Friday, June 9, 2017

රිච්මන්ඩ් විදුහලේ කොකාවල ලකුණ


රත්න කුමාර කොකාවල සූරීහු
2017 ජුනි 02 වැනි දා දඩල්ලේ සුසාන භුමියේ දී සදහට ම නික්ම ගිය රත්න කුමාර කොකාවල ගුරුතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආචාර්‍ය රත්නයෙකි. එතුමාට වඩා විශාරද ගුරුවරුන් මට හමු වී නැතැ යි කියතොත් ඒ අතිශයෝක්තියෙකි. එහෙත් එතුමා තරම් අහිංසක වෙනත් ගුරුවරයකු මට හමු වී නැති බව මා ගේ නොවක් හැඟුම යි. එතුමාට තුබුණේ අහිංසක නමුත් ඍජු පෞරුෂයෙකි. එක්තරා අසාධාරණ අවස්ථාවෙක දී රිච්මන්ඩ් විදුහල්පති කෙනකුට කනේ ඇඟිලි ගහගන්නට කොකාවල ගුරුතුමා දෙසූ බව වැඩි දෙනෙක් නො දනිති. එතුමා ගේ අනන්‍යතාව වූයේ මේ අහිංසක ඍජුත්වය යි. මේ සැකෙවි සටහන පොදුවේ රිච්මන්ඩ් විද්‍යාලයයේ ද පෞද්ගලික ව මසිතේ ද නො මැකෙන ලෙස රැඳුණු කොකාවල ලකුණ පිළිබඳ ව යි.

බොහෝ දෙනා කොකාවල ගුරුතුමා හැඳින්නේ දක්ෂ සිංහල ගුරුවරයකු, දක්ෂ කථිකයකු, දක්ෂ කවියකු වශයෙනි. ඒ හැඳිනීම අතිශය නිවැරැදි ය. එතුමාට සිදතත්, හංසයත්, සැලළිහිණියත් කටපාඩමින් කීමේ හැකියාව තිබිණි. ඊට අමතර ව සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ නොයෙක් රසවත් තැන් එතුමා මතකයෙන් කීවේ ය. එසේ ම සභාවෙක අවධානය තමා වෙත නතු කැරගෙන පැයක් දෙකක් වුව ද ප්‍රිය මනාප ලෙස කථා කිරීමේ හැකියාව ද එතුමාට තිබිණි. ඒ කථා බොහෝ විට සිංහල සාහිත්‍යයෙන් උපුටාගත් ගැදි පැදි රෙසෙන් විසිතුරු විය. ඉඳ හිට හෝ දාර්ශනිකයකු ගේ ප්‍රකාශයක් එතුමා උපුටා පෑයේ නම් ඒ රුසියානු දේශපාලන දාර්ශනිකයකු ගෙන් පමණි. කොකාවල ගුරුතුමා කෙරෙහි ඕනෑ ම සභාවක් ඉතා ඉක්මනින් නතු වන්නේ එතුමා ගේ හිටිවන කවි කීමේ හැකියාව නිසා ය. කොකාවල ගුරුතුමා වරක් යම් සභාවකට තමා හඳුන්වාදුන්නේ ද හිටි වන කියූ කවියෙකිනි. එහි අග පදය වූයේ "මම වෙමි දරුවෙනි, රත්න කොකාවල" යන්න බව මට හොඳින් මතක තිබේ.

කොකාවල ගුරුතුමා රිච්මන්ඩ් විද්‍යාලයයේ සේවය කළ විසි දෙ වසරක කාලය පුරා විදුහලේ ආරම්භ කැරුණු සියලු ම වාර්ෂික උත්සවවලට නම් ලැබුණේ එතුමා ගෙනි. සිංහල සංගමයේ 'බසැ හෙළ මන සඳ', කලා සංගමයේ 'සහෘද ප්‍රසාදි', මාධ්‍ය ඒකකයේ 'සංක්‍රාන්ති', විද්‍යා සංගමයේ 'විදුරුත් නින්නද', වාණිජ සංගමයේ 'වණි රශ්මි', රිය නියාමක ඒකකයේ 'රියසුරු අසිරි' ඇතුළු වාර්ෂික උත්සව රාශියක් ඒ අතර වේ. මේ ඇතැමෙක නම් හුදු හෙළ ය. ඇතැමෙක නම් මිශ්‍ර සිංහල ය. උසස් පෙළ සඳහා නූතන භාෂා හදාළ ශිෂ්‍යයන් ආරම්භ කළ නූතන භාෂා දිනයට 'ඉංගිරිසි නමක්' දුන්නේ ද කොකාවල ගුරුතුමා ය. දැන් ඒ නම මට මතක නැත. වැඩි දෙනා නො දන්නා නමුදු හොඳ ඉංගිරිසි දැනුමක් ද එතුමා සතු ව තිබිණි. ගුරු කිළියට වී විවේකයෙන් සිටි අවස්ථාවල එතුමා කියැවූයේ ඉංගිරිසි පත්තරය යි. එහෙත් එතුමා කිසි විටෙක ඉංගිරිසි කර තියාගත් හීනමානිකයෙක් නො වී ය. සිය බස ම උසස් කොට තැකී ය.

එවක විදුහලේ විවෘත කැරුණු හැම ගොඩනැඟිල්ලෙක ම පාහේ සමරු ඵලක ලියූවේ ද කොකාවල ගුරුතුමා ය. ඒ නිසා කොකාවල ගුරුතුමා ගේ අභාවයෙන් දශක ගණනක් ඉක්ම ගිය පසු ද එතුමා ගේ බස රිච්මන්ඩ් විද්‍යාලයයේ පවතිනු ඇත. නම් තැබීමේ දී මෙන් ම සමරු ඵලක ලිවීමේ දී ද එතුමා හුදු හෙළුවත් මිශ්‍ර සිංහලයත් ඖචිත්‍යය සලකා ව්‍යවහාර කෙළේ ය. රිච්මන්ඩ් විද්‍යාලයයේ ප්‍රධාන ප්‍රවේශ ද්වාරය පසු කොට මඳ දුරක් එන විට මඟ දෙකට බෙදෙන තැන ඇති කුලුනේ "පුතැ, හිමිදිරියේ මැ ම'වෙතැ එන ඔබ රුවනක් මැ යි" ආදි වශයෙන් ඇති පාඨය ලියූවේ ද එතුමා ය. එය ලියා ඇත්තේ හුදු හෙළුවට බර ව ය. එය ලියූ අවස්ථාවේ කොකාවල ගුරුතුමා සිය මුල්කෙටුම් පත මට ද ගෙනැවිත් පෙන්වූ බවක් මතක ය. එවක හුදු හෙළුවට ළ දී සිටි මම ඉතා ආසාවෙන් එය කියැවීමි.

2017 ජුනි 02 වැනි දා ලක්බිම පුවත්පතින්
සිසු දරුවන් පිළිබඳ කොකාවල දර්ශනය දනු රිසියකු පරිශීලනය කළ යුතු හොඳ ම මූලාශ්‍රය වන්නේ ද ඒ කුලුනට එතුමා ලියූ පාඨය යි. ඉතා කෙටියෙන් වුව ද සිසු දරුවන් පිළිබඳ ව තමා සිතූ ආකාරය කොකාවල ගුරුතුමා එහි ලියා තිබේ. එතුමාට සියලු ම සිසුහු පුත්‍ර රත්නයෝ ම වූ හ. එබැවින් හැම සිසුවකුට ම කතා කෙළේ 'පුතේ, පුතුනි, පුතුනේ' කියා ය. ඒ ආදරය හමුයේ දඩබ්බරයෝ මෙල්ල වූ හ. කීකරුවෝ තව ද හිතෛෂී වූ හ. ඒ නිසා කිසි දාක සිසුවකුට පහරක් ගැසීමේ අවශ්‍යතාවක් එතුමාට ඇති වූයේ නැත. සිසුවකුට බැණ අඬගාන්නේ නැති ව බැරි ම වූ අවස්ථාවෙක දී වත් එතුමා ගේ මුවින් රළු බසක් පිට වූයේ නැත. තරවටු කෙළේ ද 'පුතේ' කියමිනි. එතුමා නිතොර කී බසක් වූයේ 'අපි මේ හැම දෙයක් ම කරන්නෙ පුතාලා වෙනුවෙන් නෙ පුතේ' යන්න යි.

උසස් පෙළ කලා අංශයේ සිසුන් සඳහා සිංහල විෂයයත්, නාට්‍ය හා රංග කලාව විෂයයත් ඉගැන්වූ කොකාවල ගුරුතුමා පංක්ති කාමරයෙන් පරිබාහිර කර්තව්‍ය රාශියෙක ද ව්‍යාවෘත විය. විවාද සංගමය, කථික සංගමය, මාධ්‍ය ඒකකය, කලා සංගමය, සිංහල සංගමය, පුවත්පත් සංගමය ආදිය භාර ආචාර්‍යවරයා ලෙස එතුමා කටයුතු කෙළේ ය. මේ නිසා එතුමාට කලා අංශයෙන් පිටත ද ගෝළයෝ සිටියා හ. වෙසෙසින් ම විවාද කණ්ඩායමේ සිසුන් නොයෙක් තරගාවලීන්හි සහභාගී කැරැවීම සඳහා කොකාවල ගුරුතුමා ඔවුන් සමඟ රට පුරා ගියේ ය. එතුමා ගේ ද අනුශාසකත්වයෙන් වාර්ෂික ව පැවැත්වුණු රිච්මන්ඩ් මහින්ද සුහද විවාදය නැරැඹීම සඳහා වරක් එතුමා මටත් අවසර පත්‍රයක් දුන්නේ ය. එය මා රිච්මන්ඩ් මහින්ද සුහද විවාදය බලන්නට ගිය පළමු වතාවත් අවසන් වතාවත් විය.

පෞද්ගලික අනුභූතියෙකින් මේ සටහන සමාප්ත කිරීමට කැමැත්තෙමි. මා පුවත්පතකට ලියූ මුල් ම ලිපියේ මුල් ම පාඨකයා වූයේ ද කොකාවල ගුරුතුමා ය. 'හෙළ පෙළ සකු එක ම භාෂා පවුලකි' යන මැයින් 2010 වසරේ දී සිළුමිණේ පුන්කලස අතිරේකයෙහි පළ වූ මා ගේ මුල් ම ලිපියෙහි අත් පිටපත මා පෙන්වූයේ කොකාවල ගුරුතුමාට පමණි. එතුමා මා ළඟින් ඉඳගෙන ම ලිපිය කියැවීමට පටන් ගත්තේ ය. ලිපිය කියවාගෙන යන විට එතුමා ගේ මුහුණ පහන් වූ සැටි මට අද මෙන් මතක ය. ලිපියේ යම් තැනෙක 'ගැලැපීම' යනුවෙන් මා ලියා තුබූ වදන 'ගැළැපීම' යනුවෙන් මූර්ධජ ළකාරවත් ව ලිවිය යුතු බව එතුමා එහි දුටු එක ම දොස යි. 'පුතා දිගට ම මේ වගේ උනන්දුවෙන් වැඩ කරන්න. කවදා හරි පුතා ප්‍රකට ලේඛකයෙක් වෙනවා' යි ලිපිය ආපසු දෙමින් කොකාවල ගුරුතුමා අනාවැකියක් කීවේ ය. ඒ අනාවැකිය සැබෑ වේ දෝ යි බැලීමට වත් සුනංගු නො වී නොකල්හි ම එතුමා යන්නට ගියේ ය.

රත්න කුමාර කොකාවල අස්මදාචාර්ය පාදයනට නිවනට පෙර යළි උපතෙක් වේ නම් ඒ උපත ද අප අතර ම වේ වා යි පතමි. මේ එතුමා වැනි හොඳ මිනිසුන් රටට වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයෙකි.

No comments:

Post a Comment