වියරණ පැනයට පිළිතුර - 5: 'බාච්චුව' ආවේ කවර බසින් ද?

සමකාලීන ව්‍යවහාර සිංහලයේ 'බාච්චුව' යන රූපයෙන් ව්‍යවහාර වන පද දෙකෙකි. ඒ දෙක භාෂා දෙකෙක එකිනෙකින් වෙනස් මූලයන් ගෙන් සිද්ධ ය.

'බාච්චුව' යන පදයෙහි එක් අරුතක් නම් 'කුඩා සැහැල්ලූ බෝට්ටුව' යන්න යි. ඒ අරුතින් 'බාජු' යන පදය ද දකුණු පළාතේ ව්‍යවහාර වේ. 'බාජු බෝට්ටු' යනු අද පවා ඇතැම් වැඩිහිටියන් ගෙන් අසන්නට ලැඛෙන්නෙකි. 'බාජු බෝට්ටු' යන්න හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ගේ 'මහා සිංහල ශබ්දකෝශයෙහි' දැක්වෙතත් ඔවුන් ඊට දෙන අරුත නිවැරැදි නො වේ. පුර්තුගීසි භාෂාවේ 'barco' (බාචො) යනු 'සැහැල්ලූ මුහුදු යාත්‍රාව' වැනි අරුතකි. බෝට්ටුවක් හැඳින්වීමට යෙදෙන 'බාච්චුව / බාජුව' යන වදන් සිංහලයට පැමිණියේ එයිනි. ඉංගිරිසි භාෂාවේ 'barge' (බාජ්) යනුවෙන් යෙදෙන වදනත් 'barco' (බාචො) යන පුර්තුගීසි වදනත් ඥාති පද ය.

'බාච්චුව' යන්නෙහි අනෙක් අරුත නම් 'ලිහිල් උඩු කය ඇඳුම' යන්න යි. එය ඇතැම් විට 'බාච්චි' යනුවෙන් ද ව්‍යවහාර වනු ඇසේ. හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ස්වකීය 'මහා සිංහල ශබ්දකෝශයේ' ඊට නම් නිවැරැදි ව අරුත් දී තිබේ. ලන්දේසි භාෂාවේ 'baadje' (බාජ්ජෙ) යනු 'පිරිමින් ගේ උඩු කය ඇඳුම' යන අරුත දෙන වදනෙකි. ඇඳුමක් හැඳින්වීමට යෙදෙන 'බාච්චුව / බාච්චිය' යන වදන් සිංහලයට පැමිණියේ එයිනි. එහි ලා යම් අර්ථ අවනතියක් (semantic degeneration) සිදු ව තිඛෙනු පෙනේ. මුහුදු යාත්‍රාවක් වන 'බාච්චුව'ත් උඩු කය ඇඳුමක් වන මේ 'බාච්චුව'ත් අතර කිසි දු නෛරුක්තික සම්බන්ධයෙක් නැති.

නිවැරැදි අරුත් නිරුත් සහිත ව මේ වදන් ශබ්දකෝශවලට වැද්දගත යුතු ය.

Comments

Popular posts from this blog

පුරාණ සුවර්ණ භාෂිත

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?