Posts

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගේ පරම පවිත්‍ර පරස්පර බොරු

Image
ගෞතම බුදුන් පහළ වූයේ ශ්‍රී ලංකාවේ ය යන අමූලික මිථ්‍යාව පතුරන අය අතුරෙන් ප්‍රමුඛයකු වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ලියූ පොත් කිහිපයක් අපි කියවා බැලූමු. ඒ පොත් පෙළේ පළමු වැන්න වන “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” යන්න 2009 දී පළ වූවෙකි. එහි දෙ වැනි කොටස 2010 දී පළ විය. පොත් පෙළේ අලුත් ම පොත 2015 දී පළ වූ “ගොතම බුදුන් වැඩ සිටි දඹදිව හෙළයා හඳුනා ගතයුත්තේ ඇයි?” යන්න යි. සිහි නුවණ ඇති පාඨකයන් ගේ ඉළ කැඩෙන තරමට සිනා නංවන දෑ කෙතෙකුත් මේ පොත් තුනේ ම තිබේ. ඒ අතුරින් වෙසෙසින් අප සිත් ගත්තේ ගෞතම බුද්ධ චරිතය හා සම්බන්ධ ග්‍රාම නාම සඳහා ඒ හිමි සපයන නිරුක්ති සමුදායය යි. මේ සැකෙවි සටහනේ අරමුණ ‘පරම පවිත්‍ර සිරි සද්ධර්මය’ යි කියමින් ඒ හිමි ඇද බාන පරස්පර නිරුතක් ගැන යි. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි පවසන අන්දමට සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පත් වූ තැන (බුද්ධගයාව) පිහිටියේ ශ්‍රී ලංකාවේ හරි මැද ය. ඒ හිමි එතැන හඳුන්වන්නේ ‘මධ්‍ය මණ්ඩලය’ යනුවෙනි. ගණන් බලා දක්වන අන්දමට මේ ‘මධ්‍ය මණ්ඩලය’ ඇත්තේ වර්තමානයේ ‘හිරිවඩුන්න’ යනුවෙන් හැඳින්වෙන ග්‍රාමයෙහි ය. ඒ හිමි පරස්පර බොරු ඇද බාන්නේ මේ ග්‍රාම නාමයට ...

වියරණ පැනයට පිළිතුර - 7: රඹුටන්

රඹුටන් යනු ඉතා රසවත් පලතුරෙකි. එ හෙත් එය ඉතා උෂ්ණාධික ආහාරයක් බැවින් ඇතැම් අසනීප ඇති අයට රඹුටන් කෑම හොඳ නැත. ලක් දිව රඹුටන් වගාවට චිර ප්‍රසිද්ධ ප්‍රදේශය මල්වානේ ය. එ හෙත් සිංහල භාෂාවට 'රඹුටන්' යන වදන ආවේ මල්වානෙන් නො ව මැලේසියාවෙනි. මැලේ බසින් 'රම්බූට්' (rambut) යනු 'හිස කෙස්' යන අරුත දෙයි. ඉන් නිපන් 'රම්බූටන්' (rambutan) යනු 'කෙස් ගුළිය' වැනි අරුතක් දෙන වදනෙකි. එ වැනි නාමයක් ඒ පලතුරට සුදුසු ඇයි දැ යි වෙසෙසා කිය යුතු නො වේ. 'රම්බූටන්' යන වදන සිංහලයට පැමිණීමේ දී 'ම්බූ' ශබ්ද සංයෝගය 'ඹු' යනුයෙන් සංකෝචනය වී තිබේ. මැලේ බසින් 'වූල් පොරෝනය' (woolen blanket) සඳහා යෙදෙන 'රම්බූටි' (rambuti) යන වදන ද 'රඹුටන්' හා නෛරුක්තික ඥාතිත්වයක් ඇත්තෙකි. අප මේ තතු උපුටාගත්තේ 1959 වසරේ දී ආර්. ජේ. විල්කින්සන් වියතුන් රැසැයූ 'මැලේ - ඉංගිරිසි සද කොසුවේ' 941, 942 පිටුවලිනි. පසු සටහන: චාමික රත්නායක සූරීහු මේ නිරුක්තිය ගැන මෙ බඳු අදහසක් දක්වති: "මැලේ මිතුරකු පැවැසූ අන්දමට rambutan යන්න සෑදී ඇත්තේ rambut + ...

වියරණ පැනයට පිළිතුර - 6: Thera, Theri සහ Thero

භික්ෂූන් වහන්සේ ගේ නම් ඉංගිරිසියෙන් ලිවීමේ දී නම අගට 'Thero' යන්නක් යෙදීම කලෙක සිට ම පන්නයක් වී තිබේ. නම මුලට 'Rev' හෝ 'Ven' හෝ යොදා නම අගට 'Thero' යොදති. මේ 'Thero' යනු කවරෙක් ද? සංස්කෘතයෙහි 'ස්ථවිර' යනුවෙන් ඇති පුරුෂ ලිංග ප්‍රකෘතිය පාලියට 'ථේර' යනුවෙන් ද හෙළයට 'තෙර' යනුවෙන් ද පරිණාමය වේ. 'ථේර' යන පාලි ප්‍රකෘතිය පඨමා විභත්ති ඒක වචනයෙහි වරනැඟුණු කල 'ථේරෝ' යනුවෙන් සිටී. ඒ පාලි වරනැඟිල්ලෙකි. ඉංගිරිසියෙහි එබන්දක් තිබිය නොහැකි ය. වාක්කෝශීය ඍණීකරණයේ දී එක් බසෙකින් තවත් බසකට ගන්නේ ප්‍රකෘති ය. වරනැඟුණු නාම හෝ ක්‍රියා හෝ කිසි කලෙක ඍණීකරණය නො කැරේ. ඒ නිසා පාලි 'ථේර' යන්න මිස 'ථේරෝ' යන්නක් ඉංගිරිසියට ගත නොහැකි ය. එසේ ගතහොත් එහි අනෙක් විභක්ති රූප ද ගන්නට සිදු වේ. මේ අනුව භික්ෂූන් වහන්සේ කෙනකු ගේ නමක් ලියන විට යෙදිය යුත්තේ 'Thera' (ථේර) යන්න යි; භික්ෂුණීන් වහන්සේ කෙනකු ගේ නමක් ලියන විට යෙදිය යුත්තේ 'Theri' (ථේරී) යන්න යි. පසු ගිය දාක භික්ෂුණීන් වහන්සේ නමක ගේ ද නම අග 'Thero'...

වියරණ පැනයට පිළිතුර - 5: 'බාච්චුව' ආවේ කවර බසින් ද?

සමකාලීන ව්‍යවහාර සිංහලයේ 'බාච්චුව' යන රූපයෙන් ව්‍යවහාර වන පද දෙකෙකි. ඒ දෙක භාෂා දෙකෙක එකිනෙකින් වෙනස් මූලයන් ගෙන් සිද්ධ ය. 'බාච්චුව' යන පදයෙහි එක් අරුතක් නම් 'කුඩා සැහැල්ලූ බෝට්ටුව' යන්න යි. ඒ අරුතින් 'බාජු' යන පදය ද දකුණු පළාතේ ව්‍යවහාර වේ. 'බාජු බෝට්ටු' යනු අද පවා ඇතැම් වැඩිහිටියන් ගෙන් අසන්නට ලැඛෙන්නෙකි. 'බාජු බෝට්ටු' යන්න හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ගේ 'මහා සිංහල ශබ්දකෝශයෙහි' දැක්වෙතත් ඔවුන් ඊට දෙන අරුත නිවැරැදි නො වේ. පුර්තුගීසි භාෂාවේ 'barco' (බාචො) යනු 'සැහැල්ලූ මුහුදු යාත්‍රාව' වැනි අරුතකි. බෝට්ටුවක් හැඳින්වීමට යෙදෙන 'බාච්චුව / බාජුව' යන වදන් සිංහලයට පැමිණියේ එයිනි. ඉංගිරිසි භාෂාවේ 'barge' (බාජ්) යනුවෙන් යෙදෙන වදනත් 'barco' (බාචො) යන පුර්තුගීසි වදනත් ඥාති පද ය. 'බාච්චුව' යන්නෙහි අනෙක් අරුත නම් 'ලිහිල් උඩු කය ඇඳුම' යන්න යි. එය ඇතැම් විට 'බාච්චි' යනුවෙන් ද ව්‍යවහාර වනු ඇසේ. හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ස්වකීය 'මහා සිංහල ශබ්දකෝශයේ' ඊට නම් නිවැරැදි ව අරුත් දී...

ජෙහාන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලාංකේය පහළ මධ්‍යම පංක්තිය

Image
පසු ගිය දා 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තය හමාර වීමත් සමඟ බොහෝ දෙනා ඒ ගැන නොයෙක් දේවල් ලියලා තිබුණා. ටෙලි වෘත්තාන්තය හමාර වෙන්න කලිනුත් ඒ ගැන නොයෙක් දෙනා නොයෙක් මට්ටමෙන් ලියලා තිබුණා. වැඩි දෙනා ලියලා තිබුණේ ජෙහාන් ගේ දේශපාලන කුමන්ත්‍රණය සහ සමකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනය තත්ත්වය අතර දකින්න ලැඛෙන සමාන්තර භාවය ගැන. ඒත් මම ලියන්න හදන්නේ මීට වෙනස් දෙයක් ගැන. මගේ විග්‍රහයට පක්ෂ එක නිදසුනක් විදියට තමයි ජෙහාන් ගේ මේ කියමන සහිත පින්තූරය උපුටා දක්වන්නේ. ඒක අදාළ වෙන්නේ කොහොම ද කියලා කියවගෙන යන කොට තේරුම් යාවි. මගේ විග්‍රහයට කලින් කිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෑත කාලයේ මම බලපු ටෙලි වෘත්තාන්ත අතරින් හොඳ ම කලාත්මක ගුණයක් තියෙන නිර්මාණය 'කූඹියෝ' බව. රංගනය, සංගීතය පමණක් නෙවෙයි කැමරා හැසිරැවීම පවා අතිශය කලාත්මක යි. රූප පෙට්ටියේ හැම දා ම දැකලා දැකලා එපා වෙච්ච පුයර මූණු පෙන්නන්නෙ නැතුව සැබෑ රංගන කෞශල්‍යයක් තිඛෙන නිතර දකින්න නො ලැඛෙන රංගන ශිල්පීන් පිරිසක් මෙහි යොදාගෙන තියෙනවා. ඔවුන් ගේ උපරිම කුසලතාව ප්‍රකට වෙන විදියට හසුරුවාගැනීම ගැන අධ්‍යක්ෂවරයා අගය කළ යුතු යි. තුමිඳු දොඩන්තැන්න, කලණ ගුණසේකර,...

වියරණ පැනයට පිළිතුර - 4: සංයුක්ත ස්වර (ද්වියුක්ත ස්වර) සහ සන්ධ්‍යක්ෂර (සන්ධි ස්වර) යනු එකක් ද? දෙකක් ද?

කවර භාෂාවෙක වුව ද ස්වර ශබ්ද අධ්‍යයනයේ දී මුලින් ම උච්චාරණ කාලය (duration) අනුව සියලූ ස්වර හ්‍රස්ව (short) සහ දීර්ඝ (long) යනුයෙන් වර්ග කැරේ. හ්‍රස්ව ගණයට ගැනෙන්නේ උච්චාරණය සඳහා නිමේෂයක් ගත වන ස්වර ය. එනම් 'අ, ඇ, ඉ, උ, ඍ, ඏ, එ, ඔ' යන ස්වර හ්‍රස්‍ව ය. දීර්ඝ ගණයට ගැනෙන්නේ උච්චාරණය සඳහා නිමේෂයකට වඩා ගත වන 'ආ, ඈ, ඊ, ඌ, ඎ, ඐ, ඒ, ඓ, ඕ, ඖ' යන ස්වර ය. අනතුරු ව කේවල ස්වර (monophthongs) සහ ද්වියුක්ත ස්වර (diphthongs) යනුවෙන් සියලූ ස්වර වර්ග කැරේ. ඒ වර්ගීකරණයට උච්චාරණ කාලයේ බලපෑමෙක් නැත. 'ඓ, ඖ' ස්වර දෙක හැර අන් සියලූ ස්වර කේවල ස්වර ය. 'ඓ' සහ 'ඖ' ස්වර දෙක පමණක් ද්වියුක්ත ස්වර දෙකකි. ඓ ස්වරය හඬවන විට එහි ලා සැබැවින් ම සිදු වන්නේ 'අඉ' යන ස්වර යුග්මය අනන්තර ව උච්චාරණය වීම යි. එසේ ම 'ඖ' යන ස්වරය හඬවන විට එහි ලා සැබැවින් ම සිදු වන්නේ 'අඋ' යන ස්වර යුග්මය අනන්තර ව උච්චාරණය වීම යි. මේ ස්වර ශබ්ද හැඬැවීමේ දී මෙලෙස ස්වර යුග්මයක් අනන්තර ව උච්චාරණය වන බව ප්‍රභාවලීලේඛ යන්ත්‍රයෙන් (spectrograph) පරීක්ෂා කිරීමෙන් සනාථ කොට ඇත. අනන්තර ව උච්චාරණය වන...

වියරණ පැනයට පිළිතුර 3: 'අම්බලම' යි 'හෝම්පළ' යි කෙසේ ඇති වී ද?

'අම්බලම' යන වදනට නිරුත් ඛෙණෙන අරීසෙන් අහුබුදුවෝ 'අන් පළ' මැ 'අම්බළම' වන බවක් පවසති. එ නම් අන්+පළ+ම > අම්පළම > අම්බළම යනු යි. ඒ නයින් 'අම්බලම' යන්නෙහි යෙදියැ යුත්තේ මූර්ධජ ළ යන්න යි. ඇපි නම් කිසි දාකැ එ වන් සේ පියෝවක් දැකැ නැත්තෙමු. 'හෝම්පළ' ගැනැ සඳහන ඔවුන් ඊට නිරුත් ඛෙණෙනුයේ ද හොවිනා පළ > හෝන්+පළ > හෝම්පළ වන බවෙකි. අරීසෙන් අහුබුදුවන් දක්වන ඒ නිරුක්ති ද්වයය මැ තාර්කික බව නම් සැබෑ යැ. එ හෙත් කවරකු ගේ නිරුක්තියක් වුව ද නො විමසා පිළිගැනීම මුළාවට මඟ සලසයි. එක් අතෙකින් එය ඔවුනට කරන ඉහළ මැ නිහරසරයෙකි. එ බැවින් ඇපි මඳක් මේ ගැනැ විමසා බැලියැ යුත්තෙමු. 'අම්බලම්' යන්න දෙමළයෙන් තත්සම වූවක් බව සඳගෝමි කෝපරහේවයන් ගේ 'සිංහල භාෂාවේ දෙමළ වචන අකාරාදියෙහි' දැක්වේ. දෙමළ බසෙහි 'අම්බලම්' යන්න 'මඟ අසල ඇති ගිමන් හල' යන අරුතින් යෙදේ. එ නම් වර්තමානයේ සිංහලයෙහි එ පදය යෙදෙන අරුතින් මැ යි. අහුබුදුවන් ගේ නිරුක්තියට වඩා මේ නිරුක්තිය අරුතින් ද රුවින් ද එක සේ ව්‍යවහාරයට සමීප යැ. 'හෝම්පළ' ගැනැ දු අප දන්නා නිරුක්තිය අනෙකෙකි....