Posts

කුණු සින්නො - 7: "මල්ලි, මට මේක ට්රාන්ස්ලේට් කරලා දෙන්න පුළුවන් ද?"

සරසවියේ පළමු වැනි වසරේ දී මා හදාළේ සිංහල, ඉංගිරිසි, වාග්විද්‍යාව යන විෂය ත්‍රයය යි. දෙ වැනි වසරේ පටන් ඉන් එක් විෂයයක් තෝරාගෙන විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ ඒ තුන ම තෝරාගෙන සාමාන්‍ය ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හෝ හදාළ යුතු විය. විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාවක් හදාරන බවට මා ඒ වන විටත් තීරණය කොට තුබුණ ද ඒ කවර විෂයයෙන් ද යන තීරණය ගැනීම පහසු වූයේ නැත. පළමු වැනි වසරේ හදාළ විෂය ත්‍රයයෙන් ඕනෑ ම එකක් විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සඳහා හැදෑරීමට සුදුසු කම් ලබා තිබීම ප්‍රශ්නය තවත් සංකීර්ණ කෙළේ ය. වැඩි දෙනකු මා තල්ලු කෙළේ ඉංගිරිසි හැදෑරීමට ය. එහෙත් විචාර ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම සඳහා උද්ධෘත පාඨ කට පාඩම් කිරීම මහා වේදනාවක් සේ සලකන මට ඉංගිරිසි හෝ සිංහල හෝ සමඟ විශේෂ ශාස්ත්‍රවේදී දීගය කෑ නොහෙන බව වැටැහිණි. එහෙත් වාග්විද්‍යාව කෙරෙහි මසිතැ පැවැත්තේ නොසිඳෙන කුහුලෙකි; ළිය ලන ආශාවෙකි; ඤාණ පිපාසාවෙකි. මා ගේ ආචාර්ය භවතුන් දෙදෙනකු යෝජනා කළ පරිදි වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව සපුරා ම ඉංගිරිසි මාධ්‍යයෙන් හැදෑරීමට අන්තිමේ දී මම තීරණයක් ගත්තෙමි. වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී පාඨමාලාව හදාරන්නට පටන් ගත් අලුත එ...

කුණු සින්නො - 6: "අඩෝ මූ මිල්ක් බාර් කියලා එකකට යනවලු"

එදා සරසවියේ දෙසුම් හමාර වූයේ මහ දවාලේ ය. හැන්දෑවේ දෙසුම් නැත. ඒ නිසා නවාතැනට යා යුතු ය. සුපුරුදු පරිදි වේවැල්දූව පාරෙන් යන්නට සිත් වුව ද මහ දවාලේ අව්ව නිසා ඇති වූ දාහය එයට සිත මැළි කරවයි. ඒ නිසා සරසවියේ ඉදිරි පසින් ම යන්නට අදහස් කෙළෙමි. තෙල් බැම්ම ඉස්සරහින් ගිය හොත් කුණුහරුප වරුසාවකට තෙමෙන්නට සිදු වන බැවින් පුස්තකාලයය පැත්තට ගොස් මී අඹ සෙවණ මැද්දෙන් තෙල් බැම්ම මඟ හැර යන්නට පටන් ගත්තෙමි. තෙල් බැම්මේ කුණු සින්නන් කුණු හරුප කියනු පෙනිපෙනී ඇසිඇසී යා යුතු ගමනක් නිසා හද ගැස්ම නැඟෙයි. එහෙත් ඒ වේලාවේ සිත බල කෙළේ ඒ පාරෙන් යන්නට ය. වැඩි දුරක් යා නො දී මී අඹ සෙවණේ වූ සින්නෙක් මා නෙත ගැටිණි. ඒකා බළල් කුලේ එකකු බව පසු කලෙක දැනගන්නට ලැබිණි. කටේ දිවේ නො ගෑවී කුණු හරුප කීමෙහි ලා සියලු කුණු සින්නන් අතුරෙන් පෙරමුණේ ම සිටියේ ඒකාත් තවත් එකකුත් ය. එහෙත් ඔහු සිටියේ මට පිටු පාලා ය. ඒක සැනැසීමකි. ඒ නිසා ඒකා ගේ බළල් ඇසෙහි නො ගැටී යාගත හැකි වෙති යි සිතූ මම ඒ පැත්ත වත් නොබලා පය ඉක්මන් කෙළෙමි. ඒ හැටි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්!" යනුයෙන් ඒ බළල් කුලයා හඬ නඟනු ඇසිණි. මම නෑසුණා සේ යන්නට තැනීමි...

කුණු සින්නො - 5: "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?"

වෙසක් පෝය ළං වෙද්දී සද්ධා බුද්ධි සම්පන්න කුණු සින්නෝ නවක ශිෂ්‍යයන් කණ්ඩායම් ගණනාවකට බෙදා සරසවිය පුරා එල්ලන්නට වෙසක් කූඩු හදන්නට පැවැරූ හ. යම් පිරිසක් කැමැත්තෙන් හා කැපවීමෙන් හා ඒ වැඩේ යෙදුණ හ. ඇතැමෙක් බේරෙන්නට හැටියක් නැති නිසා ඒ වැඩේ යෙදුණ හ. කැට හොල්ලා සිඟාගත් මුදලින් දෝ වෙසක් කූඩු සඳහා කඩදහි, බටපතුරු ආදිය සැපැයිණි. කොපමණ මුදලක් වෙසක් කුඩු නො හදා ම නිවන් ගියා දැ යි හරියට නො දනිමි. කෙසේ හෝ ඒ වෙසක් කූඩු වසංගතයෙන් බේරීමට මම සමත් වූයෙමි. ඔය දිනවල මා කුණු සින්නන් නියම කළ ඇඳුම් කට්ටලය ඇන්දේ නැති නිසා බේරී සිටින්නට හැකි වූ නමුදු මා සිටියේ මායිම් ගම්මාන වැසියකු මෙන් කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙනි. එක් දිනක් කුමක් දෝ ඉංගිරිසි පැවැරුමක් සඳහා අවශ්‍ය වූ පොත් වගයක් සොයාගන්නට පොත්ගුලට ගිය මම හෙමින් සීරුවේ තෙල් බැම්ම මඟ ඇර මී අඹ සෙවණ පැත්තෙන් පල්ලම් බැස්සෙමි. තෙල් බැම්ම පැත්තෙන් නො ගියේ එහි ගියොත් අනිවාර්ය පීඩාවකට පත් වන බැවිනි. මී අඹ සෙවණේ මහා පතරංග වෙසක් කූඩු රාජයකු ඉදි වන බව මා දක්නා විට ආ පසු හැරෙන්නට පමා වැඩි ය. මම ඉදිරියට ම පය මෙහෙයීමි. වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට්...

කුණු සින්නො - 4: "ඈ යකෝ, උඹලෑ ගෙදර තාත්තට වඩා අම්මා වැඩිමල් ද?"

මා මුලින් ම තෙල් බැම්මට අසු වූ දා මට අද මෙන් මතක තිබේ. එවක බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට යකඩ වැට පටන් ගන්නා කෙළවරේ මොකක් දෝ රූස්ස ගහක් තිබිණි. කුණු සින්නන් තෙල් බැම්මේ දී කියන කුණු හරුප ඉවසා දරා වාවාගත නොහී දෝ පසු කලෙක ඒ මහා වෘක්ෂ රාජයා මුලින් ඉදිරී වැටිණි. මා මුලින් ම කුණු සින්නකුට අසු වූයේ අන්න ඒ මහා වෘක්ෂ රාජයා පා මුල දී ය. උදේ අටට පමණ පටන් ගන්නා දේශනයකට සහභාගී වීම සඳහා මම අඩියට දෙකට දේශනා ශාලාව බලා දුවමින් සිටියෙමි. ඒ වන විට මා වේවැල්දූව පාර සොයාගෙන නොතුබුණු බැවින් ආවේ ගියේ කවුරුනුත් සරසවි යන එන ඉස්සරහ පැත්තෙනි. මා එනු දැක "ඒයි, ෆස්ට් ඉයර්, මෙහෙ වරෙන්" කියා කුණු සින්නෙක් මා ඔහු ළඟට කැඳවී ය. මම ඒකාට කීකරු වුණෙමි. "ගුඩ් මෝනිං" කුණු සින්නා මට ආචාර කෙළේ ය. මම ද පිළිතුරු විසින් "ගුඩ් මෝනිං" කීවෙමි. "මල්ලි, උඹේ ගම කොහේ ද?" හේ ඉතා ආදරයෙන් ඇසී ය. "ගාල්ලේ" මම කීවෙමි. "ගෙදර ඉන්නේ කවුරු කවුරු ද?" ඒ ඊළඟ ප්‍රශ්නය යි. "අම්මයි තාත්තයි මමයි" මට පිළිතුර හමාර කරන්නට ලැබුණේ නැත. කුණු සින්නා හෙණ පතයක් ගැසුවා සේ පුපුරා පැන්නේ ය. ...

කුණු සින්නො - 3: "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ"

එදා පැවැත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහාත්මාව ගේ 'විචාරාත්මක චින්තනය' (Critical Thinking) දේශනය යි. දේශන ශාලාව K28 ගොඩනැඟිල්ලේ එකක් බව ද මතක තිබේ. දේශනය ඉවර වන විට වේලාව හවස හතරට පමණ ඇත. උදේ පටන් දේශන කිහිපයකට ම සහභාගී වූ බැවින් සරසවිය පසු පසින් පල්ලම් බැස වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක් පමණ පයින් ගොස් නවාතැනට යන්නට ගතට ද සිතට ද හයියක් නැත. එබැවින් අනෙක් නවක සිසුසිසුවියන් ද සමඟ රොත්ත පිටින් තෙල් බැම්ම පසු කැර යාමට මම හිත හදාගත්තෙමි. හැන්දෑව නිසා දෝ තෙල් බැම්ම ළඟ ඒ වන විට එතරම් කුණු සින්නෝ නුවූ හ. එහි වූ කිහිප දෙනා අතුරින් හීන්දෑරි උස එකෙක් "ඒ, ඒ, ෆස්ට් ඉයර්, මෙහෙ වරං" කියා එක රොත්‍තට යමින් සිටි අප බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට පදික වේදිකාව වෙත කැඳැවූ හ. ශ්‍රී සුමංගල ශබ්දකෝශයේ එක් වෙළුමක් තරම් විශාල පොතක් කිහිල්ලේ ගහගත් දොඩමක් දෙකක් පමණ උස ඇති කුණු සින්නෙක් එහි සිටියේ ය. ඒ පොතක් අතැති ව කුණු සින්නකු බැම්මේ සිටිනු දුටු පළමු වැනි වතාව යි. ඔහු අතැ තුබුණු පොත වාණිජ්‍ය ධාරාවේ ගිණුම්කරණය හෝ අළෙවිකරණය හෝ වැනි විෂයයක් ගැන ඉංගිරිසි මාධ්‍යයෙන් ලියැවුණු පොතෙකි. "ආදරණ...

කුණු සින්නො - 2: "අඩෝ, උඹ අපේ ඉස්කෝලෙ ලොකු සර් වගේ"

ඒ මගේ සරසවි දිවියේ මුල් සති කිහිපයෙන් එකක් බව හොඳින් මතක ය. මුලින් ම සරසවි ආ දා ලක්ෂ ගණනක් වටිනා තොරණක් යටින් කැඳවාගෙන ගොස් කඩදහි පිඟානේ කිරිබත් කන්නට දී සාදරයෙන් අප පිළිගත් කුණු සින්නන් ඒ වන විට ඔවුන් ගේ දෛනික කුණුහරුප සංදර්ශනය අරඹා තිබිණි. දින පතා උදේ හතට පමණ තෙල් බැම්ම වෙත පැමිණ පාර දෙපසේ පෙළට හිටගෙන ඌ තුමූ නවක සිසුන් බිය වද්දමින් කුණුහරුප කියති. වෙන කරන්නට දෙයක් නැති නිසා මුලින් මුලින් හිස් බඩ ම කුණුහරුප අසාගෙන සරසවි ගිය ද සතියක් හමාරක් යන විට තෙල් බැම්ම මඟ හැර ආ හැකි පාරක් සොයාගැනීමට අපි සමත් වූමු. එනම් සරසවිය පිටුපසින් ඇතුළු වන වේවැල්දූව පාර යි. එවක් පටන් දෙසුම ඇරැඹෙන වේලාවට අඩ හෝරාවකට පමණ කලින් පුරන්සිස් පටුමඟේ නවාතැනින් පිටත් වන මම ටයර් සංස්ථා හංදියට පැමිණ එහි වූ කඩයකින් උදයට කිසිවක් කා වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා දමමින් සරසවි යමි. උදේ ම ඒ දුර ගෙවා සරසවියට ළඟා වන විට හොඳ ගණන් ය. ඉහින් කනින් ඩා දිය වැගිරේ. තෙල් බැම්මේ කුණුහරුප සංදර්ශනය පෙනිපෙනී කුණු සින්නන් ගේ උකුසු ඇසට ලක් නො වී පීඨ පරිශ්‍රයේ ගේට්ටුවෙන් ඇතුළු වීම මහත් ම අපහසු කාර්යය යි. එහෙත් මම සති දෙක තුනක් ම...

කුණු සින්නො -1: "එගොඩහ යන්නෝ"

කැලැණි සරසවියේ CCTV ප්‍රශ්නය පිළිබඳ මා ෆේස්බුක් මාධ්‍යයේ ලියූ අවස්ථාවේ පටන් මේ දක්වා මටත් මගේ දෙමාපියනටත් අතොරක් නැති ව අපහාස උපහාස කරන එවක අපේ ජ්‍යේෂ්ඨ උත්තමයන් ව සිට තව මත් කැලැණි සරසවි මහා ශිෂ්‍ය සංගමය අස්සේ හොල්මන් කරන ආතක් පාතක් නැති කුණු සින්නන් හට උපහාර පිණිස නවක වධය පිළිබඳ මගේ මතක මෙසේ ලියා තබන්නට සිතුවෙමි. මා CCTV ප්‍රශ්නයට මැදිහත් වූ අවස්ථාවේ දණ්ඩෙන් පහර කෑ සපකු සේ කිපී ගිය එකකු දිගින් දිගට ම කියන්නේ මට මානසික රෝගයක් ඇති බව ය. වාණිජවේදි උපාධිය හැදෑරීමට නියමිත කාලයේ රට වටේ රස්තියාදුවේ ගිය ඔහු දැන් හිටි හැටියේ ම මනෝරෝග විශේෂඥයකු බවට පත් ව ඇත. ඔහු කියන්නේ මට මානසික රෝගයක් ඇතැ යි ඔවුන් විනිශ්චය කළේ මා සරසවි සිසුවකු ව සිටිය දී ම බව යි. ඒ කාලයේ ඔවුන් එසේ සිතන්නට පෙලැඹැවූ එක් සිද්ධියක් මෙසේ ය. ඒ මගේ සරසවි දිවියේ පළමු වසරේ දෙ වන සමාසිකයේ මුල් හරිය විය යුතු ය. ඒ වන විටත් කුණු සින්නෝ සතියකට දවස් දෙක තුනක් වත් තෙල් බැම්මට ගොඩ වී අපට කුණුහරුප කීමෙන් විනෝදය ලද හ. මේ කියන දවසේ කවර හෝ කරුණක් නිසා ඔවුන් අපට විවේකයක් දී තිබිණි. එහෙත් අඹ ගස් සෙවෙණේ තෙල් බැම්ම මත ඉඳගෙන කාලය කා හුළං බොන කුණු සින...