පසු ගිය දා 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තය හමාර වීමත් සමඟ බොහෝ දෙනා ඒ ගැන නොයෙක් දේවල් ලියලා තිබුණා. ටෙලි වෘත්තාන්තය හමාර වෙන්න කලිනුත් ඒ ගැන නොයෙක් දෙනා නොයෙක් මට්ටමෙන් ලියලා තිබුණා. වැඩි දෙනා ලියලා තිබුණේ ජෙහාන් ගේ දේශපාලන කුමන්ත්‍රණය සහ සමකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනය තත්ත්වය අතර දකින්න ලැඛෙන සමාන්තර භාවය ගැන. ඒත් මම ලියන්න හදන්නේ මීට වෙනස් දෙයක් ගැන. මගේ විග්‍රහයට පක්ෂ එක නිදසුනක් විදියට තමයි ජෙහාන් ගේ මේ කියමන සහිත පින්තූරය උපුටා දක්වන්නේ. ඒක අදාළ වෙන්නේ කොහොම ද කියලා කියවගෙන යන කොට තේරුම් යාවි.
මගේ විග්‍රහයට කලින් කිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෑත කාලයේ මම බලපු ටෙලි වෘත්තාන්ත අතරින් හොඳ ම කලාත්මක ගුණයක් තියෙන නිර්මාණය 'කූඹියෝ' බව. රංගනය, සංගීතය පමණක් නෙවෙයි කැමරා හැසිරැවීම පවා අතිශය කලාත්මක යි. රූප පෙට්ටියේ හැම දා ම දැකලා දැකලා එපා වෙච්ච පුයර මූණු පෙන්නන්නෙ නැතුව සැබෑ රංගන කෞශල්‍යයක් තිඛෙන නිතර දකින්න නො ලැඛෙන රංගන ශිල්පීන් පිරිසක් මෙහි යොදාගෙන තියෙනවා. ඔවුන් ගේ උපරිම කුසලතාව ප්‍රකට වෙන විදියට හසුරුවාගැනීම ගැන අධ්‍යක්ෂවරයා අගය කළ යුතු යි. තුමිඳු දොඩන්තැන්න, කලණ ගුණසේකර, ටයිටස් ඇන්තනී, පීටර් ද අල්මේදා, පරාක්‍රම, ලක්ෂ්මන් මෙන්ඩිස්, ඩබ්ල්‍යු. ජයසිරි, යුරෙනි නොශිකා, ජගත් මනුවර්ණ කියන්නේ විශිෂ්ට රංගන පෞරුෂ බවට වාදයක් නැහැ. මේ රංගන ශිල්පීන් ඔවුනට හරියට ම ගැළැපෙන චරිතවලට යොදාගැනීම මත තමයි ටෙලි වෘත්තාන්තයේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. විශේෂයෙන් ම තුමිඳු, කලණ, පීටර් කියන තෝරාගැනීම් අධ්‍යක්ෂවරයා හරියට ම කරලා තියෙනවා. හැබැයි කලණ අර අමුතු විදියට උඩ බලාගෙන ඕනවට එපාවට ඇවිදින විදියේ නම් අධිරංගන (overacting) ස්වභාවයක් මට දැනෙනවා. ඒත් ඒකෙන් ලොකු හානියක් නැහැ.
සමස්තයක් වශයෙන් ගත්තා ම .කූඹියෝ. මෑත ඉතිහාසයේ මම බලපු විශිෂ්ට ටෙලි වෘත්තාන්තයක් කියලා හඳුන්වන්න පුළුවන්. වෘත්තාන්තයේ අග හරියේ වින්‍යාස විපර්‍යය (plot twist) සහ වස්තු විකාසන ශීඝ්‍රතාව (fastness of events) නො වෙන්නට 'කූඹියෝ' මං බලපු අතිවිශිෂ්ටතම ටෙලි වෘත්තාන්තය කියලා හඳුන්වන්න තිබුණා. ටිරාන් රට ඉඳලා ඇවිල්ලා ජෙහාන්ව මරන්න හිතාගෙන කනත්තකට ඇදගෙන යන තැන පටන් සිදු වෙන වින්‍යාස විපර්‍යය නිසා ප්‍රේක්ෂකයා මවිතයට පත් වෙනවා. ඔය වින්‍යාස විපර්‍යයෙන් ඇති වන මවිතය නිසා ප්‍රේක්ෂකත්වය වෘත්තාන්තය කෙරෙහි තැබූ විශ්වසනීයතාවට යම් හානියක් වුණ බව යි මගේ පෞද්ගලික කල්පනාව. එතැන ඉඳලා අතීත සංසිද්ධි පිළිබඳ ව ජෙහාන් ඉදිරි පත් කරන අර්ථ නිරූපණ වටහාගන්නත් ඒවා ඒ විදියට ම පිළිගන්නත් අමාරු යි.
අතීත සංසිද්ධි පිළිබඳ ජෙහාන් ගේ අර්ථ නිරූපණ සාධාරණීකරණය කිරීමේ උපක්‍රමයක් වසයෙන් ඇතැම් අතීත දර්ශන නැවැත පෙන්වීමත් දුර්වල උපක්‍රමයක්. එහෙම කිරීමෙන් වස්තු වින්‍යාසයේ හේතුඵල සම්බන්ධය රැකගැනීමට අධ්‍යක්ෂවරයා දරන උත්සාහය ප්‍රේක්ෂකයා හමුවේ නිරුවත් වෙනවා. අනික් අතට විනාඩි විස්සේ කොටස් දෙකක් බැගින් ටෙලි වෘත්තාන්තය සති පතා විකාශය වෙන නිසා අතීත සංසිද්ධි පිළිබඳ ජෙහාන් ඉදිරි පත් කරන සංකීර්ණ අර්ථ නිරූපණ ග්‍රහණය කරගැනීම ප්‍රේක්ෂකයාට අසීරු වෙනවා. ඒ නිසා ජෙහාන් ගේ අර්ථ නිරූපණවල හේතු ඵල සම්බන්ධය හරි හැටි ඒත්තු ගන්න නම් යූටියුබයට ගිහිල්ලා වින්‍යාස විපර්‍යය සිද්ධ වෙච්ච තැන ඉඳලා අවසානය දක්වා ම එක දිගට බලන්න සිද්ධ වෙනවා. මේක විකාශ කාල සීමනය නිසා ඇති වුණ ගැටලූවක්. විනාඩි හතළිහකට සකස් කරලා තිබුණ කොටසක විකාශ කාලය විනාඩි විස්ස දක්වා සීමා කරවපු ITN ආයතනය ඒ ගැටලූවට වග කියන්න ඕනෑ.
දැන් මම මගේ මාතෘකාවට බහින්නම්. බොහෝ දෙනා 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තයට ආකර්ෂණය වුණේ ජෙහාන් ගේ කූටෝපාය දැකලා. ඒ කියන්නේ 'ආතල් එක' පිණිස සහ 'සම්තිං එක' පිණිස ජෙහාන් ගහන 'ගේම්' දැකලා තමයි බොහෝ දෙනෙක් මේ ටෙලි වෘත්තාන්තයට කැමැති වෙන්නේ. ජෙහාන්ට මුලින් ම හිරුණිව හම්බ වුණ දවසෙ විදේශිකයෙක් වගේ කරන රංගනය හුදෙක් ම ආතල් එක පිණිස ගහපු ගේමක්. හැබැයි මාකට් එකෙන් එළවළු අරං සුපර් මාකට් එකෙන් ගෙනාපු විදියට විකුණපු එක සම්තිං එක පිණිස ගහපු ගේමක්. මේ දෙ ආකාරයේ ම ගේම් නිසා ප්‍රේක්ෂකයා ගේ කුතූහලය ඇවිස්සෙනවා. ඊ ළඟට කාට ගේමක් දෙයි ද කියන එක තමයි ප්‍රේක්ෂකයා බලං ඉන්නෙ. ජෙහාන් ගහන ඔය ගේම් ඔක්කොම ප්‍රේක්ෂකයා විඳිනවා.
ඔය අතරේ මා ඇතුළු පිරිසක් 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තයට ආකර්ෂණය වුණේ ජෙහාන් ප්‍රකට කරන ලෝක දෘෂ්ටිය ගැන ඇති වුණ ප්‍රසාදය හින්දා. ශ්‍රී ලාංකේය පහළ මධ්‍යම පංක්තියේ සාටෝප ජීවිතවල ව්‍යාජ පුරුෂාර්ථ ගැන ජෙහාන්ට හොඳ අවබෝධයක් වගේ ම විවේචනයක් තියෙනවා. ටෙලි වෘත්තාන්තයේ මුල් හරියේ ජෙහාන් තනිකර ම ජීවිකාව හොයාගන්නේ පහළ මධ්‍යම පංක්තියේ ව්‍යාජ පුරුෂාර්ථවලට පින් සිද්ධ වෙන්න. ජෙහාන් ගේ එළවළු වෙළෙඳාම ඔහු ඉලක්ක කරන්නේ පහළ මධ්‍යම පංක්තියේ ඉහළ ස්තරයට සහ ඉහළ මධ්‍යම පංක්තියට. ඒ කියන්නේ මාකට් එකට ගිහිල්ලා හොඳ එළවළු ටිකක් තෝරගන්න එක තමන් ගේ සමාජ තත්ත්වයට හොඳ මදි කියලා හිතන ස්තරය තමයි ඔහු එතැන දී ගොනාට අන්දන්නේ. ඊළඟට ඔහු පළ කරපු සඟරාව ඉලක්ක කරන්නේ පහළ මධ්‍යම පංක්තියේ පහළ ස්තරයට. එතැන දී ඔහු ගොනාට අන්දන්නේ ඉහළ සමාජ ස්තරයට නැඟලා 'ජීවිතේ ජය ගන්න' කෙටි පාරවල් හොයන ස්තරය.
ශ්‍රී ලංකාවේ පහළ මධ්‍යම පංක්තියේ ඉහළ ස්තරයත් පහළ ස්තරයත් දෙක ම ගැන ජෙහාන්ට තියෙන අවබෝධය නිසා තමයි 'සුසන්ත සාගර චන්ද්‍රසිරි' කියන නම වෙනුවට 'ජෙහාන් ෆනෑන්ඩො' කියන පොශ් නම ඔහු භාවිතයට ගන්නේ. මේක ඇත්තට ම තමන් ගේ නම පොශ් නැති නිසා පොශ් වීම නැමැති ව්‍යාජ පුරුෂාර්ථයට වහල් වෙලා කරපු වැඩක් නෙවෙයි. ඔහු නම මාරු කරන්නේ ම පොශ් කමට සලකන පහළ මධ්‍යම පංක්තිය ගොනාට ඇන්දීම පහසු කරගැනීම සඳහා. 'ජෙහාන් ෆනෑන්ඩො' කියන නමට පහළ මධ්‍යම පංක්තියේ පහළ ස්තරය සහ නිර්ධන පංක්තිය සලකන්නේ තමන්ට වඩා ඉහළ සමාජයේ සාමාජිකයෙක් ය කියලා හිතලා; පහළ මධ්‍යම පංක්තියේ ඉහළ ස්තරය සහ ධනපති පංක්තිය සලකන්නේ තමන් ගේ සමාජයේ සාමාජිකයෙක් ය කියලා හිතලා. ඒ වුණාට ඇත්තට ම ජෙහාන් කියන්නේ තමන්ට කියලා ඉන්න හිටින්න තැනක් වත් නැති අනාථයෙක්. ඒත් පොළොවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.
ජෙහාන් අයත් වන පහළ මධ්‍යම පංක්තියේ පොදු ජීවන පරමාර්ථ තමයි වැදගත් රස්සාවක් හොයාගැනීම, ලෝන් ගහලා හරි ලොකු ගෙයක් හදාගැනීම, ලීස් කරලා හරි වාහනයක් ගැනීම, ණය වෙලා හරි ලොකුවට මඟුල් කාලා ලස්සණ කෙල්ලෙක් බැඳගැනීම ආදිය. කොටින් ම ඔවුනට අවශ්‍ය කොහොම හරි තමන්ට වඩා ඉහළ සමාජ පංක්තියට රිංගාගන්න. ඕකට කියන්නේ ස්තර අතික්‍රමණ මානසිකත්වය කියලා. ඔය මානසිකත්වය හේතුවෙන් තමන් ගේ ජීවන පරමාර්ථ ඉටු කරගන්න සල්ලි හොයන්න බොහෝ දෙනා මුළු ජීවිත කාලය ම කඹුරනවා. ඔය මානසිකත්වයෙන් මඩනා ලද සමාජ ස්තරය ගැන ජෙහාන් ප්‍රියන්තට කියා දෙන ආකාරය තමයි මේ පින්තූරෙ සඳහන් වෙන්නෙ. ඔය විදියට පහළ මධ්‍යම පංක්තිකයන් හඹා යන ජීවන පරමාර්ථ වෙනුවෙන් කොච්චර හම්බ කළත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කොහොම හරි කරලා තමන් හිටියාට වඩා ඉහළ ස්තරයකට යන්තමින් හරි පය ගහපු දා ඉඳලා ඒ ස්තරයේ සමාජ තත්ත්වය නඩත්තු කරන්න සිද්ධ වෙනවා. එතෙක් කල් සයිවර් කඩේකට ගොඩ වෙලා වඩයක් කාලා ප්ලේන්ටියක් බීපු කෙනාට ඊට පස්සෙ සයිවර් කඩේ තමන් ගේ තත්තවෙට හොඳ මදි වෙනවා. ඒ වෙනුවට ඔහු මැක්ඩොනල්ඩ්ස්, ෆැබ්, ඩොමිනෝස් බැරි නම් අඩු ම තරමේ පෙරේරා ඇන් සන්ස් එකට හරි යනවා.
ජෙහාන් අයත් වෙන්නේ පහළ මධ්‍යම පංක්තියට වුණාට ඔහු ඔය පොදු ජීවන පරමාර්ථ කිසිවක් තකන කෙනෙක් නෙවෙයි. ඔහු ජීවිතයේ මුල් තැන දෙන්නේ 'ආතල්. එකට'. ඔහු තමන් ගේ ශක්ති ප්‍රමාණයෙන් ජීවිතය උපරිමයෙන් විඳිනවා. ඔහු උපයන්නේ තමන් ගේ යැපීම සඳහා විතර යි. ස්තර අතික්‍රමණ පරමාර්ථයෙන් ඔහු කිසි දාක උපයන්නේ නැහැ. ඒ නිසා ඔහු හැම විට ම කරන්නේ තමන්ට .ආතල් එකක්. විඳින්න පුළුවන් දෙයක් විතර යි. 'ඒක වෙන ම ආතල් එකක් බං' කියලා ජෙහාන් නිතර කියන්නේ ඔය හින්දයි. මේ හේතුවෙන් ජෙහාන් ප්‍රධාන ධාරාවේ මධ්‍යම පංක්තිකයා ගෙන් බාහිරස්ථයෙක් (outlier) වෙනවා. ඒ කියන්නේ ඔහු ඉන්නේ රැල්ලෙන් පිටත. ඔහු පිටත ඉඳං ප්‍රධාන ධාරාවේ මධ්‍යම පංක්තිකයන් ගේ සාටෝප ජීවිතවල ව්‍යාජ පුරුෂාර්ථවලට සමච්චල් කරනවා. ඒ ව්‍යාජ පුරුෂාර්ථවලට පින් සිද්ධ වෙන්න ජීවිකාව හොයාගන්න ගමන් ආතල් එකකුත් ගන්නවා. දියුණු වීමේ අධිෂ්ඨානයෙන් ගමේ ඉඳලා නගරයට ඇවිත් රස්සාවක් කරලා කීයක් හරි හරි හම්බ කරගෙන මාමා ගේ දුවව ආවාහ කරගන්න හීන මවන සාමාන්‍ය පහළ මධ්‍යම පංක්තිකයකු වන ප්‍රියන්ත ගේ චරිතයත් එක්ක ජෙහාන් ගේ චරිතය අපූරුවට ප්‍රතිසංසන්දනය (contrast) වෙනවා.
මට 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තය බලන කොට නිරායාසයෙන් ම මතක් වුණේ සෝමවීර සේනානායක අසූව දශකයේ දී නිර්මාණය කළ 'යශෝරාවය' ටෙලි වෘත්තාන්තය. ස්තර අතික්‍රමණ මානසිකත්වයෙන් යුක්ත ව පහළ මධ්‍යම පංක්තියේ ව්‍යාජ පුරුෂාර්ථ හඹා යෑමෙන් විනාශ වෙන වීරසේකර පවුලේ දරුවන් ගේ පුවත තමයි 'යශෝරාවය' ටෙලි වෘත්තාන්තයෙන් කියැවෙන්නේ. වීරසේකර පවුලේ වැඩිමලා වන බලදේව සහ බාලයා වන සූරතිස්ස විතර යි ඔය ව්‍යාජ පුරුෂාර්ථ ගැන අවබෝධයක් ඇති ව ප්‍රධාන ප්‍රවාහයෙන් ඈත් ව ජීවත් වෙන්නේ. බලදේව කියන්නේ ඒ ප්‍රවාහයෙන් බාහිර ව ඉඳගෙන ඉතා මධ්‍යස්ථ ව ඒ දේවල් දිහා බලලා කම්පා වෙන චරිතයක්. ඔහුව ආදර්ශයට ගත්ත සූරතිස්සට මධ්‍යම පංක්තික ප්‍රධාන ප්‍රවාහය පිළිබඳ කොතරම් කම්පාවක් ඇති වෙනවද කිව්වොත් ඔහු අන්තිමේ කිසිවක් දරාගන්න බැරුව ඔළුව හැරුණු අතක යනවා. අන්තිමේ ටෙලි නාට්‍යය ඉවර වෙන්නේ 'ප්‍රවාහයට අන්තර්ගත වුණත් විනාශ වෙනවා; ප්‍රවාහයෙන් බහිර්ගත වුණත් විනාශ වෙනවා' කියන උභතෝකෝටිකය ප්‍රේක්ෂකයා හමුවේ තබමින්. 'යශෝරාවය' ටෙලි වෘත්තාන්තයේ සූරතිස්සත් 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තයේ ජෙහාන් වගේ ම රැකියා විරහිත උපාධිධරයෙක්. සූරතිස්ස එදා තමන් ගේ සමාජාවබෝධය නිසා කම්පාවට පත් වෙන්නේ නැතුව ජෙහාන් වගේ ඒ සමාජාවබෝධය උපයෝගීතාවාදයට පෙරළගත්තා නම් ඔහුටත් සමාජයේ පවතින්න තිබුණා. එහෙම කල්පනා කළා ම එක අතකට 'යශෝරාවය' විසින් ප්‍රේෂ්කයා හමුවේ තැබෙන උභතෝකෝටිකයට 'කූඹියෝ' විසින් පිළිතුරු සැපැයෙනවා.
No comments:
Post a Comment