හෙළ හවුල සහ වාග්විද්‍යාව අතර ඉතා සමීප සම්බන්ධයක් තියෙනවා. සම්ප්‍රේක්ෂණ ශාස්ත්‍රීය සංග්‍රහය ගැන යම් සටහනක් ලියමින් කේ. ඩී. දර්ශන මේ කරුණ අවධාරණය කරන නිසා ඒ ගැන යමක් කිව යුතු යි. ඔහුට කලින් මහාචාර්‍ය සඳගෝමි කෝපරහේවා තමයි මේ කරුණ මතු කෙළේ.
ලංකාවේ විශ්වවිද්‍යාලය පද්ධතියට වාග්විද්‍යා විෂයය හදුන්වාදුන් ආචාර්‍ය ම. ව. සුගතපාල ද සිල්වා හෙළ හවුලේ ආභාසය ලද්දෙක්. ඔහු ගේ 'මේඝ දූත' පරිවර්තනය තනිකර ම හුදු හෙළුවෙන් ලියූවක්. ලංකාවේ පළමු වැනි වාග්විද්‍යා මහාචාර්‍යවරයා වූ සුමන ලාල් කැකුළාවල හෙළ හවුලේ සාමාජිකයෙක්. මේ දෙදෙනා ම ජීවිතේ යම් අවදියක දී ඇන්දෙත් ආර්‍ය සිංහල ඇදුම.
ඊළඟට මහාචාර්‍ය ඩබ්. එස්. කරුණාතිලක කලක් තිස්සේ නම ලිව්වේ ව. සි. කරුණාතිලක යනුවෙන්. එතුමා හුදු හෙළුවට මුල් තැන දෙමින් ලිපි පවා ලියා තිබෙනවා. කලක් අ. දො. චන්ද්‍රසේකර සමඟ හෙළ හවුලේ රැස්වීම්වලට ආ ගිය මහාචාර්‍ය රා. මු. වි. රාජපක්ෂ පසු කලෙක ප්‍රකට වූයේ මහාචාර්‍ය ආර්. එම්. ඩබ්. රාජපක්ෂ හැටියට. මහාචාර්‍ය අශෝක ප්‍රේමරත්න ගේ පියා වූ රෝලන්ඩ් ප්‍රේමරත්න යනු කුමාරතුංගයන් ගේ ගුරු විදුහල් සිසුවෙක්. මහාචාර්‍ය වි. මු. විජේරත්නට හෙළ හවුලින් ලැබුණ ආභාසය ඔහු ගේ නමින් ම පේනවා.
මහාචාර්‍ය සඳගෝමි කෝපරහේවා ගේ පියා වන සඳදස් කෝපරහේවා කියන්නේ හෙළ හවුලේ ආරම්භක සාමාජිකයන් අතරින් දැනට ජීවමාන ව සිටින එක ම තැනැත්තා. තමන් භාෂා අධ්‍යයනයට පෙලැඹුණේ හෙළ හවුල් ඇසුර නිසා බව මහාචාර්‍ය කෝපරහේවා පිළිගන්නවා.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මහාචාර්‍ය විමල් ජී. බලගල්ලේ, පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ මහාචාර්‍ය පී. බී. මීගස්කුඹුර, කොළඹ විශ්වවිද්‍යාලයයේ මහාචාර්‍ය තිස්ස ජයවර්ධන, කැලැණි විශ්වවිද්‍යාලයයේ මහාචාර්‍ය දයා මැණිකේ වික්‍රමසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයයේ මහාචාර්‍ය ජේ. බී. දිසානායක යන වාග්විද්‍යාඥයන් නම් මා දන්නා හැටියට හෙළ හවුලේ ආභාසයක් ලබා නැහැ.
මෑතක දී කැලැණි සරසවියෙන් වාග්විද්‍යාව උගත් ජයමල් ද සිල්වාත් මමත් හෙළ හවුලේ සාමාජිකයෝ. හෙළ හවුලේ වත්මන් සකසුරු චතුර සම්පත් ගණේපොළත් දැන් එහි ම වාග්විද්‍යා විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය හදාරනවා.
මේ අනුව හෙළ හවුලත් වාග්විද්‍යාවත් අතරේ සමීප නෑකමක් තියෙනවා. පහු ගිය කාලේ හෙළ හවුල සහ වාග්විද්‍යාව යනුවෙන් දෙපිල බෙදිලා රණ්ඩු කරගත්තේ මේ දෙපැත්තෙන් එක පැත්තකට පමණක් අයත් වුණ පිරිසක් බව අවධාරණය කළ යුතු යි. ඔවුන් එහෙම කරන්න ඇත්තේ අන්‍යෝන්‍ය අවබෝධය අඩු නිසා.
No comments:
Post a Comment