මීට අවුරුදු දහයකට පමණ පෙර මම සිළුමිණ පුවත්පතට වහ වැටුණු පාඨකයෙක් වීමි. දේශපාලනය අතින් ජරපත් රජයේ පුවත්පතක් වුව ද එහි ශාස්ත්‍රීය අතිරේකයත් කලා අතිරේකයත් අන් සියල් සති අග පුවත්පත් ඉක්මවා ඉහළින් පැවැතිණි. ඒ අතිරේක ද්වයයෙහි බෙහෙවින් පළ වූයේ මා කැමැති දේවල් ගැන ය.
සිළුමිණට මා විශේෂයෙන් ආකර්ෂණය වූයේ ඊට ලියූ ලේඛයන් තිදෙනකු නිසා ය. ඔවුන් අතරින් ජ්‍යේෂ්ඨතමයා වූයේ 'දොස්-නිදොස් විශ්ලේෂණය' ලියූ ඩී. එෆ්. කාරියකරවන යි. සිළුමිණේ ශාස්ත්‍රීය අතිරේකයට 'තත්සර ඇසුර' ලියූ නන්දන වීරසිංහ අනෙක් ලේඛකයා ය. තෙවැන්නා නම් රසඳුන අතිරේකයට 'පිච්චර් පිස්සා', 'සුමි ගෙන් අහන්න' වැනි තීරු ලිපිත්, ශාස්ත්‍රීය අතිරේකයට වඩා දිගු පුළුල් බරසාර ලිපිත් ලියූ සුනිල් මිහිදුකුල ය.
කලක් තිස්සේ සරසවිය පුවත්පතේ සකසු පදවිය හොබවමින් සිටි සුනිල් මට මතක ඇති කාලයේ දී රසදුනේ සකසු පදවියටත් සිළුමිණේ සම සකසු පදවියටත් හිමි කම් කී ය.'පිච්චර් පිස්සා' වැනි තීරුවල පටන් ඔහු ලියූ ලිපි බෙහෙවින් ම සිනමාව සම්බන්ධ ඒවා විය. එහෙත් ඔහු වෙනත් ඉසවු ගැන ද නො ලියුවේ නො වේ. මා සිත තදින් ඇද ගත්තේ ඔහු රසදුනට ලියූ 'සුමි ගෙන් අහන්න' තීරුව යි. එය පාඨක ප්‍රශ්නවලට පිළිතුරු දෙන තීරුවෙක් වී. සිංහල චිත්‍රපට සාහිත්‍යය, සිංහල ගීත සාහිත්‍යය මතු නො ව කලාවෙහි නන් විද ඉසවුහි පතළ දැනුමක් ඉන් මම ලදිමි.
පසු ගිය දා සිය දිවි පබඳට නොතැන්හි තිත තැබූ සුනිල් මිහිඳුකුල සිංහල මුද්‍රිත මාධ්‍යයේ තැබූ මුද්‍රාව සදාකාලික ය. කිසි දාක මට ඔහු හමු වී නැතත් සුනිල් ගේ අභාවය මට මහත් සොවෙක් දනවයි. කරුණු හතරක් නිසා මම ඔහුට බෙහෙවින් ගරු කෙළෙමි.
පළමු වැන්න වූයේ ඔහු ගේ බහු පඨිත භාවය යි. සලරූ ලිවිසැරිය, ගී ලිවිසැරිය බඳු කලා ඉසවු මතු නො ව නොයෙකුත් සමාජ සංස්කෘතික සන්දර්භයන්හි ද තිර දැනුමෙක් සුනිල්ට තිබිණි. ඔහු ගේ පත්පොත්වලින් ඒ බව මනා සේ ප්‍රකට වෙයි. එබැවින් ඔහු ලියූ සැකෙවිතම තීරු ලිපිවල පවා මා වැන්නවුනට උගන්නට යමෙක් තිබිණි.
දෙ වැන්න වූයේ ඔහු ගේ භාෂා ඥානය යි. බොහෝ සමකාලීන මාධ්‍යවෙදීනට නො තුබුණු භාෂා ඥානයකට හෙතෙමේ හිමිකම් කී ය. සුනිල් ගේ බස නිවැරැදි සේ ම රසවත් ද විය. ගත්වහර ද කටවහර ද විකල්පයෙන් යොදාගත් ඔහුට ඒ කවර වහරකින් වුව ද රස දැනැවීමේ බුහුටි කම ඉහටත් උඩින් තිබිණි. ඔහු ගේ ලේඛනවල එක සේ තියුණු ව පැවැති උපහාසයත් උත්ප්‍රාසයත් මා සිත් ගති.
තෙ වැන්න වූයේ පුළුල් දැක්ම යි. කලාව විෂයයෙහි ප්‍රබුද්ධ සහ පීචං යන භේදය ඔහු පිළිගත්තේ නැත. ඩබ්. ඩී. අමරදේව, නන්දා මාලිනි ගැන මෙන් ම එම. එස්. ප්‍රනාන්දු, එච්. ආර්. ජෝතිපාල ගැනත් සුනිල් ලියුවේ ය. පැත්තකට දමා සිටි ඩීමන් ආනන්ද, සී. ටී. ප්‍රනාන්දු ආදීන් ගැන ඔහු ලියූ ලිපි ඉතා වැදගත් නිරීක්ෂණ සහිත විය.
සිවු වැන්න වූයේ අදීන පෞරුෂය යි. තත්ත්වය තරාතිරම බලා වචන තෝරතෝරා ලිවීම ඔහු ගේ පිළිවෙත නො වී ය. සුනිල් ගේ පන්හිඳ කා ගේ වත් හයි කාර කම් ඉදිරියේ වක් වූයේ නැත. ඍජු ප්‍රතිපත්ත්යේ ම පැවැත්තේ ය. කිය යුත්තෙක් වේ නම් නාගල කන්දට හෙන ගහන්නා සේ කියාදැම්මේ ය.
සුනිල් ද සම්මාදම් කොටගෙන සී. ටී. ගැන පෘථුල අධ්‍යයනයක් කිරීමේ අදහසෙක් මා සිතේ තිබිණි. ඔහු පිළිබඳ මතකයන් ද සමඟ දැන් ඒ අදහස සිතේ අඳුරු මුල්ලකට තල්ලු කරමි. සමහර විට මතු යම් දාක තනි ව හෝ අනෙකකු සමඟ හෝ ඒ අධ්‍යයනය කරන්නට ඉඩක් ලැබෙනු ඇත. එහෙත් එහි ලා ඔහුට ආදේශක නැත.
සුනිල් මිහිඳුකුල වැනි ඍජු කශේරුකාවක් හිමි මාධ්‍යවේදියෝ සිය වෘත්තියට ආභරණයෙකි. නොබෝ දා ඔහු ලේක්හවුසියෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් මා ලියූ සටහනක සඳහන් කෙළේ සුනිල් මිහිඳුකුල රක්ෂාවෙන් ඉසුඹු ලැබුව ද වෘත්තියෙන් නම් ඉසුඹු ලැබිය යුතු නො වන බව යි. ඔහු ඒ සටහන නුදුටු බව මම දනිමි. මේ සටහන ද ඔහුට දක්නට ලැබෙන්නේ නැත. ඔහු ඉතා හනිකට යන්නට ගියේ ය.
No comments:
Post a Comment