------------------------------

22.

නාස්ති ගංගා සමං තොයං - නාස්ති සූර්ය සමප්‍රභා
නාස්ති පිතෘ සමො බන්ධූ - නාස්ති ස්ත්‍රී සමො රසඃ

ගංගා නම් නදිය තරම් ජලයක් නැත. සූර්යා හා සමාන ආලෝකයක් නැත. පියා හා සමාන ඥාතියෙක් නැත. ස්ත්‍රිය හා සමාන රසයක් නැත. 


---------------------------------------------------------------------------------------------------------------

23.

අග්නි කුම්භ සමා නාරී - ඝෘත කුම්භ සමො නරඃ
ජානුජංඝෙ නරං දෘෂ්ට්වා - කස්‍ය නිශ්චලිතං මනඃ

ගිනි සිළු බඳු ගැහැනුන් දකින විට ගිතෙල් කළ බඳු පිරිමි සිත් කෙසේ නිසල ව පවතී ද? 


---------------------------------------------------------------------------------------------------------------

24.

අර්ථා ගෘහේ නිවර්තන්තේ - ශ්මාසනේ මිත්‍රබාන්ධවාඃ
සුකෘතං දුෂ්කෘතං චෛව - ගච්ඡන්තමනුගච්ඡති

ධනයෝ නිවෙසෙහි නවතිති. නෑ මිතුරු පිරිස සොහොනෙහි නවතිති. කළ හොඳ නරක පමණක් යන්නහු සමඟ පැමිණේ.  

---------------------------------------------------------------------------------------------------------------

25.

අයං නිජඃ පරෝ චේති - ගණනා ලඝු චේත්සාම්
උදාර චර්තානාම් තු - වසුධෛව කුටුම්බකම්

'මොහු තමා ගේ එකෙක් ය; මොහු අනුන් ගේ එකෙක් ය' යනුවෙන් සැලැකීම ලඝු චින්තනයෙකි. උදාර චරිතවන්තයාට මුළු ලොව ම එක පවුලෙකි.  

 ---------------------------------------------------------------------------------------------------------------

26.

ආචිතෝති ච ශාස්ත්‍රාර්ථං - ආචාරේ ස්ථාපයත්‍යපි  
ස්වයම්ප්‍යා චරේතේ යාස්තු - ස ආචාර්ය ඉතිස්මෘතඃ
- සර්වලක්ෂණසංග්‍රහය

යම් කෙනෙක් නිරතුරු ව ශිල්ප ශාස්ත්‍ර ඥානය රැස් කෙරෙත් ද අන්‍යයන් සදාචාරයේ පිහිටුවත් ද තමනුදු ඒ අනුව හැසිරෙත් ද ඔහු තුමූ ආචාර්යවරයා නම් වෙත්. 


---------------------------------------------------------------------------------------------------------------

27.

කවිතාස්‌වාද විෂයේ - පදව්‍යුත්පත්තිමාත්‍රධී:
නීවීමෝක්‌ෂස්‍ය වේලායාං - යථා ක්‌ෂෞමාර්ඝචින්තකඃ

කාව්‍ය රසාස්‌වාදය කරන වේලෙහි පදයන්ගේ වාච්‍යාර්ථය පමණක්‌ ගන්නා අඥානයා පිය ළඳගේ සළු පිළි ගිලිහෙන කල්හි ඒ සළු දුපිළිවල වටිනාකම ගැන පමණක්‌ කල්පනා කරන්නකු වැනි ය.  


---------------------------------------------------------------------------------------------------------------

28.

නිධීනං'ව පවත්තාරං - යං පස්සෙ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවිං - තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස - සෙය්‍යො හොති න පාපියො

වරද දක්නාසුලු, නිගා කොට බණනසුලු, යම් කලණ මිතුරකු නිදන් සල තුබූ තැන කියන්නකු වැනි කොට දක්නේ ද, එබඳු පණ්ඩිතයා සෙවුණේය. එබන්දකු සෙවුණහුට යහපතෙක් ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ ය.


-----------------------------------------------------------------------------------------------------------------

29. 

आचार्यात् पादमादत्ते
पादं शिष्यः स्वमेधया ।
पादं सब्रह्मचारिभ्यः
पादं कालक्रमेण च ॥

ආචාර්යාත් පාදමාදත්තේ
පාදං ශිෂ්‍යඃ ස්වමේධයා
පාදං සබ්‍රහ්මචාරිභ්‍යාඃ
පාදං කාලක්‍රමේණ ච

     සිසුන් දැනුමෙන් එකක් සතරින්
ගුරුන් ගෙනි. එකක් සිය නැණින්.
ලැබේ සහපටුන් ගෙන් තවෙකක්.
අනෙක නම් කල් ඇවෑමෙනුයි.

From the teacher is learned a quarter,
a quarter from the student's own intelligence,
a quarter from fellow students,
and a quarter with the passage of time.

Monday, November 9, 2020

කුමාරතුංග මුනිදාස බෞද්ධ විරෝධියෙක් ද?

කුමාරතුංග මුනිදාසයන් බුදු, දම්, සඟ (බුද්ධ, ධම්ම, සංඝ) යන තෙරුවන වෙනුවට බස, රැස, දෙස (භාෂාව, ජාතිය, දේශය) යන තෙරුවන ආදේශ කළ හ යි බුකිවාසී කෘතක පණ්ඩිතයෝ කිහිප දෙනෙක් ම කියති. කෙනෙක් ඊට සාධක පිණිස එහෙන් මෙහෙන් අහුලාගත් අසම්බන්ධ උද්ධෘත ද දක්වති. මේ අලුත් පන්නේ විවේචකයන් කුමාරතුංග මුනිදාසයන් ගැන විනිශ්චය කිරීම පිණිස ඔවුන් ලියූ දැයක් කියවා ඇත්නම් ඒ "හත්පණ", "මඟුල් කෑම", "හීන් සැරය" පොත් තුන හැරුණු කොට "ලක් මිණි පහන් කතුවැකි" පොතත් "කුමාරතුංග ගේ සමාජ දර්ශනය" පොතත් පමණි. ඉතින් කුමරතුඟු පබඳ සයුරක් නම් එහි ඔබා පිටතට ගෙන හත් විටක් ගැසූ අස් ලොමෙක ඉතිරි වන දිය බිඳිත්ත තරමේ සුඟෙකි, ඔවුන් කියවා ඇත්තේ. ඒ නිසා ඔවුන් කියන්නේ ඔවුන් ගේ ලොකු ඔළු ගෙඩිවල හිස් බව පුරවන්නට ම මැවුණු විකාර විනා ඇත්ත නො වේ. එසේ නම් ඇත්ත කිමෙක් ද?

කුමාරතුංග මුනිදාසයෝ වනාහි යටත් විජිත සිංහල ද්වීපයේ වුසූ තාක් සියල්ලන් ම කිසි දු භේදයෙකින් තොර ව අධිරාජ්‍යවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයට එක් කොටගන්නට වෑයම් කළ කෙනෙකි. "ආගමය පෞද්ගලික යැ" යි ද "එය උවමනා විටෙක වෙනස් කළ හැකි යැ" යි ද කියා තමන් ගේ ජාතික ව්‍යාපාරය ආගමය වෙනුවට භාෂාව කේන්ද්‍ර ව ස්ථාපනය කොටගත්තේ ඒ නිසා ය. කුමාරතුංගයන් පෙන්වා දෙන පරිදි රැසක් යනු එක් පොදු බසක් කතා කිරීම නිසා සංස්කෘතික වැ ඒකාබද්ධ වූ ජන කොට්ඨාසය යි. දෙස නම් ඒ ජන කොට්ඨාසයට අයත් වාස භූමිය යි. ඒ අනුව බස නිසා රැසත්, රැස නිසා දෙසත් ඇති වන බව පැහැදිලි ය. ඒ නයින් ම බස නැසුණ හොත් රැසත්, රැස නැසුණ හොත් දෙසත් නැසෙන බව කුමාරතුංගයෝ පෙන්වා දුන් හ. එසේ වන්නේ කෙසේ දැයි මඳක් පැහැදිලි කළ යුතු ය.

බස වනාහි චින්තනයේ මාධ්‍යය යි. ඒ බව පිළිගන්නා වාග්විද්‍යාඥයෝ ද වෙති. අප සිතන්නේ බස මාධ්‍යය කොටගෙන ය. අප ලොව දකින්නේ ද බස මාධ්‍යය කොටගෙන ය. සිංහලයා එක්තරා පාටක් "තැඹිලි පාට" යනුවෙන් හඳුන්වත් දී ඉංගිරිසියා ඒ පාට ම "orange colour" යනුවෙන් හඳුන්වන්නේ ඔවුන් තමතමන් ගේ බස හරහා ලොව දක්නා නිසා ය. ඒ නිසා යම් රැසෙක බස අවුල් වුව හොත් එයින් ම ඔවුන් ගේ චින්තනයත් ලෝක දෘෂ්ටියත් අවුල් වැ යෙයි. චින්තනයත් ලෝක දෘෂ්ටියත් අවුල් වූ රැසකට කවර නම් පැවැත්මෙක් ද? මෙරට ඉතිහාසයේ කෝට්ටේ යුගයත් කොළඹ යුගයත් අතර කොටස පිරික්සා බැලීමේ දී බස අවුල් වූ හා ම රැස අවුල් වූ බවත් රැස අවුල් වූ හා ම බස අවුල් වූ බවත් ප්‍රත්‍යක්ෂ වේ. දෙස රැකීමට ඇත්තේ රැස යි. චින්තනයත් ලෝක දෘෂ්ටියත් අවුල් වූ රැසකට ඔවුන් ගේ දෙස රැකගත හෙති යි සිතනු ම විහිළුවෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ නම් වඩුග රජු කෙරෙහි කළකිරුණු උඩරට රදලයන් ඒ රජු ඉංගිරිසින් හට කුදලා බාර දීමෙන් දෙස රැකෙනු පැතීම වනාහි රැසේ චින්තනය අවුල් වැ ගොස් කළ එක් අනුවණ කමකට නිදසුනෙකි. මේ අනුව බසත් රැසත් දෙසත් අනුපිළිවෙළින් එකිනෙක හා බැඳී ඇති සැටිත් අනුපිළිවෙළින් එකිනෙකින් රැකෙන සැටිත් පැහැදිලි ය.

කුමාරතුංග මුනිදාසයන් බස, රැස, දෙස හඳුන්වා දුන්නේ "හෙළ තෙරුවන" යනුවෙනි. බොදුනුවන් හට බුදු, දම්, සඟ යනුවෙන් තෙරුවනක් ඇත්තා සේ ආගමයෙන් බොදුනු, කිතුනු ඈ ලෙස බෙදුණු කාට වුව බස, රැස, දෙස යනුවෙන් තෙරුවනක් ඇති බව ඔහු තුමූ පෙන්වා දුන් හ; එය බොදු තෙරුවනෙන් අන්‍ය කොට ගැනීම සඳහා "හෙළ තෙරුවන" යනුවෙන් ම වෙසෙසා හැඳින්වූ හ. ඒ අනුව හෙළයාට (සිංහලයාට) හෙළ තෙරුවන ඇත්තේ ය; බොදුනුවාට (බෞද්ධයාට) බොදු තෙරුවන ඇත්තේ ය; හෙළ බොදුනුවාට (සිංහල බෞද්ධයාට) හෙළ තෙරුවනත් බොදු තෙරුවනත් දෙක ම ඇත්තේ ය.  ඒ විනා කුමාරතුංගයෝ කිසි කලෙකත් "බොදු තෙරුවන වෙනුවට හෙළ තෙරුවන ගන්නැ" යි බෞද්ධ විරෝධී ගුඩු බණ නො කී හ. කුමාරතුංගයන් එසේ කී හ යි යෙමින් මහත් භයක් හඟවාපියමින් කුමාරතුංගයනට අපහාස කරන්නෝ වනාහි මා ඉහත කී පරිදි "හත්පණ", "මඟුල් කෑම", "හීන් සැරය" පොත් තුනෙන් පටන් ගෙන "ලක් මිණි පහන් කතුවැකි" පොතත් "කුමාරතුංග ගේ සමාජ දර්ශනය" පොතත් පමණක් ප්‍රමාණ කොටගෙන කුමාරතුංගයන් අධ්‍යයනය කළ බුකිවාසි කෘතක පණ්ඩිතයෝ ය.

රට, ජාතිය, ආගමය, භාෂාව යනුවෙන් රත්න හතරක් ඇතැ යි කීවෝ අනගාරික ධර්මපාලයෝ ය. මුලින් කී රට, ජාතිය, ආගමය තුනට ඔවුන් භාෂාව එක් කොටගත්තේ පසු ව ය. එහෙත් කුමාරතුංගයන් මෙන් ඒ එකිනෙක අතර විදුහුරු සැබැඳියාවක් පෑමට ඔවුන් සමත් වූයේ නැත. ආගමය බදාගත් විට රැස එකතු වීමට වඩා බෙදීම සිදු වන නිසා යි, කුමාරතුංගයන් බස, රැස, දෙස යනුවෙන් හෙළ තෙරුවනක් පෑවේ. අනගාරික ධර්මපාලයන් ගේ ආර්ය සිංහල ව්‍යාපාරය බෞද්ධයනට මිස අන් කිසි දු ලබ්ධිකයකුට දොර ඇරුණු එකෙක් නො වී ය. ධර්මපාලයෝ ප්‍රසිද්ධියේ ම අන්‍ය ලබ්ධිකයන් හෙළා කතා පැවැත්වූ හ. මේ රටේ අයිතිය සිංහල බෞද්යධනට ම පමණක් බව ඔවුන් ගේ ස්ථාවරය වී ය. එහෙත් තමන් ගේ බස හෙළ බස (සිංහල භාෂාව) බව පිළිගන්නා තාක් බෞද්ධ, ක්‍රෛස්තව, වෛෂ්ණව, මහම්මදික, නිරාගමික කාට වුවත් තමන් හෙළ රැසට අයත් සේ සලකා ඒ නිසා ම හෙළ දෙස රැකීම පිණිස හවුල් වීමට කුමාරතුංග මුනිදාසයෝ ඉඩ හළ හ. ඒ නිසා ම එවක් පටන් මෙවක් තෙක් ම හෙළ හවුලේ බෞද්ධ, ක්‍රෛස්තව, වෛෂ්ණව, මහම්මදික, නිරාගමික කවුරුත් වූ හ; දැනුදු බෞද්ධ, ක්‍රෛස්තව, මහම්මදික, නිරාගමික අය එහි වෙති. ඒ අය බසත් රැසත් දෙසත් රකිනු පිණිස හවුලේ වෙහෙසෙති; එහෙත් ආගමය අදහන විට එය තනි තනි ව අදහති.

හෙළ හවුල වටා භේදයෙකින් තොර ව කවුරුනුත් එකතු වනු දැක ඊර්ෂ්‍යාවට පත් එවක ඇතැම් පැවිද්දෝ කුමාරතුංග මුනිදාසයන් බෞද්ධ විරෝධියකු බවත් පල්ලියේ කොන්ත්‍රාත්කරුවකු බවත් ඈ මුසා ඇද බාමින් කුමාරතුංගයන් ගේ ව්‍යාපාරය පිළිබඳ දුර්මත සමාජ ගත කළෝ ය. ඔවුන් ගේ පහරට ලක් වූ එක් ප්‍රධාන සංකල්පයක් වූයේ කුමාරතුංගයන් ගේ "හෙළ තෙරුවන" යි. ඔවුන් ගේ ඇතැම් කුහක ප්‍රතිපදාවලට කුමාරතුංගයන් ගෙන් ඉතා තදින් පහර වැදුණු නිසා කුමාරතුංගයනට බෞද්ධ විරෝධී අඩයාලම ගැසීම ඔවුනට පහසු විය. එහෙත් ගුණ නැණ එක සේ පිහිටි විදුරුපොළ පියතිස්ස, පැළෑණේ සිරි වජිරඤාණ, බළන්ගොඩ ආනන්දමෛත්‍රේය වැනි මහ නා හිමිවරු ද කෝදාගොඩ සිරි ඤාණාලෝක, වරකාගොඩ සීලරතන, සිටිනාමළුවේ සුමනරතන, තංගල්ලේ ධීරාලංකාර, මිරිස්සේ චන්දජෝති වැනි පඬි හිමිවරු ද කුමාරතුංග මුනිදාසයන් පිරිවැරූ හ. ඒ නිසා කුමාරතුංගයන් බෞද්ධ විරෝධියකු වූ බවත් කුමාරතුංගයන් හා භික්ෂූන් අතර හිතවත් කමක් නො වූ බවත් කියන කෘතක පණ්ඩිතයන් මේ කී නම්වලින් හැඳින්වෙන්නාහු බෞද්ධ භික්ෂූහු නො වූ දැ යි පැහැදිලි කළ යුතු ය.

ඒ පණ්ඩිතයෝ තුමූ බුකියේ වහසි බිණීමට නම් උපන් ගෙයි හපන්නු ය. එහෙත් තමන් ඉපැදැවූ වාදයකට පිහිට පිණිස කරුණු ඇර පාන්නැ යි ඇරියුණු කල්හි ඔහු තුමූ පොලිස් රාලහාමියකු දුටු කසිප්පුකාරයන් සේ වහා දිවැ ගොස් කැලෑ වදිති. ඔවුනට අපි අනුකම්පා කෙරෙමු.

Friday, May 1, 2020

ප්‍රවණතා කාරක ප්‍රියන්ත ප්‍රනාන්දු

ප්‍රියන්ත ප්‍රනාන්දු
(1952.09.05 - 2018.05.01)

ජනප්‍රිය ගායක ප්‍රියන්ත ප්‍රනාන්දු අභාව ප්‍රාප්ත වී 2020 මැයි 01 වැනි දාට වසර දෙකක් සැපිරෙයි. මේ සැකෙවි සටහන ඔහු අනුස්මරණය කරනු සඳහා ය.

ශ්‍රී ලාංකේය පොප් ගී සම්ප්‍රදායයේ පුරෝගාමියා වූ සී. ටී. ප්‍රනාන්දු ගේ එක ම පුත්‍ර රත්නය වසයෙන් 1952 සැප්තැම්බර 05 වැනි දා මෙ ලෝ එළි දුටු ප්‍රියන්ත සිංහල ගීත සාහිත්‍යයෙහි ඉතිහාස ගත වන්නේ අනුප්‍රාප්තික ගායක පුත්‍ර සම්ප්‍රදායයේ පුරෝගාමියා හැටියට ය. එ නම් සිය පියා ගේ වියොවින් පසු පියා ගේ ගී ගැයීමට ඉදිරි පත් වූ පළමු වැනි පුත්‍රයා හැටියට ය. ජනප්‍රියත්වයෙහි හිණි පෙත්තෙහි සිටිය දී අකල් මරණයකට ගොදුරු වූ සිය පියාණන් වූ සී. ටී. ප්‍රනාන්දු ගේ ගීත ගැයීමට ප්‍රියන්ත ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වූයේ 1978 දී ය. එ වක් පටන් 2018 දී මඳ කලක් ගිලන් ව සිට මෙ ලෝ හැර යන තුරු පුරා සතළිස් වසරක් ප්‍රියන්ත සිය රසික ජනයා පිනැවී ය.

මේ සටහනෙහි සිරසෙහි ප්‍රියන්ත හඳුන්වා ඇත්තේ ප්‍රවණතා කාරකයකු හැටියට යි. ප්‍රවණතා කාරකයෙක් යනු අලුත් ප්‍රවණතාවක් ඇති කළ පුද්ගලයෙකි. ප්‍රියන්ත ඇති කළ ප්‍රවණතාව වූයේ ගායකයකු ගේ වියොවින් පසු ඔහු ගේ ගී ගැයීමට පුතකු ඉදිරි පත් වීමේ ප්‍රවණතාව යි. ප්‍රියන්ත ගෙන් ආදර්ශ ලැබ අසූව දශකයේ පටන් ගායක පුතුන් එකා දෙන්නා බැගින් මේ වන විට සුවිශාල පිරිසක් බිහි වී ඇත. එහෙත් ප්‍රියන්ත ඒ සියලු දෙනා අතුරින් ජ්‍යේෂ්ඨතම වෙයි. ඔහු මුලින් ම ගී තැටියක් නිකුත් කෙළේ පියා ගේ අභාවයෙන් මාස හයකට පමණ පසු 1978 දී ය. 'Son of CT' යන නමින් සූරිය සමාගමය නිෂ්පාදනය කළ එහි ගී හතරක් අඩංගු විය. මා ගේ මතකයේ හැටියට ඉන් ගී දෙකක් සී. ටී. ගේ ද අනෙක් ගී දෙක ප්‍රියන්ත ගේ ද විය.

ඉන් මඳ කලකට පසු 1978 දී ම ප්‍රියන්ත සිය දෙ වන ගී තැටිය ද නිකුත් කෙළේ ය. එය 'Son of CT: Priyantha Fernando' නම් වී. ජෙම්ටෝන් සමාගමය නිෂ්පාදනය කළ එහි ගීත දොළොසක් ඇතුළත් විය. ඉන් හයක් ප්‍රියන්ත ගේ ස්වතන්ත්‍ර ගීත ය. ඒ තැටිය සඳහා ඉන්ද්‍රාණි පෙරේරා සමඟ ප්‍රියන්ත ගැයූ 'නිරංජලා කාට දෝ ආදරේ ලු දැන්' ගීතය ඔහු ගේ ප්‍රථම ස්වතන්ත්‍ර යුග ගීතය යි. එ මෙන් ම එ තෙක් ගැයූ සියලු ස්වතන්ත්‍ර ගීත අතුරින් ප්‍රියන්තට ජනප්‍රසාදය ගෙන දුන්නේ ද ඒ ගීතය යි. අජන්‍තා රණසිංහ රචනා කළ ඒ ගීතයට තනුව හා සංගීතය හා සපයා තුබුණේ ක්ලැරන්ස් විජේවර්ධන යි. සී. ටී. ගේ සංගීත සම්ප්‍රදායය අනුයමින් සිංහල පොප් ගීත ක්ෂේත්‍රයට පිවිසි ක්ලැරන්ස් විජේවර්ධන එහි සංගීතඥයා වීම එක් අතෙකින් දෛවෝපගත සිදු වීමෙකි.

සී. ටී. ප්‍රනාන්දු
(1921.01.28 - 1977.10.17)
ප්‍රියන්ත ගේ ජනප්‍රියතම ගීතය වූයේ කැසිති පටයකට ඔහු ගැයූ 'වෙරළේ මුහුදු වැල්ලේ' ය. අජන්තා රණසිංහ රචනා කළ එහි සංගීතය මට මතක හැටියට සරත් ද අල්විස් ගේ ය. ඒ ගීතය කොතරම් ජනප්‍රිය වී ද යත් සතළිස් වසරක් පුරා ප්‍රසංග වේදිකාවේ දී ඔහු ගෙන් රසියන් නිතොර ඉල්ලන ගීතයක් බවට එය පත් විය. ප්‍රියන්ත ගේ සෙසු ජනප්‍රිය ගීත අතර 'දවස ගෙවේ ඔබ තාමත් නෑ ආවේ', 'ඉහළ ගමේ යාළුවේ - පහළ ගමේ යාළුවේ', 'මුතු මැණිකේ කළේ අරන්' ආදි ගීත කිහිපයක් ම වෙයි. එහෙත් අන් බොහෝ ගායක පුත්‍රයනට සේ ම ප්‍රියන්තට ද වැඩියක් ම සිදු වූයේ සිය පියා ගේ ගීත ම නැවැත නැවැත ගැයීමට යි. මේ නිසා කල් යත් ම අලුතින් ස්වතන්ත්‍ර ගීත ගායනා කිරීමට ප්‍රියන්ත එ තරම් උනන්දු නොවීම සිංහල ගීත සාහිත්‍යයේ අවාසනාවෙකි.

හැත්තෑ හතේ දරුවනට සී. ටී. ප්‍රනාන්දු ගේ ගීත හඳුන්වා දීමේ පූර්ණ ගෞරවය ප්‍රියන්තට හිමි වෙයි. සී. ටී. නොකල්හි මෙ ලෝ හැර ගියේ මෙ රටට රූපවාහිණී මාධ්‍යය හඳුන්වාදීමට ඔන්න මෙන්න කියා තිබිය දී ය. ඒ නිසා සී. ටී. ගේ එක දු ගීයක් හෝ රූප මාධ්‍යයට නැඟුණේ නැත. රූප මාධ්‍යය සඳහා සී. ටී. ගේ ගීත පටිගත කැරුණේ ප්‍රියන්ත ගේ හඬත් රුවත් යුක්ත ව යි. ප්‍රියන්ත ගේ ආකර්ෂණීය නර්තන විලාසය නිසා ඒ ගීත වඩාත් ප්‍රාසංගික රූපවාහිණී නිර්මාණ බවට පත් විය. සිය පියාණන් ගේ ගීත නැවැත ගායනා කරමින් ප්‍රියන්ත නිකුත් කළ කැසිති පට කිහිපයෙක් ම වෙයි. 'සී. ටී. උපහාර ගී', 'සීගිරි සුකුමාලියේ', 'මී අඹ වනයේ', 'බිලිඳා නැළැවේ', 'Priyantha Fernando - Nonstop', 'සන්ෆ්ලවර් සමඟ ප්‍රියන්ත ප්‍රනාන්දු', 'සී. ටී. ප්‍රණාම ගී 16', 'මා බාල කාලේ' ඒ අතුරින් ප්‍රමුඛතම කැසිති පට ය.

පුරා සතළිස් වසරක් සිංහල ගීත ලෝලීන් ගේ මනදොළ පිනවමින් දෙස් විදෙස් සංගීත ප්‍රසංග ගණනාවෙක ගී ගැයූ ප්‍රියන්ත ප්‍රනාන්දු 2018 වසරේ මාරතු මස විදේශ සංචාරයක් අතරතුර වකුගඩු අක්‍රිය වීමේ රෝගී තත්ත්වයට පත් වූයේ මඳ කලක් ඔත්පළ ව හිඳ 2018 මැයි 01 වැනි දා සැටපස් වැනි වියේ දී ස්වකීය ජීවන ගීතය නිමා කෙළේ ය. සිය පියාණන් ගේ ද මුත්තණුවන් ගේ ද ගී හඬ මතු පරපුරට ද නොනැසී තිළිණ කරනු පිණිස ප්‍රියන්ත ගේ දෙටු පුත් තිසර ප්‍රනාන්දු ප්‍රමුඛ වීම ප්‍රියන්ත ගේ වියෝවෙන් කම්පාවට පත් රසික ප්‍රජාවට යම් බඳු සහනයෙකි.




Tuesday, April 21, 2020

කුණු සින්නො - 7: "මල්ලි, මට මේක ට්රාන්ස්ලේට් කරලා දෙන්න පුළුවන් ද?"

සරසවියේ පළමු වැනි වසරේ දී මා හදාළේ සිංහල, ඉංගිරිසි, වාග්විද්‍යාව යන විෂය ත්‍රයය යි. දෙ වැනි වසරේ පටන් ඉන් එක් විෂයයක් තෝරාගෙන විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ ඒ තුන ම තෝරාගෙන සාමාන්‍ය ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ හදාළ යුතු විය. විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හදාරන බවට මා ඒ වන විටත් තීරණය කොට තුබුණ ද ඒ කවර විෂයයෙන් ද යන තීරණය ගැනීම පහසු වූයේ නැත. පළමු වැනි වසරේ හදාළ විෂය ත්‍රයයෙන් ඕනෑ ම එකක් විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සඳහා හැදෑරීමට සුදුසු කම් ලබා තිබීම ප්‍රශ්නය තවත් සංකීර්ණ කෙළේ ය. වැඩි දෙනකු මා තල්ලු කෙළේ ඉංගිරිසි හැදෑරීමට ය. එහෙත් විචාර ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම සඳහා උද්ධෘත පාඨ කට පාඩම් කිරීම මහා වේදනාවක් සේ සලකන මට ඉංගිරිසි හෝ සිංහල හෝ සමඟ විශේෂ ශාස්ත්‍රවේදී දීගය කෑ නොහෙන බව වැටැහිණි. එහෙත් වාග්විද්‍යාව කෙරෙහි මසිතැ පැවැත්තේ නොසිඳෙන කුහුලෙකි; ළිය ලන ආශාවෙකි; ඤාණ පිපාසාවෙකි. මා ගේ ආචාර්ය භවතුන් දෙදෙනකු යෝජනා කළ පරිදි වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සපුරා ම ඉංගිරිසි මාධ්‍යයෙන් හැදෑරීමට අන්තිමේ දී මම තීරණයක් ගත්තෙමි.

වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව හදාරන්නට පටන් ගත් අලුත එක් දිනක් මම පොත්ගුලට වැදී බැහැර දෙන අංශයේ පොත් කිහිපයක් සමඟ ඔට්ටු වෙමින් සිටියෙමි. මට මතක හැටියට එවක එක් වරකට බැහැර ගත හැකි වූයේ පොත් දෙකක් පමණි. එහෙත් මට වුවමනා වී තුබුණු පොත් තුනක් ම එදා මට හමු විය. ඉන් එක් පොතෙක වූ දැයින් මට සැබැවින් ම අවශ්‍ය වූයේ පිටු කිහිපයෙක ලිපියක් පමණි. ඒ පිටු කිහිපය ඡායාරූපගත කිරීමට තරම් දියුණු ජංගම දූරකථනයක් එවක මා සතු නො වී ය. ඒ තුබුණු ජංගම දූරකථනයෙන් ඡායාරූප ගත හැකි වුව ද එහි සැණ-එළි විදිනයක් (flasher) නො වූයෙන් පුස්තකාලයයේ පොත් රාක්ක අස්සේ අඩ අඳුරු පරිසරයේ දී ඉන් පැහැදිලි ඡායාරූපයක් ගත හැකි වුව හොත් ඒ විශ්වකර්මයාට ම ය. පොත් රාක්කයක් මත පොත දිග ඇරගෙන රාක්කයට ම හේත්තු වී පොත කියවා තබා යාමට මම අවසානයේ හිත හදාගත්තෙමි. එසේ පොත කියවන අතරේ මට පිටු පසින් නොයෙක් දෙනා යනු එනු මට ඇස් කොනින් ඡායා මාත්‍රික ව පෙනේ. ඒ කිසිවකු ගෙන් මට වත් මගෙන් ඒ කිසිවකුට වත් බාධාවෙක් නො වී ය.

ටික වේලාවක් මෙසේ ගෙවී ගියේ ය. සෙමෙන් සෙමෙන් මා පසු කොට ගිය එක් ඡායාවක් නුදුරේ රැඳී මා දෙස බලා ඉන්නා සෙයක් මට දැනේ. මම ගණන් නො ගෙන සිටියෙමි. මොහොතකින් ඒ ඡායාව නැවැතත් සෙමෙන් සෙමෙන් මා පසු කොට යයි. එවර එය මා අසල ම නැවැතිණි. "මේ මොන හොල්මනක් ද?" යි සිතමින් මම හැරී බැලුවෙමි. රෝල් කළ කඩදහි කීපයක් අතැති ව බයාදු සිනාවක් මුහුණට නඟාගත්තෙක් එහි වී ය. ඒ අනෙකකු නො ව 'මිල්ක් බාර්' කියා ජාතියක් නැති බවත් ඒවා 'කිරි හල්' බවත් මට උගන්වාලූ බළල් කුලයේ කුණු සින්නා ය. "මල්ලි පොතක් කියවකියව හිටපු නිසා මම ඩිස්ටර්බ් කළේ නෑ" හේ ඉතා ආචාරශීලී ලෙස කීවේ ය. "මේකා මේ මොකාට එන්න හදනවා ද?" යි සිතමින් මම "නෑ, කමක් නෑ" කීවෙමි. "මල්ලි ඉංග්ලිශ් නේ ද කරන්නෙ?" ඒකා ඊළඟට ඇසී ය. මම ගත් කටට ම "නෑ" කිව්වෙමි. "නෑ?" ඒකා විස්මයයෙන් ප්‍රතිරාව කෙළේ ය. "මල්ලි ෆස්ට් ඉයර් එකේ දී කළා නෙ?" හේ හාරාවුස්සන්නට පටන් ගති. "ඔව්, ඒත් ස්පෙශල් එකට තෝරගත්තෙ වාග්විද්‍යාව" ඉක්මනින් මේකා පිටත් කොට පොත කියවාගත යුතු බැවින් මගෙන් ලැබෙන්නේ කෙටි පිළිතුරු ය.

කුණු සින්නා සිය බයාදු සිනාව මුහුණ පුරා විහිදුවමින් අතැ වූ කඩදහි කිහිපය දිග ඇරියේ ය. "මල්ලි, මට මේක ට්රාන්ස්ලේට් කරලා දෙන්න පුළුවන් ද?" හේ ඉතා යටහත් ව ඇසී ය. මම කිසිත් නො කියා ලේඛනය අතට ගෙන පිරික්සා බැලීමි. ඒ වනාහි භාරතයේ මොකක් දෝ බුදු පිළිම සම්ප්‍රදායයක් ගැන ඉංගිරිසි බසින් ශාස්ත්‍රීය සංග්‍රහයක පළ වූ ලිපියෙකි. දහය ප්‍රමාණයේ තරම් කුඩා අකුරින් පිටුවකට තීරු දෙක බැගින් වන සේ යතුරු ලියා තුබුණු එය පිටු හත අටක් දිගු ය. "කවද්ද මේක කෙරෙන්න ඕන?" මම ලේඛනය පිරික්සා අවසන ඇසීමි. "අනේ, මල්ලි, අද හෙට ම ඕන. එසයින්මන්ට් එකකට. සිකුරාදාට සබ්මිට් කරන්න තියෙන්නෙ" කුණු සින්නා කියාගෙන කියාගෙන ගියේ ය. "වෙලාව යන වැඩක්. අපි මෙහෙම කරමු." මම යෝජනා කෙළෙමි. "අපි අද හවස හම්බ වෙලා මේක ඉවරයක් කරමු. මම මේක කියවලා තේරුම කියන්නම්. ඔයා ලියාගන්න." හේ තෙමේ ඉතා සතුටින් ඒ යෝජනාවට එකඟ විය. "එතකොට මල්ලි අපි කීයට ද හම්බ වෙන්නෙ?" හේ ඇසී. "හවස හයට හිල්ටන් රීඩිං හෝල් එකට එන්න" මම කීවෙමි. කුණු සින්නා ඊට අනුකුලතාව පා දුරබණු අංක ද හුවමාරු කොටගෙන ගියේ ය.

කඩදහි කීපයකුත් ශබ්දකෝශයකුත් මල්ලේ ඔබාගෙන මම නියමිත වේලාවට එහි ගියෙමි. කලින් දා මිලට ගත් 'Sunday Island' පුවත්පත ද මල්ලේ තිබිණි. කුණු සින්නා එන තුරු මම එය කියවන්නට පටන් ගත්‍තෙමි. අඩ හෝරාවක් ගෙවී ගියේ ය. කුණු සින්නා නැත. මම ඔහුට දුර ඇමැතුමක් ගත්තෙමි. දුර බණුව නද දෙයි. කුණු සින්නා පිළිතුරු නො දෙයි. මම නැවැත පුවත්පත කියවමි. දැන් හෝරාවක් ගෙවී ගොස් ය. මම නැවැත ද ඔහුට දුර ඇමැතුමක් ගත්තෙමි. ඊට ද ප්‍රතිචාරයක් නැත. "තව ටිකක් බලමු" යි සිතාගෙන මම යළිත් පුවත්පත කියවමි. දැන් නම් හෝරා එකහමාරකට වඩා ගෙවී ගොස් ඇත. වේලාව අටට කිට්ටු බව කල් යතුර දන්වයි. නැවැත නැවැත ඇමැතුව ද හේ දුර බණුවට පිළිතුරු නො දෙයි. "මේකා මට එන්න කියලා උගුලක් වත් ඇටෙව්වා දෝ" යි සිතේ. එහෙත් අනතුරෙක සේයාවක් වත් නැත. "ඌ ඕන මඟුලක් කරගත්තාවෙ" යි සිතා මම පුවත්පත ද මල්ලේ ඔබාගෙන නවාතැනට ගොස් කා බී නිඳාගතිමි. පසු දා උදයේ කුණු සින්නා මා ඇමැතී ය. "අනේ, සොරි මල්ලි, ඊයෙ හවස හදිස්සි හොස්ටල් මීටිං එකක් ගත්‍තා. ඉවර වෙන කොට රෑ වුණා" හේ නිදහසට කරුණු කී ය. ඒකාට තම අධ්‍යාපනයට වඩා හොස්ටල් මීටිම වැදැගත් වී ඇත.

"අනේ, මල්ලි, අපි අද අනිවා වැඩේ කරමු ද?" ඒකා ලජ්ජාව නොහඳුනන හෙයින් දෝ මගෙන් ඇසී ය. ඔහු නිසා රස්තියාදු වී සිටි මට යකා වැහිණි. "පිස්සු කතා කරන්න එපා. ඊයෙ මං ආවෙ යොදාගෙන තිබුණු වැඩක් අදට කල් දාලා. අද මං ඒ වැඩේට යන්න ම ඕන. වෙන කෙනකුට කියලා කරගන්න බලන්න. සොරි." මම කියාගෙන කියාගෙන ගොස් දුර ඇමැතුම විසන්ධි කෙළෙමි. කුණු සින්නා ඊට පිළිතුරු විසින් කුමක් කීවා දැ යි මට මතකයක් නැත.

Monday, April 6, 2020

කුණු සින්නො - 6: "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු"

එදා සරසවියේ දෙසුම් හමාර වූයේ මහ දවාලේ ය. හැන්දෑවේ දෙසුම් නැත. ඒ නිසා නවාතැනට යා යුතු ය. සුපුරුදු පරිදි වේවැල්දූව පාරෙන් යන්නට සිත් වුව ද මහ දවාලේ අව්ව නිසා ඇති වූ දාහය එයට සිත මැළි කරවයි. ඒ නිසා සරසවියේ ඉදිරි පසින් ම යන්නට අදහස් කෙළෙමි. තෙල් බැම්ම ඉස්සරහින් ගිය හොත් කුණුහරුප වරුසාවකට තෙමෙන්නට සිදු වන බැවින් පුස්තකාලයය පැත්තට ගොස් මී අඹ සෙවණ මැද්දෙන් තෙල් බැම්ම මඟ හැර යන්නට පටන් ගත්තෙමි. තෙල් බැම්මේ කුණු සින්නන් කුණු හරුප කියනු පෙනිපෙනී ඇසිඇසී යා යුතු ගමනක් නිසා හද ගැස්ම නැඟෙයි. එහෙත් ඒ වේලාවේ සිත බල කෙළේ ඒ පාරෙන් යන්නට ය.

වැඩි දුරක් යා නො දී මී අඹ සෙවණේ වූ සින්නෙක් මා නෙත ගැටිණි. ඒකා බළල් කුලේ එකකු බව පසු කලෙක දැනගන්නට ලැබිණි. කටේ දිවේ නො ගෑවී කුණු හරුප කීමෙහි ලා සියලු කුණු සින්නන් අතුරෙන් පෙරමුණේ ම සිටියේ ඒකාත් තවත් එකකුත් ය. එහෙත් ඔහු සිටියේ මට පිටු පාලා ය. ඒක සැනැසීමකි. ඒ නිසා ඒකා ගේ බළල් ඇසෙහි නො ගැටී යාගත හැකි වෙති යි සිතූ මම ඒ පැත්ත වත් නොබලා පය ඉක්මන් කෙළෙමි. ඒ හැටි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්!" යනුයෙන් ඒ බළල් කුලයා හඬ නඟනු ඇසිණි. මම නෑසුණා සේ යන්නට තැනීමි. "උඹට කන ඇහෙන්නේ නෑ වගේ නේ ද?" යි ඒකා නැවැත ද කියනු ඇසුණෙන් මම ආපසු හැරී බැලුවෙමි.

"මෙහෙ වරෙන්!" ඒකා මුහුණ නොරොක් කොටගෙන, දෑස් ඔරවාගෙන, නළල රැළි නංවාගෙන මට හඬ තැළී ය. මම කුණු හරුප අහන්නට හිත හදාගෙන ඒකා වෙත සෙමෙන් සෙමෙන් කිට්ටු කෙළෙමි. "උඹ කොහෙද යන්නෙ?" බිළාල කුලයා ගුගුරාගෙන පැන්නේ ය. මම වට පිට බලා "අර මිල්ක් බාර් එකට" යි කීවෙමි. "කොහේ ද?" කුණු සින්නා ඇස් මහත් කොට විමතියෙන් ඇසී ය. "මිල්ක් බාර්" යන ඉංගිරිසි වචනය ඔහුට අජීර්ණ වූ බව මට එක් ක්ණෂයෙන් අවබෝධ විණි. එහෙත් ඒ අල්ල පනල්ලේ "මිල්ක් බාර්" එකට සිංහලයෙන් කියන වචනය මා සිතට එන්නේ නැත. අම්මා ගේ අතේ එල්ලී පෙර පාසල් ගිය අවදියේ පටන් මා එවැනි ඒවාට කීවේ "මිල්ක් බාර්" කියා ය. මම බිම බලාගත්තෙමි.

"කියපං *ත්තො, මොකක් ද උඹ ඒකට කියපු නම?" කුණු සින්නා මා වෙත නැඹුරු වෙමින් අසයි. මම බයෙන් බයෙන් හිස ඔසවා එවැනි ඒවාට මා දන්නා කලෙක පටන් කියූ එක ම නම වූ "මිල්ක් බාර් එක" යන්න කියමි. බිළාල කුලයේ කුණු සින්නා ගේ ඉවැසුම් වැසුම් ඉරාගෙන පැන්නේ ය. කන් පිරෙන්නට සම්මා වාචායෙන් සංග්‍රහ ලැබිණි. "ඇත්ත කියපං තෝ බැම්මට අහු වෙලා නෑ නේ ද?" හේ අග දී ඇසී ය. "කීප දවසක් මාව නැවැත්තුවා" මම කීවෙමි. "කීප දවසක්? ඔව් ඉතිං තෝව නවත්තන්නේ කොහෙද තෝ කැලෑපාරවලින් පනිනවනේ?" හේ ගුගුළේ ය. නැවැත දු සම්මා වාචායෙන් මට සංග්‍රහ කළ හේ තෙමේ "මිල්ක් බාර් එකට" සිංහලයෙන් කියන්නේ "කිරි හල" බව මට කියා දුන්නේ ය.

"දැන් වරෙන් බැම්මට යන්න" යි කියමින් කුණු සින්නා ඉස්සර වූයේ ය. මම පසු මඟ ගතිමි. "කිරි හල" යන වචනය දෙකනෙහි දෝංකාර දෙයි. දැන් තෙල් බැම්මට ගෙන ගොස් අසුවල් ඇබැද්දියක් සිදු කරනු ඇද්දැයි සිතේ ඉවැසුම් නැත. "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු" බිළාල කුලයා මා පෙන්වමින් තවත් කුණු සින්නකුට කීවේ ය. "මිල්ක් බාර්?" යනුවෙන් ප්‍රතිරාව කරමින් ඒ කුණු සින්නා මා දෙසට ආවේ ය. "ඔව්, මූ කිරි හලට කියන්නේ මිල්ක් බාර් කියලා" බිළාල කුලයේ කුණු සින්නා සෝපහාසී සිනාවක් නඟාගෙන කීවේ ය. මම බිම බලාගෙන සිටියෙමි. මා වෙත ඇවිද ආ අනෙක් කුණු සින්නා, "යකෝ, බාර් කියන්නේ අරක්කු විකුණන තැනට; කිරි විකුණන තැනට නෙවෙයි" යනුවෙන් මට ඉංගිරිසි පාඩමක් කියා දුන්නේ ය. මම ද හිස නමා කන් සලා උගත්තෙමි.

"එතකොට රෙකෝඩ් බාර් කියන්නේ අරක්කු රෙකෝඩ් කරන තැනට ද?" කියා අසන්නට සිත් වූ නමුත් බත් කන්නට දත් ඕනෑ බව කල්පනා වූයෙන් මම යටහත් බව ම පෑවෙමි. තෙල් බැම්ම මඟ හැර යාමටත් සරසවියේ කිරි හල් ගණන නොදැනීමටත් දඬුවම් වසයෙන් ඔහු තුමූ මා තෙල් බැම්ම වටා වට කිහිපයක් ඇවිද්දවූ හ. ඒ ඇවිද්දවූයේ කලිසමේ එක් කකුලක් උඩට නවා පොත් ටික හිසට දීලා ය. එසේ චිරාගත චාරිත්‍රානුකූල ව තෙල් බැම්ම ප්‍රදක්ෂිණා කරද්දී ඊට පස්ස දී ගෙන උන් සෙසු කුණු සින්නෝ ද විටින් විට මා නවතා නොයෙක් දෑ විචාරමින් විනෝද වූ හ. මෙසේ අඩ හෝරාවක් පමණ ගෙවුණු පසු මට නවාතැන කරා යන්නට නිදහස ලැබිණි.

Sunday, March 29, 2020

කුණු සින්නො - 5: "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?"

වෙසක් පෝය ළං වෙද්දී සද්ධා බුද්ධි සම්පන්න කුණු සින්නෝ නවක ශිෂ්‍යයන් කණ්ඩායම් ගණනාවකට බෙදා සරසවිය පුරා එල්ලන්නට වෙසක් කූඩු හදන්නට පැවැරූ හ. යම් පිරිසක් කැමැත්තෙන් හා කැපවීමෙන් හා ඒ වැඩේ යෙදුණ හ. ඇතැමෙක් බේරෙන්නට හැටියක් නැති නිසා ඒ වැඩේ යෙදුණ හ. කැට හොල්ලා සිඟාගත් මුදලින් දෝ වෙසක් කූඩු සඳහා කඩදහි, බටපතුරු ආදිය සැපැයිණි. කොපමණ මුදලක් වෙසක් කුඩු නො හදා ම නිවන් ගියා දැ යි හරියට නො දනිමි. කෙසේ හෝ ඒ වෙසක් කූඩු වසංගතයෙන් බේරීමට මම සමත් වූයෙමි. ඔය දිනවල මා කුණු සින්නන් නියම කළ ඇඳුම් කට්ටලය ඇන්දේ නැති නිසා බේරී සිටින්නට හැකි වූ නමුදු මා සිටියේ මායිම් ගම්මාන වැසියකු මෙන් කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙනි. එක් දිනක් කුමක් දෝ ඉංගිරිසි පැවැරුමක් සඳහා අවශ්‍ය වූ පොත් වගයක් සොයාගන්නට පොත්ගුලට ගිය මම හෙමින් සීරුවේ තෙල් බැම්ම මඟ ඇර මී අඹ සෙවණ පැත්තෙන් පල්ලම් බැස්සෙමි. තෙල් බැම්ම පැත්තෙන් නො ගියේ එහි ගියොත් අනිවාර්ය පීඩාවකට පත් වන බැවිනි.

මී අඹ සෙවණේ මහා පතරංග වෙසක් කූඩු රාජයකු ඉදි වන බව මා දක්නා විට ආ පසු හැරෙන්නට පමා වැඩි ය. මම ඉදිරියට ම පය මෙහෙයීමි. වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්" යනුවෙන් පසු පසින් හඬ තළනු ඇසිනි. මම නෑසුණු සේ යන්න ගියෙමි. "උඹ මෙතැනට එනවද අපි ඔතැනට එන්න ද?" කුණු සින්නා තර්ජනාත්මක ස්වරයෙකින් කීයේ ය. මම ආ පසු හැරී බලා "මට ද?" යි ඇසීමි. "ඔව්, තොට තමයි. මෙතැන තව ෆස්ට් ඉයර් උන් ඉන්නවද? මෙහෙ වරෙං හු*ගන්නෙ නැතුව!" මම ඒ අණ පිළිපැද්දෙමි. මහා වෙසක් කූඩු රාජයා තැනීමට ගෙනා යකඩ බට ද ලී දඬු ද තවත් බොහෝ දෑ ද එහි තිබිණි. මට හොඳ සංග්‍රහයක් විඳින්නට වේ දෝ යි සිතේ චකිතයක් පහළ විණි. එහෙත් දැන් ආ පසු හැරී යාමක් නැත. "අපි මේ මොක ද කරන්නෙ?" එකෙක් මිහිඳු හිමියන් ගේ අඹ පැනය වැන්නක් මගෙන් ඇසී ය. "වෙසක් කූඩු හදනවා" මම කීමි. "උඹේ වෙසක් කූඩු ග්රූප් එක මොකක් ද?" මම මොකක් දෝ අංකයක් කියා දැමුවෙමි. "කවුද ග්රූප් ලීඩර්?" මා දන්නා ග්රූප් ලීඩරයෙක් නැත. මම බිම බලාගතිමි.

"උඹට කියන දේ තේරෙන්නෙ ම නෑ වගේ නෙ?" යනුවෙන් පටන් ගත් කුණු සින්නා මට තේරුම් බේරුම් ඇති කිරීම සඳහා දෝ වෙසක් කූඩු සැකිල්ල ඉදිරියේ දී ම සම්මා වාචායෙන් යමාමහ පෙළහර පෑ ය. "උඹ දන්නවා නේ ද ඔහොම ඇඳලා එන්න බැරි බව? උඹට හොඳින් කිව්වම තේරෙන්නෙ නැද්ද?" තවෙකෙක් මගේ මූණට එබී ඇසුවේ ය. මම බිම බලාගෙන සිටියෙමි. එතෙක් වේලා මට ඔරවඔරවා දත් කූරු කමින් සිටි කුණු සින්නෙක් අඩියට දෙකට මා ළඟට ආවේ ය. "උඹ රිච්මන්ඩ් නේ ද?" විමතියෙන් යුතු මම "ඔව්" කීවෙමි. "උඹට මාව මතක නෑ?" මම උඩ බිම බැලුවෙමි. ඔහොම එකකු ගැන මට මතක සේයාවක් වත් නැත. අනෙක් අතට සිසුන් හාර පන් දහසක් සිටින පාසලක උගත්තකුට තමා ගේ මිතුරන් හැරුණු කොට අනෙකෙක් මතක සිටී නම් ඒ ඉතා කැපී පෙනුණු ශිෂ්‍යයෙකි. "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?" මගේ නිහඬ බව නිසා බුරබුරා නැඟෙන කෝපාග්නියෙන් දැවෙමින් කුණු සින්නා ගුගුළේ ය. මම දෙපසට හිස සැලීමි. "තොට මාව මතක නැති වුණාට මට තෝව මතක යි" අවසන හේ කීවේ ය.

"බලපං උඹ ඇඳලා ඉන්න විදිය. උඹට මතක ඇති නෙ ඉස්කෝලෙ තිබුණ විනය. එහෙම ඕන ඕන ඒවා ඇඳගෙන එන්න බෑ නෙ. අපිත් ඒ දවස්වල ගාමිණී සර් ගෙන් ඕන තරම් කනේ පාරවල් කාලා තියෙනවා ඇඳුම නිසා" හේ කියාගෙන කියාගෙන ගියේ ය. ගාමිණී සර් යනු එවක රිච්මන්ඩ් නියෝජ්‍ය විදුහල්පති ගාමිණි ජයවර්ධන මහාත්මා යි. දැන් එතුමා මහින්ද විද්‍යාලයාධිපතිතුමා ය. එතුමා ගෙන් කනේ පාරවල් කෑ එකෙක් නම් උගේ නොම්මරය හොඳ එකක් විය නොහැකි ය. ගාමිණී සර් ඉතා සුහද පරිපාලකයෙකි. කනේ පාරක් දුන්නොත් ඒ නො දී ම බැරි එකකුට ය. දවසක් මගේ සයිඩ්බර්න්ස් දිග වැඩි බව දැක ගාමිණී ජයවර්ධන මහතා මා ළඟට කැඳැවා කීවේ "බලපං උඹේ සයිඩ්බර්න්ස්. වික්ටර් රත්නායක වගේ. හෙට එන කොට කපං ඇවිල්ලා පෙන්නන්න ඕන. උඹලත් මෙහෙම ආවම අපි කාව බලං හැදෙන්න කියලද බං අනික් ළමයින්ට කියන්නේ?" කියා ය. ඒ නිසා ගාමිණී සර් දණ්ඩනයට යන්නේ යාප්පුවෙන් මෙල්ල කළ නොහැකිවුන් සඳහා බව මම දැන සිටියෙමි. මේකා එහෙම එකෙකි.

මා සිතිවිලි සයුරේ කිමිදෙද්දී කුණු සින්නා දිගට ම දෙසයි. "මෙතැනත් විනයක් කියලා එකක් තියෙනවා. ඉස්කෝලෙ වගෙ තමයි. ඒ කියන විදියට ඇඳගෙන වරෙං ලොකු ලයින් නො දී. විනයට අනුගත වෙයං. උඹට ඉස්කෝලෙදි නම් බදාගෙන බෞද්ධ සංගම් කරන්න පුළුවන්. මෙහේ දී තමයි වෙසක් කූඩුවක් වත් හදන්න බැරි. උඹ අපේ ඉස්කෝලෙ කියලා කියන්නත් ලැජ්ජයි" කියා කුණු සින්නා ඉවත ගියේ ය. මටත් ඔහු කියූ අන්තිම වාක්‍යය ඔහු වෙනුවෙන් පුනරුච්චාරණය කරන්නට සිතුණ ද ඒ වේලාවේ එසේ කළා නම් කතාව නවතින්නේ රෝහල් වාට්ටුවකිනි. මම බයාදු ලෙස යටහත් ව සිටියෙමි. ඊළඟට ඉන්නල ගෝනියක් තරම් එකෙක් මා ළඟට පැමිණ "වාඩි වෙන්න" යි කීවේ ය. මා වාඩි වූ සැණින් කුණු සින්නෝ මගේ මවුන් පියන් පවා සිහි කරමින් සම්මා වාචාව පිළිපදින්නට වූ හ. එහෙත් "වාඩි වෙන්න" යි කී තැනැත්තේ කරුණාවක් පෑයේ ය. "ඉන්න ඇරපං" යි අනෙක් උනට කී හේ තෙමේ මා සමඟ සුහද සංවාදයකට වන්නේ ය.

මා ළඟින් ඉඳගත් හේ "මල්ලි උඹ ඉංග්ලිශ් කරනවා නේ ද?" යි ඇසුවේ ය. මම හිස සැලීමි. "මාත් කරනවා" හේ කීවේ ය. ඔහු මා අත තුබුණු පොතක් ගෙන එහි පැරැණි ඉංගිරිසියෙන් 'Tis යනුයෙන් ලියා ඇත්‍තක් පා එසේ ලියන්නේ ඇයි දැ යි ඇසී ය. "ඇමරිකන් ඉංග්ලිශ්" මම කීවෙමි. කුණු සින්නා පිළිතුරෙන් සෑහී "දන්නවනෙ!" යි කී ය. ඒකා දාන්නා තරම මම එයින් මැනැගත්තෙමි. It is යන්න Tis යනුවෙන් ලියූවේ සොළොස් වැනි සියවසේ පමණ පැරැණි ඉංගිරිසියේ විනා ඇමරිකානු ඉංගිරිසියේ නො වේ. "මල්ලි, ඉගෙන ගන්නවා වගේ ම පොදු වැඩව්ලටත් වරෙං. කැම්පස් ලයිෆ් එක කියන්නෙ ලෙක්චර්ස් යන එක විතරක් නෙවෙයි. ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව අනික් හැමෝ ම ඉන්න විදියට ඉන්න බලපං. හා, දැන් පලයං" යි කී හේ තෙමේ මා නිදහස් කෙළේ ය. මම කෘතවේදී සිනාවක් පා හුන් තැනින් නැඟිට සෙමෙන් සෙමෙන් ගියෙමි. මා යන විට අර පාසල කර පින්නාගෙන උන් ආදි රිච්මන්ඩ් සින්නා "හදන්න බෑ අපතයෙක්" කියනු මට යන්‍තමට ඇසිණි. ඒකා 'දළ' ඇති වල් ඌරකු බව මට පස්සේ ආරංචි විය.

Sunday, March 22, 2020

කුණු සින්නො - 4: "ඈ යකෝ, උඹලෑ ගෙදර තාත්තට වඩා අම්මා වැඩිමල් ද?"

මා මුලින් ම තෙල් බැම්මට අසු වූ දා මට අද මෙන් මතක තිබේ. එවක බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට යකඩ වැට පටන් ගන්නා කෙළවරේ මොකක් දෝ රූස්ස ගහක් තිබිණි. කුණු සින්නන් තෙල් බැම්මේ දී කියන කුණු හරුප ඉවසා දරා වාවාගත නොහී දෝ පසු කලෙක ඒ මහා වෘක්ෂ රාජයා මුලින් ඉදිරී වැටිණි. මා මුලින් ම කුණු සින්නකුට අසු වූයේ අන්න ඒ මහා වෘක්ෂ රාජයා පා මුල දී ය. උදේ අටට පමණ පටන් ගන්නා දේශනයකට සහභාගී වීම සඳහා මම අඩියට දෙකට දේශනා ශාලාව බලා දුවමින් සිටියෙමි. ඒ වන විට මා වේවැල්දූව පාර සොයාගෙන නොතුබුණු බැවින් ආවේ ගියේ කවුරුනුත් සරසවි යන එන ඉස්සරහ පැත්තෙනි. මා එනු දැක "ඒයි, ෆස්ට් ඉයර්, මෙහෙ වරෙන්" කියා කුණු සින්නෙක් මා ඔහු ළඟට කැඳවී ය. මම ඒකාට කීකරු වුණෙමි.

"ගුඩ් මෝනිං" කුණු සින්නා මට ආචාර කෙළේ ය. මම ද පිළිතුරු විසින් "ගුඩ් මෝනිං" කීවෙමි. "මල්ලි, උඹේ ගම කොහේ ද?" හේ ඉතා ආදරයෙන් ඇසී ය. "ගාල්ලේ" මම කීවෙමි. "ගෙදර ඉන්නේ කවුරු කවුරු ද?" ඒ ඊළඟ ප්‍රශ්නය යි. "අම්මයි තාත්තයි මමයි" මට පිළිතුර හමාර කරන්නට ලැබුණේ නැත. කුණු සින්නා හෙණ පතයක් ගැසුවා සේ පුපුරා පැන්නේ ය. "ඈ යකෝ, උඹලෑ ගෙදර තාත්තට වඩා අම්මා වැඩිමල් ද? කියපං හු** හරි පිළිවෙළට!" හේ ගුගුළේ ය. "තාත්තයි අම්මයි මමයි" මම ඔහු කැමැති පිළිවෙළට උත්තරය හරි ගැස්සුවෙමි. "තාත්තා මොක ද කරන්නේ?" ඒ ඊළඟ ප්‍රශ්නය යි. "තාත්තා ක්ලාක් කෙනෙක්. දැන් විශ්‍රාමික යි" ඒ පිළිතුරෙන් ඔහු සෑහීමකට පත් වූ බවක් පෙනිණි. යම් හෙයකින් තාත්තා විධායක ශ්‍රේණියේ රැකියාවක් කෙළේ නම් ඒ කුණු සින්නා ගෙන් මා වරුවක් හමාරක් කුණු හරුප අසනවා නියත ය.

කුණු සින්නා ගේ ඊළඟ ප්‍රශ්නය මගේ අධ්‍යාපනය ඉතිහාසය ගැන යි. "කොහේ ද ඉස්කෝලෙ?" හේ පිළිවිසී. "රිච්මන්ඩ්" මම මෝඩ කමට ඇත්ත ම කීවෙමි. රෝයල්, තෝමස්, ආනන්ද, නාලන්ද, ඩී. එස්., රිච්මන්ඩ්, මහින්ද, කිංග්ස්වුඩ් ඔවුනට කනේ යවුල් අනින්නා සේ බව මම එවක නො දත්තෙමි. "ආ උඹ රිච්මන්ඩ් ද?" යනුයෙන් පටන් ගත් කුණු සින්නා රතිඤ්ඤා වැලක් පුපුරන්නා සේ කුණුහරුප වැලක් ම කියාගෙන ගියේ ය. ජීවිතයේ අන් කිසි දාක කිසි වරදක් නො කොට මා එතරම් කුණුහරුප අසා තුබුණේ නැත. මට මහත් අප්පිරියාවක් දැනෙන්නට විය. "උඹ රිච්මන්ඩ් එකේ ඉගෙනගත්තට කමක් නෑ. මෙහෙ ඇවිල්ලා ගැට්ට තියාගන්න එපා" කුණුහරුප වැල අහවර කරමින් හේ කීවේ ය. "මොනා ද සබ්ජෙට්ස්?" ඒ ඊළඟ පැනය යි. "සිංහල යි ඉංගිරිසි යි වාග්විද්‍යාව යි" මා උත්තරය දී නිමවනටත් කලින් මෙරට යටත් කැරැගෙන සිටි ඉංගිරිසින් කෙරෙහි වූ වෛරය හේ තෙමේ මගෙන් පිරිමසාගත්තේ ය. කුණු සින්නනට ඉංගිරිසි අජීර්ණ බව මට කල්පනා වූයේ එදා ය.

ඔය වනාහි රිච්මන්ඩ් විද්‍යාලයයේ ඉගැනුම ලැබීම නිසා මා කුණු හරුප ඇසූ පළමු වැනි දවස යි. ඊළඟ දවස මීට වඩා රසවත් සිදු වීමෙකි. 

Sunday, March 15, 2020

කුණු සින්නො - 3: "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ"

එදා පැවැත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහාත්මාව ගේ 'විචාරාත්මක චින්තනය' (Critical Thinking) දේශනය යි. දේශන ශාලාව K28 ගොඩනැඟිල්ලේ එකක් බව ද මතක තිබේ. දේශනය ඉවර වන විට වේලාව හවස හතරට පමණ ඇත. උදේ පටන් දේශන කිහිපයකට ම සහභාගී වූ බැවින් සරසවිය පසු පසින් පල්ලම් බැස වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක් පමණ පයින් ගොස් නවාතැනට යන්නට ගතට ද සිතට ද හයියක් නැත. එබැවින් අනෙක් නවක සිසුසිසුවියන් ද සමඟ රොත්ත පිටින් තෙල් බැම්ම පසු කැර යාමට මම හිත හදාගත්තෙමි.

හැන්දෑව නිසා දෝ තෙල් බැම්ම ළඟ ඒ වන විට එතරම් කුණු සින්නෝ නුවූ හ. එහි වූ කිහිප දෙනා අතුරින් හීන්දෑරි උස එකෙක් "ඒ, ඒ, ෆස්ට් ඉයර්, මෙහෙ වරං" කියා එක රොත්‍තට යමින් සිටි අප බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට පදික වේදිකාව වෙත කැඳැවූ හ. ශ්‍රී සුමංගල ශබ්දකෝශයේ එක් වෙළුමක් තරම් විශාල පොතක් කිහිල්ලේ ගහගත් දොඩමක් දෙකක් පමණ උස ඇති කුණු සින්නෙක් එහි සිටියේ ය. ඒ පොතක් අතැති ව කුණු සින්නකු බැම්මේ සිටිනු දුටු පළමු වැනි වතාව යි. ඔහු අතැ තුබුණු පොත වාණිජ්‍ය ධාරාවේ ගිණුම්කරණය හෝ අළෙවිකරණය හෝ වැනි විෂයයක් ගැන ඉංගිරිසි මාධ්‍යයෙන් ලියැවුණු පොතෙකි.

"ආදරණීය නංගියේ, මල්ලියේ" කියමින් කුණු සින්නා සිය දෙසුම ඇරැඹී ය. එය කියැවීමේ අගය පිළිබඳ දේශනයකි. "උඹලා ලෙක්චර් ගියාට විතරක් මදි. පොත්පත් කියවන්නත් ඕන. මාත් මේ ලයිබ්රියට ගිහිල්ලා එන ගමන්." හේ කියාගෙන ගියේ ය. මට තෙල් බැම්මේ දී එතෙක් හමු වූ සියලු කුණු සින්නන් අතුරින් කුණුහරුප නො කියූ එක ම තැනැත්තේ නම් මේ ය. අනෙක ඔහු ගේ දේශනය ද කියැවීමේ අගය ගැන ය. "පොත් කියවලා විතරක් මදි. මිනිස්සුන්ව ආස්සරේ කරන්නත් ඕන. මිනිස්සු ආස්සරේ කරලා ලබන දැනුම පොත් දාහකින් වත් ලැබෙන්නෙ නැහැ" යි හේ දැනුම ලැබීමේ තවත් මඟක් පෑවේ ය. ම සිතෙහි ඔහු ගැන කෙමෙන් පැහැදීමක් ඇති වෙමින් තිබිණි.

කුණු සින්නා ගේ දේශනය තව ඉදිරියට යයි. සමාජ ආශ්‍රයයෙන් තමා දැනුම ලැබූ ආකාරය ගැන හේ නිදසුන් පවතක් දක්වන්නට වන. "මේ ළඟ දී අපේ බැජ්ජෙකේ කොල්ලෙක් ගෙ තාත්තා නැති වුණා. අපි ඔක්කොම පුළුපුළුවන් විදියට බඩුමුට්ටු ටිකකුත් අරගෙන කපට ගියා" කුණු සින්නා නිදසුන් පවත දිග හරියි. "එදා පාංසුකූලෙ දෙන වෙලාවෙ හාමුදුරුවෝ අනුසාසනාවට කිව්වා අපේ ජීවිතය හරියට තණ කොළයක් අග තියෙන පිනි බින්දුවක් වගේ කොයි වෙලාවෙ බිමට වැටෙයි ද කියන්න බෑ කියලා" ඒ ගමන බණක් දෙසා වදාරති දෝ හෝ යි මම ඇස් කන් දල්වාගෙන සිටියෙමි. "ඒ හාමුදුරුවෝ කිව්ව කතාව ඇත්ත නේ ද කියලා මම හුඟක් වෙලා කල්පනා කළා. දැන් එතකොට එදා ඒ කපට ගියේ නැත්නම් මට ඒක දැනගන්න ලැබෙන්නෑ. අන්න ඒක යි මිනිස්සු ආස්සරේ කරන්න කියන්නෙ" හේ කී ය.

ගුවන්තොටක දිවුම් මඟක් දිගේ බොහෝ දුරක් දිවැ කෙමෙන් ගුවනට නැඟෙමින් තුබුණු ගුවන් යානයක් හිටි හැටියේ ම ඇංජිම නතර වීමෙන් බිම ඇදැ වැටී පුපුරා මහා අග්නි ජාලාවක් බවට පත් වන්නා සේ මා සිතෙහි ඔහු ගැන ගොඩ නැඟෙමින් තුබුණු පැහැදීම ද ඇදැ වැටී දැවී හළු වී ගියේ ය. ඒකා පටන් ගත්තේ කියැවීමේ අගය ගැන දෙසමිනි. එහෙත් ධම්මපදය, ලෝවැඩසඟරාව ආදියෙහි පණ තණ අග පිනි බිඳකට සමාන කරන උපමාව ඒකා නමෝවිත්තියෙන් අසා ඇත්තේ අර අනුසාසනාවෙනි. මම අමාරුවෙන් සිනහ තද කැරැගෙන බිම බලාගතිමි. ධම්මපදය, ලෝවැඩසඟරාව කියවා නැති උන් සරසවිවල කොතෙකුත් සිටිය හැකි ය. එහෙත් එම්. එස්. ප්‍රනාන්දු ගේ මේ බයිලා ගායනය වත් අසා නැතිවුන් සරසවිවල සිටිය හැකි ද?

"මල් යහනාවකි ලෝකේ - නැහැවෙයි චන්ද්‍රාලෝකේ
  යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණ අග පිනි බිඳකී"

අපට කියැවීමේ අගය කියා දෙන්නට ආවේ ඔන්න ඔහොම කුණු සින්නන් ය! උන් නො දත් ලෝවැඩසඟරා කවිය මෙසේ ය:

"බණ නම් නිබොරු ය මුනිවර  යන්නේ
  කය නම් නොතිර ය අදහා      ගන්නේ
  පණ නම් තණ අග පිනි බිඳු    වැන්නේ
  පින නම් නොපමා ව ම කැර   ගන්නේ"


Sunday, March 8, 2020

කුණු සින්නො - 2: "අඩෝ, උඹ අපේ ඉස්කෝලෙ ලොකු සර් වගේ"

ඒ මගේ සරසවි දිවියේ මුල් සති කිහිපයෙන් එකක් බව හොඳින් මතක ය. මුලින් ම සරසවි ආ දා ලක්ෂ ගණනක් වටිනා තොරණක් යටින් කැඳවාගෙන ගොස් කඩදහි පිඟානේ කිරිබත් කන්නට දී සාදරයෙන් අප පිළිගත් කුණු සින්නන් ඒ වන විට ඔවුන් ගේ දෛනික කුණුහරුප සංදර්ශනය අරඹා තිබිණි. දින පතා උදේ හතට පමණ තෙල් බැම්ම වෙත පැමිණ පාර දෙපසේ පෙළට හිටගෙන ඌ තුමූ නවක සිසුන් බිය වද්දමින් කුණුහරුප කියති. වෙන කරන්නට දෙයක් නැති නිසා මුලින් මුලින් හිස් බඩ ම කුණුහරුප අසාගෙන සරසවි ගිය ද සතියක් හමාරක් යන විට තෙල් බැම්ම මඟ හැර ආ හැකි පාරක් සොයාගැනීමට අපි සමත් වූමු. එනම් සරසවිය පිටුපසින් ඇතුළු වන වේවැල්දූව පාර යි.

එවක් පටන් දෙසුම ඇරැඹෙන වේලාවට අඩ හෝරාවකට පමණ කලින් පුරන්සිස් පටුමඟේ නවාතැනින් පිටත් වන මම ටයර් සංස්ථා හංදියට පැමිණ එහි වූ කඩයකින් උදයට කිසිවක් කා වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා දමමින් සරසවි යමි. උදේ ම ඒ දුර ගෙවා සරසවියට ළඟා වන විට හොඳ ගණන් ය. ඉහින් කනින් ඩා දිය වැගිරේ. තෙල් බැම්මේ කුණුහරුප සංදර්ශනය පෙනිපෙනී කුණු සින්නන් ගේ උකුසු ඇසට ලක් නො වී පීඨ පරිශ්‍රයේ ගේට්ටුවෙන් ඇතුළු වීම මහත් ම අපහසු කාර්යය යි. එහෙත් මම සති දෙක තුනක් ම ඉතා සාර්ථක ව ඒ මාරකය පැනැගන්නට සමත් වීමි. ආ පසු නවාතැනට යන විට ද ආ පාරෙන් ම යාමට පරිස්සම් වීමි.

එහෙත් එක් දවසක් මාරකය විස්තාරණය වී තිබිණි. එදා පීඨයේ ගේට්ටුවෙන් ඇතුළේ ද කුණු සින්නෝ කිහිප දෙනෙක් සිටිය හ. මම සිත දැඩි කැරගෙන ඇතුළු වී අඩියට දෙකට ගියෙමි. ඒ සින්නන් ගේ ඇසට මා ලක් වූයේ නැත. ඉන් පසු කිහිප දිනක් ම එතැන ද සින්නන් සිටි නමුදු ඔවුනට මා ගැන නිච්චියක් වූයේ නැත. මා සරසවි එන්නේ ඔවුන් දුන් ලිපි ගොනුව කන්තෝරු මල්ලක ඔබා මල්ල උරහිසේ එල්ලාගෙන බැවින් ඔවුන් මා නවක ශිෂ්‍යයකු බව හැඳිනගැනීමට අසමත් වීම අරුමයෙක් නො වේ. අනෙක් අතට ඒ දිනවල මා වැඩියක් ම ඇන්දේ සුදු කමිසයත් සුදු කලිසමත් ය. තනි සුදු ඇඳ කළු පා වහන් හා කළු ඉණ පටිය හා පැලැඳ ගෙන එන මා බැලු බැල්මට නවක ශිෂ්‍යයකු බව පෙනෙන්නේ නැත. මම ඒ වෙස් පෙරැළියෙන් උපරිම ප්‍රයෝජනය ගතිමි.

එක් දිනක් මේ හැංගි මුත්තන් සෙල්ලම නවත්තන්නට සිදු විය. දින පතා ම පාහේ සුදු ඇඳගෙන උදේට එන හවසට යන එකකු ඉන්නා බව ඔවුනට ඉව වැටී තිබිණි. එහෙත් මා නවක ශිෂ්‍යයකු ද යන්න ගැන ඔවුනට තුබුණේ සැකයක් පමණි. එදා දෙසුම් දෙකක් අතර සැලැකිය යුතු ඉඩක් තුබුණෙන් මම පොත්ගුලට රිංගන අටියෙන් කුණු සින්නන් පසු කැර යන්නට වීමි. එකෙක් මා දුටුයේ ය. "මචං අරූ ෆස්ට් ඉයර් ද?" හේ අනෙකකු ගෙන් පිළිවිසී. "දන්නෑ බං. මාත් දැකලා තියෙනවා, ඩෑල් එක හැම දා ම මෙතැනින් යනවා" අනෙකා පැවැසී. ඔවුන් ගේ මේ දෙඩුම් මා සවනෙහි වැටේ. දැන් කනේ යවුල් අනින්නා සේ ය. හදේ පිටි කොටන්නා සේ ය. "අඩෝ, කෝකටත් ටෝක් කරලා බලමු" යි කුණු සින්නෝ තීරණයකට අවුත් "ඒයි ෆස්ට් ඉයර්, ෆස්ට් ඉයර්" යි දෙතුන් විටක් උස් හඬින් කෑ ගෑ හ.

නෑසුණු විලාසයෙන් මඟ හැර යන්නට උඩු සිත කියයි. එහෙත් අනන්‍යතාව හෙළි වූ දාක කුමක් වේ දැ යි යටි හිත අසයි. "ඕන එකක් වෙච්චාවෙ" යි සිතාගෙන මම හැරී බැලුවෙමි. "මෙහෙ වරෙං" එකෙක් කී ය. මම ළඟට ගියෙමි. "අඩෝ උඹ ෆස්ට් ඉයර් ද?" හේ ඇසී ය. "ඔව්" මම කීවෙමි. "කියපං කැන්ටින් කීයක් තියෙනව ද?" මම කීයක් දෝ හිතට ආ ගණනක් කීවෙමි. උත්තරය වැරැදි බව කුණු සින්නන් ගේ මුහුණුවලින් පෙනිණි. "ඇත්ත කියපං. උඹ බැම්මට අහු වෙලා තියෙනවද?" එකෙක් ඇසී ය. "නෑ" මම කීවෙමි. "කවදා වත් ම නෑ??" තව එකෙක් විස්මයයෙන් ඇසී ය. "පළවෙනි දවසෙ මාව නැනැවැත්තුවා. ඊට පස්සෙ නම් නැවැත්තුවෙ නෑ" මම කියාගෙන ගියෙමි. "නවත්තයි ද ඉතිං? බලපං උඹ ඇඳගෙන ඉන්න හැටි. අපි හිතුවෙ උඹ ලෙචෙක් කියලා. ඒ බං, බලපංකො මූව" හේ තවෙකකුට ඇරියුම් කෙළේ ය.

ඒකා ද රැග් කරමින් සිටි කෙල්ලන් පිටත් කොට මා දෙසට ආවේ "මූ ෆස්ට් ඉයර් ද?" අසමිනි. "ඒක තමයි බං. බලපංකො ඇඳලා ඉන්න හැටි" ඇරියුම් කළ එකා උත්තර දිනි. "අඩෝ, උඹ අපේ ඉස්කොලෙ ලොකු සර් වගේ" හේ ඔලොක්කුවට සිනා වෙමින් කීවේ ය. "මූව බැම්මෙන් නවත්තන්නෙ නෑ ලු" ඇරියුම් කළ එකා පැමිණිල්ලක් විලාසයෙන් කී ය. ඒ පැමිණිල්ලෙන් පසු මා ලොකු සර් වැන්නැ යි කී තැනැත්තේ තරවටුව පටන් ගති. "උඹ මීට පස්සෙ සුදු කලිසම අඳිනවා නම් සුදු කමිසේ අඳින්න බෑ. සුදු කමිසෙ අඳිනවා නම් සුදු කලිසම අඳින්න බෑ. තේරුණා ද?" මම හිස සැලීමි. මේ වන විට එතැන සිටි කුණු සින්නන් සියලු දෙනා ම පාහේ මා වට කැරගෙන ය. "මීට පස්සෙ උඹව බැම්මෙන් නැවැත්තුවෙ නැත්නම් උඹ නැවතිලා අයියලා කියලා දෙන දේවල් අහගන්න ඕන." ඉන් එකෙක් කී ය. "අනික ලෙක්චර් එකේ වෙලාවට ම නැතුව ටිකක් කලින් එන්න ඕන" තවෙකෙක් එකතු කෙළේ ය. මම කර බාගෙන හිස සැලීමි.

"හා, හා, දැන් පලයං" ඈතින් ආචාර්යවරයකු එනු දුටු එකෙක් කීවේ ය. මම ඉක්මන් කෙළෙමි. "හෙට එන කොට මෙච්චර දවස් උගන්නපුවා උඹට පුළුවන් වෙලා තියෙන්න ඕන" මට යන්නට මඟ ඉඩ අරිමින් අවසන් තරවටුව ද එකෙක් කෙළේ ය. තෙල් බැම්මේ කුණු සින්නන් මගේ මුහුණ හඳුනාගත්තේ එදා ය. එදායින් පසු උන් ගේ කුණුහරුප සංදර්ශනය නොවිඳ සරසවියට ඇතුළු වීමක් නුවූ තරමි.

(මෙහි සංවාද ලියා දැක්වූයේ කුණු සින්නන් කියූ කුණුහරුප ඉවත් කොට බව සලකන්න.)

Friday, February 28, 2020

කුණු සින්නො -1: "එගොඩහ යන්නෝ"

කැලැණි සරසවියේ CCTV ප්‍රශ්නය පිළිබඳ මා ෆේස්බුක් මාධ්‍යයේ ලියූ අවස්ථාවේ පටන් මේ දක්වා මටත් මගේ දෙමාපියනටත් අතොරක් නැති ව අපහාස උපහාස කරන එවක අපේ ජ්‍යේෂ්ඨ උත්තමයන් ව සිට තව මත් කැලැණි සරසවි මහා ශිෂ්‍ය සංගමය අස්සේ හොල්මන් කරන ආතක් පාතක් නැති කුණු සින්නන් හට උපහාර පිණිස නවක වධය පිළිබඳ මගේ මතක මෙසේ ලියා තබන්නට සිතුවෙමි.

මා CCTV ප්‍රශ්නයට මැදිහත් වූ අවස්ථාවේ දණ්ඩෙන් පහර කෑ සපකු සේ කිපී ගිය එකකු දිගින් දිගට ම කියන්නේ මට මානසික රෝගයක් ඇති බව ය. වාණිජවේදි උපාධිය හැදෑරීමට නියමිත කාලයේ රට වටේ රස්තියාදුවේ ගිය ඔහු දැන් හිටි හැටියේ ම මනෝරෝග විශේෂඥයකු බවට පත් ව ඇත. ඔහු කියන්නේ මට මානසික රෝගයක් ඇතැ යි ඔවුන් විනිශ්චය කළේ මා සරසවි සිසුවකු ව සිටිය දී ම බව යි. ඒ කාලයේ ඔවුන් එසේ සිතන්නට පෙලැඹැවූ එක් සිද්ධියක් මෙසේ ය.

ඒ මගේ සරසවි දිවියේ පළමු වසරේ දෙ වන සමාසිකයේ මුල් හරිය විය යුතු ය. ඒ වන විටත් කුණු සින්නෝ සතියකට දවස් දෙක තුනක් වත් තෙල් බැම්මට ගොඩ වී අපට කුණුහරුප කීමෙන් විනෝදය ලද හ. මේ කියන දවසේ කවර හෝ කරුණක් නිසා ඔවුන් අපට විවේකයක් දී තිබිණි. එහෙත් අඹ ගස් සෙවෙණේ තෙල් බැම්ම මත ඉඳගෙන කාලය කා හුළං බොන කුණු සින්නෝ හත් අට දෙනෙක් එදා එහි වූ හ. වෙනසකට සිතා මම ඔවුන් ගෙන් විනෝදයක් ලැබීමට සිතුවෙමි.

බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට පදික වේදිකාව අසල පාරේ බම්පරයක් තිබිණි. මේ බම්පරය ළඟ තරමක මඩ වළක් තුබුණු බව ද බොහෝ දෙනාට මතක ඇති. මම පාරේ තුබුණු අඹ කොළයක් මඩ වළේ අයිනකින් දමා ගං ඉවුරෙක ඔරුව නවතාගෙන මඟීන් එගොඩ මෙගොඩ ගෙන යන්නට බලා ඉන්නා තොටියකු ගේ ස්වරූපයට ආවේශ වීමි. දැන් මඩ වළ ගංගාව යි. අඹ කොළය ඔරුව යි. මම තොටියා යි. පදික වේදිකා ගැට්ටේ ඉඳගෙන මහ හඬින් "එගොඩහ යන්නෝ... මෙගොඩහ යන්නෝ..." ආදියෙන් තොටි ගීය ඇරැඹුවෙමි.

නුදුරේ තෙල් බැම්මට පස්ස දී ගෙන හිටි කුණු සින්නෝ ඒ ඇසී කුමක් වී දෝ හෝ යි සිතාගත නොහැකි ව මොහොතක් මා දෙස බලා හුන් හ. "අඩෝ, මොකක් ද බං ඒ ආතල් එක?" එකෙක් අනෙකකු ගේ මුහුණ බලා කියයි. "අනේ දන්නෑ බං. මුට ඔල්මාදෙද කොහෙ ද?" හේ පිළිතුරු දෙයි. සෙස්සෝ ද මොනමොනවා දෝ කියති. මම නෑසූ කන් ව තව මත් තොටි ගීය ගයමි. ඌ තුමූ බැම්මෙන් පස්ස උස්සාගෙන වහ වහා මා වෙත වන් හ; "අඩෝ, ෆස්ට් ඉයර්, නැඟිටපං. උඹට ආතල් ද? ආ ඩෝ?" ආදියෙන් ඇරැඹ කුණු කාණුවකින් දහජරාව ගලන්නා සේ කුණුහරුප වැළක් ම කියාපූ හ. මම බයාදු මුහුණත් යටහත් බවත් පෑමි. අවසන ඌ තුමූ "පලයං, පලයං යන්න" කියා මා එළැවූ හ.

ඇත්තෙන් ම පුදුම විය යුත්තේ එදා එහි සිටි කුණු සින්නකු මා මානසික රෝගියෙකැ යි සිතා නො ගත්තා නම් ය. මා ගේ තොටි රංගනයේ පරමාර්ථය වූයේ ද ඔවුනට එවැන්නක් සන්නිවේදනය කිරීම යි. ඒ ආත්ම ආරක්ෂාව පිණිස ය. පිස්සකු හැටියට අඩයාළමක් වැදුණු පසු කුමක් කළත් "ඌ පිස්සා" කියා අත හැර දමන බැවින් එවිට ආත්ම ආරක්ෂාව ගැන බයක් සැකක් ඇති කැරැගත යුතු නැත.