මහාචාර්ය ජේ.
බී දිසානායක පතුරවපු ලොකු මිථ්‍යාවක් තමයි, ඔය සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ කියන රීති විග්‍රහය. මේ සටහනේ අරමුණ වෙන්නේ රීතිය
කියන්නේ මොකක් ද කියලා පැහැදිලි කරලා, මහාචාර්ය ජේ. බී. දිසානායක ගේ රීති යන පදයේ
සාවද්‍ය ව්‍යවහාරය හෙළි දරවු කිරීම.
රීතිය කියන්නේ පෙරපර දෙදිග ම භාෂා සාහිත්‍ය අධ්‍යයනවල බොහොම පැහැදිලි ව විග්‍රහ කරලා තියෙන සංකල්පයක්. රසවාදය, ගුණවාදය, අලංකාරවාදය, ධ්වනිවාදය, වක්‍රෝක්‌තිවාදය, ඖචිත්‍යවාදය, අනුමිතිවාදය වගේ පෙරදිග කාව්‍ය විචාරවාද අතරින් රීති වාදය ප්‍රධාන ම එකක්. සකුව බැරි නිසා රීතිය සම්බන්ධ පෙරදිග අදහස් ගැන මං වැඩිය දන්නෑ. හැබැයි රීතිය ගැන අපරදිග අදහස් නම් යම් තරමක් කියවලා තියෙනවා. ඉංගිරිසියෙන් රීතියට කියන්නේ style කියලා. භාෂා රීති අධ්‍යයනය කිරීමට වෙන් වුණ විෂය ක්ෂේත්‍රයක් වාග්විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ රීතිවිචාරය කියලා. ඉංගිරිසියෙන් නම් stylistics. ඒ විෂයයේ රීති හැඳින්වෙන්නේ පුද්ගලයා, සන්දර්භය, භාෂා මාධ්‍යය, (සාහිත්‍යයේ නම්) සාහිත්‍ය ප්‍රවර්ගය, අනුභූතිය වගේ විචල්‍ය සාධක අනුව වෙනස් වන භාෂා ව්‍යවහාර හැටියට.
මේ නිර්වචනය
අනුව පේනවා, රීතිය පුද්ගල
බද්ධ සහ අවස්ථා බද්ධ බව. එක ම පුද්ගලයා වුණත් වෙනස් වෙනස් අවස්ථාවල වෙනස් වෙනස්
රීති පාවිච්චි කරනවා. මේකට භාෂණයෙන් උදාහරණයක් ගනිමු: එක ම පුද්ගලයා සභාවක කථා කරන
කොට එක විදියක්; යාළුවොත් එක්ක
කතා කරන කොට තව විදියක්. ඒත් එක්ක ම ලේඛනයෙන් උදාහරණයක් ගනිමු: එක ම පුද්ගලයා
පෙස්සමක් ලියන කොට එක විදියක්; කෙටි කතාවක්
ලියන කොට එක විදියක්.මේ උදාහරණ විතරක් සලකා බැලුවත් පැහැදිලි වෙන කාරණේ තමයි රීතිය
වෙනස් වෙන්නේ ලේඛනය හරි භාෂණය හරි සඳහා තෝරාගන්න වචන, සරල වාක්‍ය සහ සංකීර්ණ වාක්‍ය ආදි
වාක්‍ය සංස්ථිති වගේ ලක්ෂණ අනුව. එහෙම නැතුව අනුගමනය කරන ව්‍යාකරණ පද්ධතිය අනුව
නෙවෙයි. සාමාන්‍යයෙන් සිංහලයෙක් සභාවක කථා කරද්දී වුණත් යාළුවොත් එක්ක කථා කරද්දී
වුණත් පාවිච්චි කරන්නේ එක ම ව්‍යාකරණ පද්ධතිය. මේ උදාහරණයෙදි නම් භාෂණයේ ව්‍යාකරණ
පද්ධතිය.
දැන් එතකොට ඔය
සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ කියන ඒවා තුන නම් කරලා
තියෙන්නේ 'රීති' (styles) හැටියට. හැබැයි ඒවා රීති නෙවෙයි 'ව්‍යාකරණ පද්ධති' (grammatical systems). ඒ බව 'රීති' ගැන මෙච්චර වෙලා කරපු විග්‍රහය අනුව පැහැදිලි වෙන්න ඕන.
සම්භාව්‍ය 'රීතිය' කියලා කියන්නේ මධ්‍යතන සිංහල යුගයේ
ඉඳන් කෝට්ටේ යුගයේ පරිහානිය දක්වා ම ලියන්න පාවිච්චි කරපු ව්‍යාකරණ පද්ධතියට.
සමකාලීන 'රීතිය' කියලා කියන්නේ විසි වැනි සියවසේ ලේඛන
සිංහල ව්‍යවහාරයේ පුනර්ජීවනයේ පටන් මේ දක්වා බොහෝ ලේඛකයන් පාවිච්චි කරන ව්‍යාකරණ
පද්ධතියට. ඒක නොයෙක් ලක්ෂණ අනුව සම්භාව්‍ය රීතියෙන් වෙනස් වෙනවා. සමතික්‍රමණ 'රීතිය' කියලා කියන්නේ භාෂණ සිංහලයේ ව්‍යාකරණ පද්ධතියට. මේ ලිපිය
ලියලා තියෙන්නේ භාෂණ ව්‍යාකරණ පද්ධතිය අනුව.
ඔය සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ කියන බෙදුම් තුන නම් කරලා
හඳුන්වලා දුන්න අය ම කියලා තියෙන විදියට මේ ව්‍යාකරණ පද්ධති තුනෙන් ඕන එකක් පාවිච්චි
කරන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. මේ ව්‍යාකරණ පද්ධති තුන ම ලේඛන මාධ්‍යයට වගේ ම භාෂණ මාධ්‍යයටත්
පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ව්‍යාකරණ පද්ධති තුනෙන් ම ලියන්න යි කතා
කරන්න යි ඕන කෙනෙකුට පුළුවන්. ඒක ඒ කෙනා ගේ අයිතිය සහ රුචිය. ඔයින් එකක් වත් තවත්
එකකට වඩා උසස් වත් පහත් වත් නැහැ. හැබැයි පැහැදිලි ව තේරුම් ගන්න ඕන කාරණේ තමයි
මේවා 'රීති' නෙවෙයි 'ව්‍යාකරණ පද්ධති' කියන එක.
No comments:
Post a Comment