Sunday, March 29, 2020

කුණු සින්නො - 5: "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?"

වෙසක් පෝය ළං වෙද්දී සද්ධා බුද්ධි සම්පන්න කුණු සින්නෝ නවක ශිෂ්‍යයන් කණ්ඩායම් ගණනාවකට බෙදා සරසවිය පුරා එල්ලන්නට වෙසක් කූඩු හදන්නට පැවැරූ හ. යම් පිරිසක් කැමැත්තෙන් හා කැපවීමෙන් හා ඒ වැඩේ යෙදුණ හ. ඇතැමෙක් බේරෙන්නට හැටියක් නැති නිසා ඒ වැඩේ යෙදුණ හ. කැට හොල්ලා සිඟාගත් මුදලින් දෝ වෙසක් කූඩු සඳහා කඩදහි, බටපතුරු ආදිය සැපැයිණි. කොපමණ මුදලක් වෙසක් කුඩු නො හදා ම නිවන් ගියා දැ යි හරියට නො දනිමි. කෙසේ හෝ ඒ වෙසක් කූඩු වසංගතයෙන් බේරීමට මම සමත් වූයෙමි. ඔය දිනවල මා කුණු සින්නන් නියම කළ ඇඳුම් කට්ටලය ඇන්දේ නැති නිසා බේරී සිටින්නට හැකි වූ නමුදු මා සිටියේ මායිම් ගම්මාන වැසියකු මෙන් කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් බලාපොරොත්තුවෙනි. එක් දිනක් කුමක් දෝ ඉංගිරිසි පැවැරුමක් සඳහා අවශ්‍ය වූ පොත් වගයක් සොයාගන්නට පොත්ගුලට ගිය මම හෙමින් සීරුවේ තෙල් බැම්ම මඟ ඇර මී අඹ සෙවණ පැත්තෙන් පල්ලම් බැස්සෙමි. තෙල් බැම්ම පැත්තෙන් නො ගියේ එහි ගියොත් අනිවාර්ය පීඩාවකට පත් වන බැවිනි.

මී අඹ සෙවණේ මහා පතරංග වෙසක් කූඩු රාජයකු ඉදි වන බව මා දක්නා විට ආ පසු හැරෙන්නට පමා වැඩි ය. මම ඉදිරියට ම පය මෙහෙයීමි. වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. "අඩෝ, ෆස්ට් ඉයර්" යනුවෙන් පසු පසින් හඬ තළනු ඇසිනි. මම නෑසුණු සේ යන්න ගියෙමි. "උඹ මෙතැනට එනවද අපි ඔතැනට එන්න ද?" කුණු සින්නා තර්ජනාත්මක ස්වරයෙකින් කීයේ ය. මම ආ පසු හැරී බලා "මට ද?" යි ඇසීමි. "ඔව්, තොට තමයි. මෙතැන තව ෆස්ට් ඉයර් උන් ඉන්නවද? මෙහෙ වරෙං හු*ගන්නෙ නැතුව!" මම ඒ අණ පිළිපැද්දෙමි. මහා වෙසක් කූඩු රාජයා තැනීමට ගෙනා යකඩ බට ද ලී දඬු ද තවත් බොහෝ දෑ ද එහි තිබිණි. මට හොඳ සංග්‍රහයක් විඳින්නට වේ දෝ යි සිතේ චකිතයක් පහළ විණි. එහෙත් දැන් ආ පසු හැරී යාමක් නැත. "අපි මේ මොක ද කරන්නෙ?" එකෙක් මිහිඳු හිමියන් ගේ අඹ පැනය වැන්නක් මගෙන් ඇසී ය. "වෙසක් කූඩු හදනවා" මම කීමි. "උඹේ වෙසක් කූඩු ග්රූප් එක මොකක් ද?" මම මොකක් දෝ අංකයක් කියා දැමුවෙමි. "කවුද ග්රූප් ලීඩර්?" මා දන්නා ග්රූප් ලීඩරයෙක් නැත. මම බිම බලාගතිමි.

"උඹට කියන දේ තේරෙන්නෙ ම නෑ වගේ නෙ?" යනුවෙන් පටන් ගත් කුණු සින්නා මට තේරුම් බේරුම් ඇති කිරීම සඳහා දෝ වෙසක් කූඩු සැකිල්ල ඉදිරියේ දී ම සම්මා වාචායෙන් යමාමහ පෙළහර පෑ ය. "උඹ දන්නවා නේ ද ඔහොම ඇඳලා එන්න බැරි බව? උඹට හොඳින් කිව්වම තේරෙන්නෙ නැද්ද?" තවෙකෙක් මගේ මූණට එබී ඇසුවේ ය. මම බිම බලාගෙන සිටියෙමි. එතෙක් වේලා මට ඔරවඔරවා දත් කූරු කමින් සිටි කුණු සින්නෙක් අඩියට දෙකට මා ළඟට ආවේ ය. "උඹ රිච්මන්ඩ් නේ ද?" විමතියෙන් යුතු මම "ඔව්" කීවෙමි. "උඹට මාව මතක නෑ?" මම උඩ බිම බැලුවෙමි. ඔහොම එකකු ගැන මට මතක සේයාවක් වත් නැත. අනෙක් අතට සිසුන් හාර පන් දහසක් සිටින පාසලක උගත්තකුට තමා ගේ මිතුරන් හැරුණු කොට අනෙකෙක් මතක සිටී නම් ඒ ඉතා කැපී පෙනුණු ශිෂ්‍යයෙකි. "එතකොට උඹ මාව ඉස්කෝලෙදි දැකලම නෑ?" මගේ නිහඬ බව නිසා බුරබුරා නැඟෙන කෝපාග්නියෙන් දැවෙමින් කුණු සින්නා ගුගුළේ ය. මම දෙපසට හිස සැලීමි. "තොට මාව මතක නැති වුණාට මට තෝව මතක යි" අවසන හේ කීවේ ය.

"බලපං උඹ ඇඳලා ඉන්න විදිය. උඹට මතක ඇති නෙ ඉස්කෝලෙ තිබුණ විනය. එහෙම ඕන ඕන ඒවා ඇඳගෙන එන්න බෑ නෙ. අපිත් ඒ දවස්වල ගාමිණී සර් ගෙන් ඕන තරම් කනේ පාරවල් කාලා තියෙනවා ඇඳුම නිසා" හේ කියාගෙන කියාගෙන ගියේ ය. ගාමිණී සර් යනු එවක රිච්මන්ඩ් නියෝජ්‍ය විදුහල්පති ගාමිණි ජයවර්ධන මහාත්මා යි. දැන් එතුමා මහින්ද විද්‍යාලයාධිපතිතුමා ය. එතුමා ගෙන් කනේ පාරවල් කෑ එකෙක් නම් උගේ නොම්මරය හොඳ එකක් විය නොහැකි ය. ගාමිණී සර් ඉතා සුහද පරිපාලකයෙකි. කනේ පාරක් දුන්නොත් ඒ නො දී ම බැරි එකකුට ය. දවසක් මගේ සයිඩ්බර්න්ස් දිග වැඩි බව දැක ගාමිණී ජයවර්ධන මහතා මා ළඟට කැඳැවා කීවේ "බලපං උඹේ සයිඩ්බර්න්ස්. වික්ටර් රත්නායක වගේ. හෙට එන කොට කපං ඇවිල්ලා පෙන්නන්න ඕන. උඹලත් මෙහෙම ආවම අපි කාව බලං හැදෙන්න කියලද බං අනික් ළමයින්ට කියන්නේ?" කියා ය. ඒ නිසා ගාමිණී සර් දණ්ඩනයට යන්නේ යාප්පුවෙන් මෙල්ල කළ නොහැකිවුන් සඳහා බව මම දැන සිටියෙමි. මේකා එහෙම එකෙකි.

මා සිතිවිලි සයුරේ කිමිදෙද්දී කුණු සින්නා දිගට ම දෙසයි. "මෙතැනත් විනයක් කියලා එකක් තියෙනවා. ඉස්කෝලෙ වගෙ තමයි. ඒ කියන විදියට ඇඳගෙන වරෙං ලොකු ලයින් නො දී. විනයට අනුගත වෙයං. උඹට ඉස්කෝලෙදි නම් බදාගෙන බෞද්ධ සංගම් කරන්න පුළුවන්. මෙහේ දී තමයි වෙසක් කූඩුවක් වත් හදන්න බැරි. උඹ අපේ ඉස්කෝලෙ කියලා කියන්නත් ලැජ්ජයි" කියා කුණු සින්නා ඉවත ගියේ ය. මටත් ඔහු කියූ අන්තිම වාක්‍යය ඔහු වෙනුවෙන් පුනරුච්චාරණය කරන්නට සිතුණ ද ඒ වේලාවේ එසේ කළා නම් කතාව නවතින්නේ රෝහල් වාට්ටුවකිනි. මම බයාදු ලෙස යටහත් ව සිටියෙමි. ඊළඟට ඉන්නල ගෝනියක් තරම් එකෙක් මා ළඟට පැමිණ "වාඩි වෙන්න" යි කීවේ ය. මා වාඩි වූ සැණින් කුණු සින්නෝ මගේ මවුන් පියන් පවා සිහි කරමින් සම්මා වාචාව පිළිපදින්නට වූ හ. එහෙත් "වාඩි වෙන්න" යි කී තැනැත්තේ කරුණාවක් පෑයේ ය. "ඉන්න ඇරපං" යි අනෙක් උනට කී හේ තෙමේ මා සමඟ සුහද සංවාදයකට වන්නේ ය.

මා ළඟින් ඉඳගත් හේ "මල්ලි උඹ ඉංග්ලිශ් කරනවා නේ ද?" යි ඇසුවේ ය. මම හිස සැලීමි. "මාත් කරනවා" හේ කීවේ ය. ඔහු මා අත තුබුණු පොතක් ගෙන එහි පැරැණි ඉංගිරිසියෙන් 'Tis යනුයෙන් ලියා ඇත්‍තක් පා එසේ ලියන්නේ ඇයි දැ යි ඇසී ය. "ඇමරිකන් ඉංග්ලිශ්" මම කීවෙමි. කුණු සින්නා පිළිතුරෙන් සෑහී "දන්නවනෙ!" යි කී ය. ඒකා දාන්නා තරම මම එයින් මැනැගත්තෙමි. It is යන්න Tis යනුවෙන් ලියූවේ සොළොස් වැනි සියවසේ පමණ පැරැණි ඉංගිරිසියේ විනා ඇමරිකානු ඉංගිරිසියේ නො වේ. "මල්ලි, ඉගෙන ගන්නවා වගේ ම පොදු වැඩව්ලටත් වරෙං. කැම්පස් ලයිෆ් එක කියන්නෙ ලෙක්චර්ස් යන එක විතරක් නෙවෙයි. ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව අනික් හැමෝ ම ඉන්න විදියට ඉන්න බලපං. හා, දැන් පලයං" යි කී හේ තෙමේ මා නිදහස් කෙළේ ය. මම කෘතවේදී සිනාවක් පා හුන් තැනින් නැඟිට සෙමෙන් සෙමෙන් ගියෙමි. මා යන විට අර පාසල කර පින්නාගෙන උන් ආදි රිච්මන්ඩ් සින්නා "හදන්න බෑ අපතයෙක්" කියනු මට යන්‍තමට ඇසිණි. ඒකා 'දළ' ඇති වල් ඌරකු බව මට පස්සේ ආරංචි විය.

Sunday, March 22, 2020

කුණු සින්නො - 4: "ඈ යකෝ, උඹලෑ ගෙදර තාත්තට වඩා අම්මා වැඩිමල් ද?"

මා මුලින් ම තෙල් බැම්මට අසු වූ දා මට අද මෙන් මතක තිබේ. එවක බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට යකඩ වැට පටන් ගන්නා කෙළවරේ මොකක් දෝ රූස්ස ගහක් තිබිණි. කුණු සින්නන් තෙල් බැම්මේ දී කියන කුණු හරුප ඉවසා දරා වාවාගත නොහී දෝ පසු කලෙක ඒ මහා වෘක්ෂ රාජයා මුලින් ඉදිරී වැටිණි. මා මුලින් ම කුණු සින්නකුට අසු වූයේ අන්න ඒ මහා වෘක්ෂ රාජයා පා මුල දී ය. උදේ අටට පමණ පටන් ගන්නා දේශනයකට සහභාගී වීම සඳහා මම අඩියට දෙකට දේශනා ශාලාව බලා දුවමින් සිටියෙමි. ඒ වන විට මා වේවැල්දූව පාර සොයාගෙන නොතුබුණු බැවින් ආවේ ගියේ කවුරුනුත් සරසවි යන එන ඉස්සරහ පැත්තෙනි. මා එනු දැක "ඒයි, ෆස්ට් ඉයර්, මෙහෙ වරෙන්" කියා කුණු සින්නෙක් මා ඔහු ළඟට කැඳවී ය. මම ඒකාට කීකරු වුණෙමි.

"ගුඩ් මෝනිං" කුණු සින්නා මට ආචාර කෙළේ ය. මම ද පිළිතුරු විසින් "ගුඩ් මෝනිං" කීවෙමි. "මල්ලි, උඹේ ගම කොහේ ද?" හේ ඉතා ආදරයෙන් ඇසී ය. "ගාල්ලේ" මම කීවෙමි. "ගෙදර ඉන්නේ කවුරු කවුරු ද?" ඒ ඊළඟ ප්‍රශ්නය යි. "අම්මයි තාත්තයි මමයි" මට පිළිතුර හමාර කරන්නට ලැබුණේ නැත. කුණු සින්නා හෙණ පතයක් ගැසුවා සේ පුපුරා පැන්නේ ය. "ඈ යකෝ, උඹලෑ ගෙදර තාත්තට වඩා අම්මා වැඩිමල් ද? කියපං හු** හරි පිළිවෙළට!" හේ ගුගුළේ ය. "තාත්තයි අම්මයි මමයි" මම ඔහු කැමැති පිළිවෙළට උත්තරය හරි ගැස්සුවෙමි. "තාත්තා මොක ද කරන්නේ?" ඒ ඊළඟ ප්‍රශ්නය යි. "තාත්තා ක්ලාක් කෙනෙක්. දැන් විශ්‍රාමික යි" ඒ පිළිතුරෙන් ඔහු සෑහීමකට පත් වූ බවක් පෙනිණි. යම් හෙයකින් තාත්තා විධායක ශ්‍රේණියේ රැකියාවක් කෙළේ නම් ඒ කුණු සින්නා ගෙන් මා වරුවක් හමාරක් කුණු හරුප අසනවා නියත ය.

කුණු සින්නා ගේ ඊළඟ ප්‍රශ්නය මගේ අධ්‍යාපනය ඉතිහාසය ගැන යි. "කොහේ ද ඉස්කෝලෙ?" හේ පිළිවිසී. "රිච්මන්ඩ්" මම මෝඩ කමට ඇත්ත ම කීවෙමි. රෝයල්, තෝමස්, ආනන්ද, නාලන්ද, ඩී. එස්., රිච්මන්ඩ්, මහින්ද, කිංග්ස්වුඩ් ඔවුනට කනේ යවුල් අනින්නා සේ බව මම එවක නො දත්තෙමි. "ආ උඹ රිච්මන්ඩ් ද?" යනුයෙන් පටන් ගත් කුණු සින්නා රතිඤ්ඤා වැලක් පුපුරන්නා සේ කුණුහරුප වැලක් ම කියාගෙන ගියේ ය. ජීවිතයේ අන් කිසි දාක කිසි වරදක් නො කොට මා එතරම් කුණුහරුප අසා තුබුණේ නැත. මට මහත් අප්පිරියාවක් දැනෙන්නට විය. "උඹ රිච්මන්ඩ් එකේ ඉගෙනගත්තට කමක් නෑ. මෙහෙ ඇවිල්ලා ගැට්ට තියාගන්න එපා" කුණුහරුප වැල අහවර කරමින් හේ කීවේ ය. "මොනා ද සබ්ජෙට්ස්?" ඒ ඊළඟ පැනය යි. "සිංහල යි ඉංගිරිසි යි වාග්විද්‍යාව යි" මා උත්තරය දී නිමවනටත් කලින් මෙරට යටත් කැරැගෙන සිටි ඉංගිරිසින් කෙරෙහි වූ වෛරය හේ තෙමේ මගෙන් පිරිමසාගත්තේ ය. කුණු සින්නනට ඉංගිරිසි අජීර්ණ බව මට කල්පනා වූයේ එදා ය.

ඔය වනාහි රිච්මන්ඩ් විද්‍යාලයයේ ඉගැනුම ලැබීම නිසා මා කුණු හරුප ඇසූ පළමු වැනි දවස යි. ඊළඟ දවස මීට වඩා රසවත් සිදු වීමෙකි. 

Sunday, March 15, 2020

කුණු සින්නො - 3: "පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ"

එදා පැවැත්තේ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහාත්මාව ගේ 'විචාරාත්මක චින්තනය' (Critical Thinking) දේශනය යි. දේශන ශාලාව K28 ගොඩනැඟිල්ලේ එකක් බව ද මතක තිබේ. දේශනය ඉවර වන විට වේලාව හවස හතරට පමණ ඇත. උදේ පටන් දේශන කිහිපයකට ම සහභාගී වූ බැවින් සරසවිය පසු පසින් පල්ලම් බැස වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක් පමණ පයින් ගොස් නවාතැනට යන්නට ගතට ද සිතට ද හයියක් නැත. එබැවින් අනෙක් නවක සිසුසිසුවියන් ද සමඟ රොත්ත පිටින් තෙල් බැම්ම පසු කැර යාමට මම හිත හදාගත්තෙමි.

හැන්දෑව නිසා දෝ තෙල් බැම්ම ළඟ ඒ වන විට එතරම් කුණු සින්නෝ නුවූ හ. එහි වූ කිහිප දෙනා අතුරින් හීන්දෑරි උස එකෙක් "ඒ, ඒ, ෆස්ට් ඉයර්, මෙහෙ වරං" කියා එක රොත්‍තට යමින් සිටි අප බණ්ඩාරනායක නේවාසිකාගාරය ඉදිරි පිට පදික වේදිකාව වෙත කැඳැවූ හ. ශ්‍රී සුමංගල ශබ්දකෝශයේ එක් වෙළුමක් තරම් විශාල පොතක් කිහිල්ලේ ගහගත් දොඩමක් දෙකක් පමණ උස ඇති කුණු සින්නෙක් එහි සිටියේ ය. ඒ පොතක් අතැති ව කුණු සින්නකු බැම්මේ සිටිනු දුටු පළමු වැනි වතාව යි. ඔහු අතැ තුබුණු පොත වාණිජ්‍ය ධාරාවේ ගිණුම්කරණය හෝ අළෙවිකරණය හෝ වැනි විෂයයක් ගැන ඉංගිරිසි මාධ්‍යයෙන් ලියැවුණු පොතෙකි.

"ආදරණීය නංගියේ, මල්ලියේ" කියමින් කුණු සින්නා සිය දෙසුම ඇරැඹී ය. එය කියැවීමේ අගය පිළිබඳ දේශනයකි. "උඹලා ලෙක්චර් ගියාට විතරක් මදි. පොත්පත් කියවන්නත් ඕන. මාත් මේ ලයිබ්රියට ගිහිල්ලා එන ගමන්." හේ කියාගෙන ගියේ ය. මට තෙල් බැම්මේ දී එතෙක් හමු වූ සියලු කුණු සින්නන් අතුරින් කුණුහරුප නො කියූ එක ම තැනැත්තේ නම් මේ ය. අනෙක ඔහු ගේ දේශනය ද කියැවීමේ අගය ගැන ය. "පොත් කියවලා විතරක් මදි. මිනිස්සුන්ව ආස්සරේ කරන්නත් ඕන. මිනිස්සු ආස්සරේ කරලා ලබන දැනුම පොත් දාහකින් වත් ලැබෙන්නෙ නැහැ" යි හේ දැනුම ලැබීමේ තවත් මඟක් පෑවේ ය. ම සිතෙහි ඔහු ගැන කෙමෙන් පැහැදීමක් ඇති වෙමින් තිබිණි.

කුණු සින්නා ගේ දේශනය තව ඉදිරියට යයි. සමාජ ආශ්‍රයයෙන් තමා දැනුම ලැබූ ආකාරය ගැන හේ නිදසුන් පවතක් දක්වන්නට වන. "මේ ළඟ දී අපේ බැජ්ජෙකේ කොල්ලෙක් ගෙ තාත්තා නැති වුණා. අපි ඔක්කොම පුළුපුළුවන් විදියට බඩුමුට්ටු ටිකකුත් අරගෙන කපට ගියා" කුණු සින්නා නිදසුන් පවත දිග හරියි. "එදා පාංසුකූලෙ දෙන වෙලාවෙ හාමුදුරුවෝ අනුසාසනාවට කිව්වා අපේ ජීවිතය හරියට තණ කොළයක් අග තියෙන පිනි බින්දුවක් වගේ කොයි වෙලාවෙ බිමට වැටෙයි ද කියන්න බෑ කියලා" ඒ ගමන බණක් දෙසා වදාරති දෝ හෝ යි මම ඇස් කන් දල්වාගෙන සිටියෙමි. "ඒ හාමුදුරුවෝ කිව්ව කතාව ඇත්ත නේ ද කියලා මම හුඟක් වෙලා කල්පනා කළා. දැන් එතකොට එදා ඒ කපට ගියේ නැත්නම් මට ඒක දැනගන්න ලැබෙන්නෑ. අන්න ඒක යි මිනිස්සු ආස්සරේ කරන්න කියන්නෙ" හේ කී ය.

ගුවන්තොටක දිවුම් මඟක් දිගේ බොහෝ දුරක් දිවැ කෙමෙන් ගුවනට නැඟෙමින් තුබුණු ගුවන් යානයක් හිටි හැටියේ ම ඇංජිම නතර වීමෙන් බිම ඇදැ වැටී පුපුරා මහා අග්නි ජාලාවක් බවට පත් වන්නා සේ මා සිතෙහි ඔහු ගැන ගොඩ නැඟෙමින් තුබුණු පැහැදීම ද ඇදැ වැටී දැවී හළු වී ගියේ ය. ඒකා පටන් ගත්තේ කියැවීමේ අගය ගැන දෙසමිනි. එහෙත් ධම්මපදය, ලෝවැඩසඟරාව ආදියෙහි පණ තණ අග පිනි බිඳකට සමාන කරන උපමාව ඒකා නමෝවිත්තියෙන් අසා ඇත්තේ අර අනුසාසනාවෙනි. මම අමාරුවෙන් සිනහ තද කැරැගෙන බිම බලාගතිමි. ධම්මපදය, ලෝවැඩසඟරාව කියවා නැති උන් සරසවිවල කොතෙකුත් සිටිය හැකි ය. එහෙත් එම්. එස්. ප්‍රනාන්දු ගේ මේ බයිලා ගායනය වත් අසා නැතිවුන් සරසවිවල සිටිය හැකි ද?

"මල් යහනාවකි ලෝකේ - නැහැවෙයි චන්ද්‍රාලෝකේ
  යන නොසිතු වෙලාවක වියැකී - ජීවය තණ අග පිනි බිඳකී"

අපට කියැවීමේ අගය කියා දෙන්නට ආවේ ඔන්න ඔහොම කුණු සින්නන් ය! උන් නො දත් ලෝවැඩසඟරා කවිය මෙසේ ය:

"බණ නම් නිබොරු ය මුනිවර  යන්නේ
  කය නම් නොතිර ය අදහා      ගන්නේ
  පණ නම් තණ අග පිනි බිඳු    වැන්නේ
  පින නම් නොපමා ව ම කැර   ගන්නේ"


Sunday, March 8, 2020

කුණු සින්නො - 2: "අඩෝ, උඹ අපේ ඉස්කෝලෙ ලොකු සර් වගේ"

ඒ මගේ සරසවි දිවියේ මුල් සති කිහිපයෙන් එකක් බව හොඳින් මතක ය. මුලින් ම සරසවි ආ දා ලක්ෂ ගණනක් වටිනා තොරණක් යටින් කැඳවාගෙන ගොස් කඩදහි පිඟානේ කිරිබත් කන්නට දී සාදරයෙන් අප පිළිගත් කුණු සින්නන් ඒ වන විට ඔවුන් ගේ දෛනික කුණුහරුප සංදර්ශනය අරඹා තිබිණි. දින පතා උදේ හතට පමණ තෙල් බැම්ම වෙත පැමිණ පාර දෙපසේ පෙළට හිටගෙන ඌ තුමූ නවක සිසුන් බිය වද්දමින් කුණුහරුප කියති. වෙන කරන්නට දෙයක් නැති නිසා මුලින් මුලින් හිස් බඩ ම කුණුහරුප අසාගෙන සරසවි ගිය ද සතියක් හමාරක් යන විට තෙල් බැම්ම මඟ හැර ආ හැකි පාරක් සොයාගැනීමට අපි සමත් වූමු. එනම් සරසවිය පිටුපසින් ඇතුළු වන වේවැල්දූව පාර යි.

එවක් පටන් දෙසුම ඇරැඹෙන වේලාවට අඩ හෝරාවකට පමණ කලින් පුරන්සිස් පටුමඟේ නවාතැනින් පිටත් වන මම ටයර් සංස්ථා හංදියට පැමිණ එහි වූ කඩයකින් උදයට කිසිවක් කා වේවැල්දූව පාර දිගේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා දමමින් සරසවි යමි. උදේ ම ඒ දුර ගෙවා සරසවියට ළඟා වන විට හොඳ ගණන් ය. ඉහින් කනින් ඩා දිය වැගිරේ. තෙල් බැම්මේ කුණුහරුප සංදර්ශනය පෙනිපෙනී කුණු සින්නන් ගේ උකුසු ඇසට ලක් නො වී පීඨ පරිශ්‍රයේ ගේට්ටුවෙන් ඇතුළු වීම මහත් ම අපහසු කාර්යය යි. එහෙත් මම සති දෙක තුනක් ම ඉතා සාර්ථක ව ඒ මාරකය පැනැගන්නට සමත් වීමි. ආ පසු නවාතැනට යන විට ද ආ පාරෙන් ම යාමට පරිස්සම් වීමි.

එහෙත් එක් දවසක් මාරකය විස්තාරණය වී තිබිණි. එදා පීඨයේ ගේට්ටුවෙන් ඇතුළේ ද කුණු සින්නෝ කිහිප දෙනෙක් සිටිය හ. මම සිත දැඩි කැරගෙන ඇතුළු වී අඩියට දෙකට ගියෙමි. ඒ සින්නන් ගේ ඇසට මා ලක් වූයේ නැත. ඉන් පසු කිහිප දිනක් ම එතැන ද සින්නන් සිටි නමුදු ඔවුනට මා ගැන නිච්චියක් වූයේ නැත. මා සරසවි එන්නේ ඔවුන් දුන් ලිපි ගොනුව කන්තෝරු මල්ලක ඔබා මල්ල උරහිසේ එල්ලාගෙන බැවින් ඔවුන් මා නවක ශිෂ්‍යයකු බව හැඳිනගැනීමට අසමත් වීම අරුමයෙක් නො වේ. අනෙක් අතට ඒ දිනවල මා වැඩියක් ම ඇන්දේ සුදු කමිසයත් සුදු කලිසමත් ය. තනි සුදු ඇඳ කළු පා වහන් හා කළු ඉණ පටිය හා පැලැඳ ගෙන එන මා බැලු බැල්මට නවක ශිෂ්‍යයකු බව පෙනෙන්නේ නැත. මම ඒ වෙස් පෙරැළියෙන් උපරිම ප්‍රයෝජනය ගතිමි.

එක් දිනක් මේ හැංගි මුත්තන් සෙල්ලම නවත්තන්නට සිදු විය. දින පතා ම පාහේ සුදු ඇඳගෙන උදේට එන හවසට යන එකකු ඉන්නා බව ඔවුනට ඉව වැටී තිබිණි. එහෙත් මා නවක ශිෂ්‍යයකු ද යන්න ගැන ඔවුනට තුබුණේ සැකයක් පමණි. එදා දෙසුම් දෙකක් අතර සැලැකිය යුතු ඉඩක් තුබුණෙන් මම පොත්ගුලට රිංගන අටියෙන් කුණු සින්නන් පසු කැර යන්නට වීමි. එකෙක් මා දුටුයේ ය. "මචං අරූ ෆස්ට් ඉයර් ද?" හේ අනෙකකු ගෙන් පිළිවිසී. "දන්නෑ බං. මාත් දැකලා තියෙනවා, ඩෑල් එක හැම දා ම මෙතැනින් යනවා" අනෙකා පැවැසී. ඔවුන් ගේ මේ දෙඩුම් මා සවනෙහි වැටේ. දැන් කනේ යවුල් අනින්නා සේ ය. හදේ පිටි කොටන්නා සේ ය. "අඩෝ, කෝකටත් ටෝක් කරලා බලමු" යි කුණු සින්නෝ තීරණයකට අවුත් "ඒයි ෆස්ට් ඉයර්, ෆස්ට් ඉයර්" යි දෙතුන් විටක් උස් හඬින් කෑ ගෑ හ.

නෑසුණු විලාසයෙන් මඟ හැර යන්නට උඩු සිත කියයි. එහෙත් අනන්‍යතාව හෙළි වූ දාක කුමක් වේ දැ යි යටි හිත අසයි. "ඕන එකක් වෙච්චාවෙ" යි සිතාගෙන මම හැරී බැලුවෙමි. "මෙහෙ වරෙං" එකෙක් කී ය. මම ළඟට ගියෙමි. "අඩෝ උඹ ෆස්ට් ඉයර් ද?" හේ ඇසී ය. "ඔව්" මම කීවෙමි. "කියපං කැන්ටින් කීයක් තියෙනව ද?" මම කීයක් දෝ හිතට ආ ගණනක් කීවෙමි. උත්තරය වැරැදි බව කුණු සින්නන් ගේ මුහුණුවලින් පෙනිණි. "ඇත්ත කියපං. උඹ බැම්මට අහු වෙලා තියෙනවද?" එකෙක් ඇසී ය. "නෑ" මම කීවෙමි. "කවදා වත් ම නෑ??" තව එකෙක් විස්මයයෙන් ඇසී ය. "පළවෙනි දවසෙ මාව නැනැවැත්තුවා. ඊට පස්සෙ නම් නැවැත්තුවෙ නෑ" මම කියාගෙන ගියෙමි. "නවත්තයි ද ඉතිං? බලපං උඹ ඇඳගෙන ඉන්න හැටි. අපි හිතුවෙ උඹ ලෙචෙක් කියලා. ඒ බං, බලපංකො මූව" හේ තවෙකකුට ඇරියුම් කෙළේ ය.

ඒකා ද රැග් කරමින් සිටි කෙල්ලන් පිටත් කොට මා දෙසට ආවේ "මූ ෆස්ට් ඉයර් ද?" අසමිනි. "ඒක තමයි බං. බලපංකො ඇඳලා ඉන්න හැටි" ඇරියුම් කළ එකා උත්තර දිනි. "අඩෝ, උඹ අපේ ඉස්කොලෙ ලොකු සර් වගේ" හේ ඔලොක්කුවට සිනා වෙමින් කීවේ ය. "මූව බැම්මෙන් නවත්තන්නෙ නෑ ලු" ඇරියුම් කළ එකා පැමිණිල්ලක් විලාසයෙන් කී ය. ඒ පැමිණිල්ලෙන් පසු මා ලොකු සර් වැන්නැ යි කී තැනැත්තේ තරවටුව පටන් ගති. "උඹ මීට පස්සෙ සුදු කලිසම අඳිනවා නම් සුදු කමිසේ අඳින්න බෑ. සුදු කමිසෙ අඳිනවා නම් සුදු කලිසම අඳින්න බෑ. තේරුණා ද?" මම හිස සැලීමි. මේ වන විට එතැන සිටි කුණු සින්නන් සියලු දෙනා ම පාහේ මා වට කැරගෙන ය. "මීට පස්සෙ උඹව බැම්මෙන් නැවැත්තුවෙ නැත්නම් උඹ නැවතිලා අයියලා කියලා දෙන දේවල් අහගන්න ඕන." ඉන් එකෙක් කී ය. "අනික ලෙක්චර් එකේ වෙලාවට ම නැතුව ටිකක් කලින් එන්න ඕන" තවෙකෙක් එකතු කෙළේ ය. මම කර බාගෙන හිස සැලීමි.

"හා, හා, දැන් පලයං" ඈතින් ආචාර්යවරයකු එනු දුටු එකෙක් කීවේ ය. මම ඉක්මන් කෙළෙමි. "හෙට එන කොට මෙච්චර දවස් උගන්නපුවා උඹට පුළුවන් වෙලා තියෙන්න ඕන" මට යන්නට මඟ ඉඩ අරිමින් අවසන් තරවටුව ද එකෙක් කෙළේ ය. තෙල් බැම්මේ කුණු සින්නන් මගේ මුහුණ හඳුනාගත්තේ එදා ය. එදායින් පසු උන් ගේ කුණුහරුප සංදර්ශනය නොවිඳ සරසවියට ඇතුළු වීමක් නුවූ තරමි.

(මෙහි සංවාද ලියා දැක්වූයේ කුණු සින්නන් කියූ කුණුහරුප ඉවත් කොට බව සලකන්න.)