Thursday, March 8, 2018
වියරණ පැනයට පිළිතුර - 4: සංයුක්ත ස්වර (ද්වියුක්ත ස්වර) සහ සන්ධ්‍යක්ෂර (සන්ධි ස්වර) යනු එකක් ද? දෙකක් ද?
කවර භාෂාවෙක වුව ද ස්වර ශබ්ද අධ්‍යයනයේ දී මුලින් ම උච්චාරණ කාලය (duration) අනුව සියලූ ස්වර හ්‍රස්ව (short) සහ දීර්ඝ (long) යනුයෙන් වර්ග කැරේ. හ්‍රස්ව ගණයට ගැනෙන්නේ උච්චාරණය සඳහා නිමේෂයක් ගත වන ස්වර ය. එනම් 'අ, ඇ, ඉ, උ, ඍ, ඏ, එ, ඔ' යන ස්වර හ්‍රස්‍ව ය. දීර්ඝ ගණයට ගැනෙන්නේ උච්චාරණය සඳහා නිමේෂයකට වඩා ගත වන 'ආ, ඈ, ඊ, ඌ, ඎ, ඐ, ඒ, ඓ, ඕ, ඖ' යන ස්වර ය.
අනතුරු ව කේවල ස්වර (monophthongs) සහ ද්වියුක්ත ස්වර (diphthongs) යනුවෙන් සියලූ ස්වර වර්ග කැරේ. ඒ වර්ගීකරණයට උච්චාරණ කාලයේ බලපෑමෙක් නැත. 'ඓ, ඖ' ස්වර දෙක හැර අන් සියලූ ස්වර කේවල ස්වර ය. 'ඓ' සහ 'ඖ' ස්වර දෙක පමණක් ද්වියුක්ත ස්වර දෙකකි. ඓ ස්වරය හඬවන විට එහි ලා සැබැවින් ම සිදු වන්නේ 'අඉ' යන ස්වර යුග්මය අනන්තර ව උච්චාරණය වීම යි. එසේ ම 'ඖ' යන ස්වරය හඬවන විට එහි ලා සැබැවින් ම සිදු වන්නේ 'අඋ' යන ස්වර යුග්මය අනන්තර ව උච්චාරණය වීම යි.
මේ ස්වර ශබ්ද හැඬැවීමේ දී මෙලෙස ස්වර යුග්මයක් අනන්තර ව උච්චාරණය වන බව ප්‍රභාවලීලේඛ යන්ත්‍රයෙන් (spectrograph) පරීක්ෂා කිරීමෙන් සනාථ කොට ඇත. අනන්තර ව උච්චාරණය වන ස්වර යුග්මය ම එක අක්ෂරයකින් නියෝජනය වන බැවින් ඒවා ද්වියුක්ත ස්වර නමි. එක විට ස්වර ද්වයයක් ම උච්චාරණය වන බැවින් උච්චාරණ කාලය අනුව ද්වියුක්ත ස්වර නියත දීර්ඝ (essentially long) ය.
රජයේ පාසල් පොත්වල 'ද්වියුක්ත ස්වර' (diphthongs) හඳුන්වා ඇත්තේ 'සංයුක්ත ස්වර' (conjunct vowels) යනුවෙනි. ඇත්තෙන් ම ද්වියුක්ත ස්වර යනු සංයුක්ත ස්වරවල එක් ප්‍රභේදයක් පමණි. තව ද .ත්‍රියුක්ත ස්වර. (triphthongs) ආදිය ස්වාභාවික භාෂණයේ තිබේ.
සන්ධි ස්වර (vocalic alternations) යනු ද්වියුක්ත ස්වර/ සංයුක්ත ස්වර සමඟ බොහෝ දෙනා පටලාගන්නා සංකල්පයෙකි. සන්ධි ස්වර යනු උච්චාරණ ලක්ෂණ අනුව කැරෙන වර්ගීකරණයක් නො වේ. ඒ වූකලි භාෂා ව්‍යවහාරයේ පවත්නා දෙයෙකි. සිසුනට ස්වරාදේශ සන්ධි සහ ගුණවෘද්ධි සන්ධි ඉගැනීමට සන්ධි ස්වර පිළිබඳ දැනුම උපකාරවත් වේ.
සන්ධි ස්වර යනු 'ඇ, එ, ඒ, ඓ, ඔ, ඕ, ඖ' යන ස්වර යි. යම් සන්ධි කාර්‍යයක දී සම්මුඛ වබ අසමාන ස්වර යුගලයක් වෙනුවට ආදේශ වන වෙනත් ස්වරයක් වේ නම් ඒ සන්ධි ස්වරයෙකි. මෙහි දී ඇත්තෙන් ම සිදු වන්නේ අසමාන ස්වර යුගලය වෙනත් ස්වරයක් හා විකල්පනය වීම යි. එසේ විකල්පනය වන ස්වරය කේවල ස්වරයක් හෝ ද්වියුක්ත ස්වරයක් හෝ විය හැකි ය.
පහත නිදසුන් විමැසීමෙන් සන්ධි ස්වර විකල්පනය වන ආකාරය පැහැදිලි වේ:
1. එ+අ > ඈ
දෙ+අත > දෑත, දෙ+අවුරුදු > දෑවුරුදු
2. එ+ඇ > ඈ
දෙ+ඇස > දෑස, දෙ+ඇළ > දෑළ
3. අ+ඉ > එ
මහ+ඉසුරු > මෙහෙසුරු, මහ+ඉසි > මෙහෙසි
4. අ/ආ+ඉ/ඊ ඝ ඒ
මහා+ඊශ්වර > මහේශ්වර, නර+ඉන්ද්‍ර > නරේන්ද්‍ර
5. අ/ආ+ඒ > ඓ
ගුණ+ඒකදේශ > ගුණෛකදේශ
6. අ+උ > ඔ
මහ+උර > මොහොර, ලඹ+උර > ලඹොර > ලඹෝර
7. අ/ආ+උ/ඌ > ඕ
සම+උෂ්ණ > සමෝෂ්ණ, මහා+උදර > මහෝදර
8. අ/ආ+ඕ > ඖ
දන්ත+ඕෂ්ඨජ > දන්තෞෂ්ඨජ, මහා+ඕඝ > මහෞඝ
'සන්ධි ස්වර' පිළිබඳ මේ විග්‍රහය සංස්කෘත ව්‍යාකරණයේ දැක්වෙන්නේ 'සන්ධ්‍යක්ෂර' යනුවෙනි. සංස්කෘතයේ ඇ'කාරයත් හ්‍රස්ව එ'කාර - ඔ'කාර යුගලයත් නැති බැවින් සංස්කෘත ව්‍යාකරණය අනුව සන්ධ්‍යක්ෂර (සන්ධි ස්වර) වනුයේ 'ඒ, ඓ, ඕ, ඖ' යන චතුෂ්කය පමණි. 'සන්ධ්‍යක්ෂර' යි කී විට ප්‍රස්‍තුත අක්ෂර කිහිපය ස්වර ද ව්‍යඤ්ජන ද යන බවක් ඒ නමින් හෙළි නොවන බැවින් 'සන්ධ්‍යක්ෂර' යන්නට වඩා .සන්ධි ස්වර. යන පාරිභාෂිකය හැමතින් ම සුදුසු ය.
ද්වියුක්ත ස්වර (සංයුක්ත ස්වර) යනුත් සන්ධි ස්වර (සන්ධ්‍යක්ෂර) යනුත් වෙන් වෙන් ව වටහාගත යුතු එකිනෙකින් ඉඳුරා ම වෙනස් සංකල්ප දෙකක් බව මේ විග්‍රහයෙන් පැහැදිලි වනු ඇති.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment