අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි ගැන අදහස් දක්වමින් අගමැතිතුමා කියා ඇත්තේ චරිතාංග රංගන ශිල්පියකු වී නම් විජයට බොහෝ දුර යා හැකි ව තුබුණු බවෙකි. විසිහත් වසරක් මනමේ කුමාරයාට රඟපෑ විජය නන්දසිරි ගැන අගමැතිතුමා දන්නා තරම ඒ ප්‍රකාශයෙන් හෙළි වේ. එහෙත් එය අගමැතිතුමා ගේ තවත් පිස්සු කතාවක් ලෙස ඉඳුරා බැහැර කිරීම යෝග්‍ය නො වේ. විජය නන්දසිරි නම් චරිතාංග රංගන ශිල්පියාට සිදු වූයේ කුමක් දැ යි කල්පනා කැර බැලීමට ඒ ප්‍රකාශය හොඳ නිමිත්තක් කැර-ගත හැකි ය. මේ සටහනේ සිරස ලෙස තබා ඇත්තේ විජය නන්දසිරිට වූ සන්තෑසිය එක්තරා විචාරකයකු දුටු අන්දම යි.
විජය නන්දසිරිට පූර්වකාලීන ප්‍රවීණයකු වූ ජෝ අබේවික්‍රම ස්වකීය රංගන ජීවිතයේ මුලින් මුලින් රඟපෑවේ විකට චරිත ය. ‘අල්ලපු ගෙදර’, ‘බඩුත් එක්ක හොරු’, ‘සාරවිට’, ‘කොළොඹ සන්නිය’, ‘රන්මුතු දූව’, ‘තුෂාරා’ වැනි බොහෝ චිත්‍රපට ඊට නිදසුන් ලෙස සඳහන් කළ හැකි ය. එහෙත් හාස්‍යෝත්පාදක රංගනයට සීමා නො වූ හෙතෙමේ ‘වැලිකතරේ’ ගෝරිං මුදලාලි, ‘තුන්මංහන්දියේ’ අබිලිං මාමා, ‘මලට නො එන බඹරුහි’ හාමු මහත්තයා වැනි චරිත ඔස්සේ චරිතාංග රංගනයට පිවිස ස්වකීය ජීවිතයේ අවසාන භාගය ‘පුරහඳ කළුවර’ වැනි විශිෂ්ට ගණයේ සිනමා කෘති සඳහා කැප කෙළේ ය.
විජය නන්දසිරි |
එහෙත් විජය නන්දසිරි කෙළේ එහි අත්‍යන්ත ප්‍රතිපක්ෂය යි. එදිරිවීර සරච්චන්ද්‍ර, අමරදාස ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල ආදීන් ගේ විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍යවල චරිතාංග නිරූපණයෙන් මනා පරිචයක් ලැබ රංගනයට පිවිසි හෙතෙමේ ස්වකීය ජීවිතයේ අවසාන භාගය හුදු හාස්‍යෝත්පාදනයට සීමා කෙළේ ය. අනූව දශකයේ මැද ආරම්භ වූ මේ ප්‍රවණතාව අද දක්වා ම පවත්නා අවිච්ඡින්න ජනප්‍රියතාවක් විජය නන්දසිරිට ගෙන-දිනි. හාස්‍යෝත්පාදකයකු ලෙස ෆ්‍රෙඩී සිල්වාට තුබුණු ආකර්ෂණය ඉන් පසු විජය නන්දසිරිට හිමි වූ හ යි කිව ද වරදක් නො වේ. ඔහු ගේ අභාවය පිළිබඳ සමාජ ජාලයන්හි සංසරණය වන සටහන් සිය ගණනක් ඒ ආකර්ෂණයට සාක්ෂ්‍ය සපයයි.
‘සිංහබාහු’, ‘මහාසාර’, ‘නරිබෑනා’, ‘ජසයා සහ ලෙන්චිනා’, ‘රත්නාවලී’, ‘තාරාවෝ ඉගිලෙති’, ‘හුණුවටයේ කතාව’, ‘කුවේණි’, ‘සුබ සහ යස’, ‘කුස පබාවතී’, ‘සඳකඩපහණ’ ආදියෙන් රංගනය ආරම්භ කළ විජය නන්දසිරි රංගනය අවසාන කෙළේ ‘නෝනාවරුනි මහත්වරුනි’, ‘යර්ස් බොස්’, ‘එතුමා’, ‘සිකුරු හතේ’, ‘සුහද කොකා’ ආදියෙන් ය. මෑත කාලයේ විජය නන්දසිරි කළ එක ම චරිතාංග රංගනය වූයේ ගයා රම්‍ය අල්විස් ගේ ‘කොළොඹ අහස’ ටෙලි නාට්‍යයේ බොතේජු නම් වෘත්තීය සමිති නායකයා ගේ චරිතය යි. මෙසේ විජය නන්දසිරි ගේ චරිතාංග රංගනය කප්පාදු වූයේ ඔහු ගේ ම වරදින් නො ව ඔහු දැක්කත් හිනා වීමට බලා සිටි ප්‍රේක්ෂකයා ගේ වරදිනි. බහුතර ප්‍රේක්ෂකයා ඉල්ලන දේ ම සපයන්නට බලා සිටින අධ්‍යක්ෂවරු ඊට වග කිය යුත්තා හ.
විජය නන්දසිරි බඳු ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියකු හුදු හාස්‍යෝත්පාදක රංගනයට සීමා කිරීමෙන් පෞද්ගලික ව විජය නන්දසිරිටත් පොදුවේ සිංහල දෘශ්‍යකාව්‍ය සාහිත්‍යයටත් සිදු වූයේ මහා අසාධාරණයකි. ජෝ අබේවික්‍රමට ගෙන් සිංහල දෘශ්‍යකාව්‍ය සාහිත්‍යයට සිදු වූ සම්ප්‍රදානය බඳු සම්ප්‍රදානයක් විජය නන්දසිරි ගෙන් සිංහල දෘශ්‍යකාව්‍ය සාහිත්‍යට නො ලැබී ගියේ විජය නන්දසිරි නම් අසහාය චරිතාංග රංගන ශිල්පියා හාස්‍යෝත්පාදනයට කොටු කැර තොගට සිල්ලරට ඔහු විකුණා-ගෙන කෑ කුප්‍රකට කලා වෙළෙන්දන් හේතුවෙනි.
මේ වෙළෙඳ ගැටයට ම අසු වූ මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල, ආනන්ද වික්‍රමගේ බඳු තවත් ප්‍රවීණ රංගන ශිල්පීහු කිහිප දෙනෙක් ම වෙති. ඔවුන් ඉන් මුදවා-ගැනීමට නම් කළ යුත්තේ මෙරට දෘශ්‍යකාව්‍ය රසිකයාට උසස් රසඥතාවක් ඇති කොට උසස් ප්‍රමිතියේ දෘශ්‍යකාව්‍ය නිර්මාණ සඳහා වෙළෙඳ පොළ ඉල්ලුමක් සැකැසීම යි. විජය නන්දසිරි වෙනුවෙන් කළ හැකි උසස් ම උපහාරය එය වනු ඇත.
No comments:
Post a Comment