Tuesday, June 13, 2017

රිච්මන්ඩ් යටගියාව සොයා ගිය හැටි



ඉස්සර මා නිතොර ආ ගිය මුද්‍රණ ආයතනයකට කලකට පසු අද හවස පා තැබූයෙමි. එහි පිවිසි විගස ම නැහැ පුඩු කිතිකවා-ලූ නැවුම් තීන්ත සුවඳින් මා ගේ මතක සයුර කැලැඹී-ගියේ ය. පාත මහලින් නො කඩවා ඇසෙන මුද්‍රණ යන්ත්‍රයේ ඒකාකාරී ඝෝෂාව ඔස්සේ මම වසර කිහිපයක් අතීතයට ඇදී ගියෙමි. උසස් පෙළ විභාගය පෙනී සිට සරසවි වරම් ලැබෙන තුරු අවුරුදු එකහමාරක පමණ කාලයක් මා ගෙවා දැමූයේ කලින් කලට පළින් පළට යමින් පූර්ණ ශාස්ත්‍රීය සඤ්චාරයක දෙමිනි. මුද්‍රණ ආයතන යනු එසේ මා නිතොර ආ ගිය තැන්වලින් එකකි. එසේ ආ ගිය හැම තැනකට ම නැවැත පා තබන විට එක්තරා සොඳුරු මිනිසෙක් මට සිහි වෙයි. ඒ කන්දේ සිසිල් සුරසේන මහතා ය.

එ දවස මා ගේ බොහෝ උදය වරු ගෙවුණේ රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සඟරා හා කෞතුකාගාර කමිටු කාර්යාලයයේ ය. ඒ සුරසේන මහතා සමඟ පැරැණි පතපොත පෙරළමින් විද්‍යාලයයේ ඉතිහාසය ලියමිනි. සුරසේන මහතා ප්‍රකට පරිසරවෙදියකු මෙන් ම ඉතිහාස පර්යේෂකක් ද වේ. එ වක අප ලියන්නට පටන් ගත් ඉතිහාස පොත තව ම නිමහම් දුටුයේ නැති නමුත් මඳ කලෙකින් එහි සංක්ෂිප්තයක් පළ කරන්නට අපට හැකි විය. තව ද වසර කිහිපයක් ම කන්නන්ගර සමරු උලෙළ පැවැත්වීමට ද මම සුරසේන මහතාට උදවු කෙළෙමි. ඒ වූ කලී ජීවිතයේ අන් කිසි දාකටත් වඩා උද්යෝගයෙන් සහ ජවයෙන් මා වැඩ කළ සමයය යි.


එ වක සතියකට එක් දවසක් වත් සුරසේන මහතාත් මාත් රුහුණු කුමාරියේ නැඟී කොළොම් පුරයට යන්නේ රිච්මන්ඩ් ඉතිහාසය හොයන්නට ය. ගාල්ලෙන් දුම්රියේ නැඟුණු තැන් පටන් කොළොඹ කොටුවෙන් බැහැ-ගන්නා තුරු අප කෙළේ කිසි යම් පැරැණි පොතක් කියවමින් වැදැගත් කරුණු ලියා-ගැනීම යි. ඒ අතර උදේට කිසිවක් කෑ යුතු බැවින් විස්කොතුවකින් හෝ බනිසකින් හෝ අපි යන්තම් කුස රවටමු. කොළොම් පුරයට ළඟා වූ පසු එහි අප නිතොර ගැවැසුණු තිප්පොළ වූයේ රාජ්‍ය ලේඛනාගාරය සහ මෙතෝදිස්ත මූලස්ථානය යි. උදේ නවයහමාරට පමණ ඉන් එකකට රිංගා-ගන්නා අප නැවැත එළියට එන්නේ හවස හතරට පමණ ඒ ආයතනය වසා-දමන විට ය. හවස හතරට වත් ඒ ආයතන වසා-දැමීම ගැන මම එ කල සතුටු වූයෙමි. නැත්නම් හවස හතරට වත් දවල් කෑම කියා එකක් ලැබෙන්නේ නැත. කැප වීමෙන් වැඩ කිරීම පිළිබඳ මට පරමාදර්ශය වූයේ සුරසේන මහතා ය. එ තරම් කැප වීමෙන් වැඩ කළ අන් කිසිවකු මා දැක නැත.         

කොළොඹ ගොස් හොයා-ගෙන එන විස්තර ගොනු කොට ලිවීම සිදු කැරුණේ රිච්මන්ඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගම් කාර්යාලයයේ දී ය. සුරසේන මහතා ගොනු කොට කියන විස්තර අදාළ මූලාශ්‍රය පිළිබඳ ව සටහන් සහිත ව මම කුරුටු ගා-ගනිමි; පසු ව අත දිග ඇර-ලා ලියමි. එහෙත් ඒ ලියන ලිපි කිසිවක් මුල් වටයෙන් ම අනුමත වූයේ නැත. මා දන්නා සියලු ශිල්ප දක්වමින් කොතරම් හොඳට ලීව ද සුරසේන මහතා කප-කපා නැවැත ලියවයි. එතුමා තෘප්ත වන්නේ කිහිප විටක් ලිපිය පිරිපහදු කළ පසු ය. එයින් මට අප්‍රමාණ ඉවසීමක් පුරුදු වූ බව මට දැන් සිතේ. එසේ අප ලියූ ඇතැම් ලිපි සමරු කලාපවල පළ වූ අතර ඇතැම් ඒවා පළ කිරීමට නියමිත සඟරාව සඳහා ය. නොයෙක් වියතුන් ලියූ ලිපි මා ලවා ඉංගිරිසියටත් සිංහලයටත් පරිවර්තනය කරවමින් මා හට පරිවර්තන කාර්යය පුහුණු කළේ ද සුරසේන මහතා ය. ඇතැම් අවස්ථාවක එතුමා ඒ ලිපිවල මුල් කතුවරුන් විමසා පරිවර්තනවල ගුණාත්මක භාවය තහවුරු කොට-ගත්තේ ය.

වරක් කුඩා ඉංගිරිසි පොතක් මට දුන් සුරසේන මහතා එය සිංහලයට පෙරළන්නැ යි කී ය. කන්නන්ගර සිරිමතුන් ගේ ජාතික සේවාව පිළිබඳ ව ලියැවුණු
'Dogged Perseverance Coupled with Fearless Advocacy' නම් වූ ඒ පොත ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ අංශය විසින් සම්පාදනය කරන ලද්දකි. ඒ වසරේ කන්නන්ගර සමරුව වෙනුවෙන් එය පළ කළ යුතු බව කී එතුමා මුළු පොත ම පරිවර්තනය කිරීම සඳහා මට දුන්නේ දෙසතියක පමණ කාලයකි. රෑ දහවල් නො බලා විගහට පරිවර්තන කාර්යය නිම කළ මම අත්පිටපත රැගෙන එතුමා හමුවේ පෙනී-සිටියෙමි. පරිවර්තනය හඬ නඟා කියවන්නැ යි මට අණ දුන් එතුමා පුටුවක හරිබරි ගැසුණේ ය. මම කියවන්නට පටන් ගතිමි. සුරසේන මහතා ඇස් පියා-ගෙන පරිවර්තනයට සවන් දෙයි; ඈනුම් අරියි; ඉඳ හිට ඇතැම් තැනක් හරි නැතැ යි කියයි; වෙනත් වචනයක් යොදන ලෙස උවදෙස් දෙයි. මුළු පොත ම කියවා හමාර වූ පසු අත් පිටපත ගෙන ලිපි ගොනුවක දැමූ එතුමා එය තම කාර්යාලයයේ පොත් අල්මාරියට දැම්මේ ය. ඒ අවුරුද්දේ කන්නන්ගර සමරුවට පොත පළ වූයේ නැත. සුරසේන මහතා ඒ අත් පිටපත නැවැතත් පොත් අල්මාරියෙන් එළියට වැඩැම්මූයේ හරියට ම අවුරුද්දක් ගිය තැන ය. එතුමා එය ආ පසු අත තැබුවේ එහි තවත් සුද්ද කළ යුතු තැන් ඇත්නම් සුද්ද කරන ලෙස කියමිනි. මම එය පෙරළා බැලුවෙමි. මුල් කෙටුම්පත පළ නොකිරීම ගැන දහස් වර සතුටු වුණෙමි. එ වර මා නැවැත නැවැත අත් පිටපත සුද්ද කළ පසු සුරසේන මහතා එය පළ කැරැවූයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙනි.       

ශාස්ත්‍ර පර්යේෂකයකුට තිබිය යුතු ශික්ෂණය හා ඉවැසීම මා පුරුදු වූයේ යකකු බැඳ-ගත්තා සේ සුරසේන මහතා හා වැඩ කිරීමෙනි. ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම පිළිබඳ ව මහාචාර්ය පී. ජී. කුරේ විසින් ලියන ලද පොතක් එතුමා සතු ව තිබිණි. ඒ පොතේ තමා සතු ව තුබුණු එක ම පිටපත එතුමා මට තිළිණ කෙළේ මා සරසවියට ගිය පසු එය මට ප්‍රයෝජනවත් වනු ඇති බව කියමිනි. සරසවියට පිවිසෙන්නට පෙරාතු ව ඒ පොත මෙන් ම එතුමා ගේ ඇසුර ද මා වෙත ලැබීම පූර්ව කෘත පුණ්‍ය බල මහිමය නිසා ම සිදු වූයෙකැ යි මම තරයේ අදහමි. අද හවස සුපුරුදු මුද්‍රණ ආයතනයකට පා තැබූ වෙලේ මට සුරසේන මහතා සිහි වූයේ, එ වක අප එක් ව ලියූ නොයෙක් ලිපි රැගත් සමරු කලාප හා පොත් මුද්‍රණය කරන විට දිවා රෑ නො බලා මුද්‍රණ ආයතනයට වී සෝදුපත් කියැවූයේ මා බැවිනි. තරග පිටියේ දිවෙන තුරඟකු මෙන් දේශන හා විභාග පසු පස දිවෙමින් අද ගෙවන ඒකාකාරී දිවියට වඩා එ දවස් දාහෙන් සම්පතකි. මේ තරග දිවුම ඉවර වූ පසු නැවැතත් එතුමා හා එක් වීමට මම ඇඟිලි ගණිමි.

කන්දේ සිසිල් සුරසේන මහතාට ආයුරාරෝග්‍ය සම්පත්තිය සැලැසේ වා!

සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ 'රීති' මිථ්‍යාව!



මහාචාර්ය ජේ. බී දිසානායක පතුරවපු ලොකු මිථ්‍යාවක් තමයි, ඔය සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ කියන රීති විග්‍රහය. මේ සටහනේ අරමුණ වෙන්නේ රීතිය කියන්නේ මොකක් ද කියලා පැහැදිලි කරලා, මහාචාර්ය ජේ. බී. දිසානායක ගේ රීති යන පදයේ සාවද්‍ය ව්‍යවහාරය හෙළි දරවු කිරීම.

රීතිය කියන්නේ පෙරපර දෙදිග ම භාෂා සාහිත්‍ය අධ්‍යයනවල බොහොම පැහැදිලි ව විග්‍රහ කරලා තියෙන සංකල්පයක්. රසවාදය, ගුණවාදය, අලංකාරවාදය, ධ්වනිවාදය, වක්‍රෝක්‌තිවාදය, ඖචිත්‍යවාදය, අනුමිතිවාදය වගේ පෙරදිග කාව්‍ය විචාරවාද අතරින් රීති වාදය ප්‍රධාන ම එකක්. සකුව බැරි නිසා රීතිය සම්බන්ධ පෙරදිග අදහස් ගැන මං වැඩිය දන්නෑ. හැබැයි රීතිය ගැන අපරදිග අදහස් නම් යම් තරමක් කියවලා තියෙනවා. ඉංගිරිසියෙන් රීතියට කියන්නේ style කියලා. භාෂා රීති අධ්‍යයනය කිරීමට වෙන් වුණ විෂය ක්ෂේත්‍රයක් වාග්විද්‍යාවේ තියෙනවා. ඒකට කියන්නේ රීතිවිචාරය කියලා. ඉංගිරිසියෙන් නම් stylistics. ඒ විෂයයේ රීති හැඳින්වෙන්නේ පුද්ගලයා, සන්දර්භය, භාෂා මාධ්‍යය, (සාහිත්‍යයේ නම්) සාහිත්‍ය ප්‍රවර්ගය, අනුභූතිය වගේ විචල්‍ය සාධක අනුව වෙනස් වන භාෂා ව්‍යවහාර හැටියට.

මේ නිර්වචනය අනුව පේනවා, රීතිය පුද්ගල බද්ධ සහ අවස්ථා බද්ධ බව. එක ම පුද්ගලයා වුණත් වෙනස් වෙනස් අවස්ථාවල වෙනස් වෙනස් රීති පාවිච්චි කරනවා. මේකට භාෂණයෙන් උදාහරණයක් ගනිමු: එක ම පුද්ගලයා සභාවක කථා කරන කොට එක විදියක්; යාළුවොත් එක්ක කතා කරන කොට තව විදියක්. ඒත් එක්ක ම ලේඛනයෙන් උදාහරණයක් ගනිමු: එක ම පුද්ගලයා පෙස්සමක් ලියන කොට එක විදියක්; කෙටි කතාවක් ලියන කොට එක විදියක්.මේ උදාහරණ විතරක් සලකා බැලුවත් පැහැදිලි වෙන කාරණේ තමයි රීතිය වෙනස් වෙන්නේ ලේඛනය හරි භාෂණය හරි සඳහා තෝරාගන්න වචන, සරල වාක්‍ය සහ සංකීර්ණ වාක්‍ය ආදි වාක්‍ය සංස්ථිති වගේ ලක්ෂණ අනුව. එහෙම නැතුව අනුගමනය කරන ව්‍යාකරණ පද්ධතිය අනුව නෙවෙයි. සාමාන්‍යයෙන් සිංහලයෙක් සභාවක කථා කරද්දී වුණත් යාළුවොත් එක්ක කථා කරද්දී වුණත් පාවිච්චි කරන්නේ එක ම ව්‍යාකරණ පද්ධතිය. මේ උදාහරණයෙදි නම් භාෂණයේ ව්‍යාකරණ පද්ධතිය.

දැන් එතකොට ඔය සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ කියන ඒවා තුන නම් කරලා තියෙන්නේ 'රීති' (styles) හැටියට. හැබැයි ඒවා රීති නෙවෙයි 'ව්‍යාකරණ පද්ධති' (grammatical systems). ඒ බව 'රීති' ගැන මෙච්චර වෙලා කරපු විග්‍රහය අනුව පැහැදිලි වෙන්න ඕන. සම්භාව්‍ය 'රීතිය' කියලා කියන්නේ මධ්‍යතන සිංහල යුගයේ ඉඳන් කෝට්ටේ යුගයේ පරිහානිය දක්වා ම ලියන්න පාවිච්චි කරපු ව්‍යාකරණ පද්ධතියට. සමකාලීන 'රීතිය' කියලා කියන්නේ විසි වැනි සියවසේ ලේඛන සිංහල ව්‍යවහාරයේ පුනර්ජීවනයේ පටන් මේ දක්වා බොහෝ ලේඛකයන් පාවිච්චි කරන ව්‍යාකරණ පද්ධතියට. ඒක නොයෙක් ලක්ෂණ අනුව සම්භාව්‍ය රීතියෙන් වෙනස් වෙනවා. සමතික්‍රමණ 'රීතිය' කියලා කියන්නේ භාෂණ සිංහලයේ ව්‍යාකරණ පද්ධතියට. මේ ලිපිය ලියලා තියෙන්නේ භාෂණ ව්‍යාකරණ පද්ධතිය අනුව.

ඔය සම්භාව්‍ය, සමකාලීන, සමතික්‍රමණ කියන බෙදුම් තුන නම් කරලා හඳුන්වලා දුන්න අය ම කියලා තියෙන විදියට මේ ව්‍යාකරණ පද්ධති තුනෙන් ඕන එකක් පාවිච්චි කරන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. මේ ව්‍යාකරණ පද්ධති තුන ම ලේඛන මාධ්‍යයට වගේ ම භාෂණ මාධ්‍යයටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ව්‍යාකරණ පද්ධති තුනෙන් ම ලියන්න යි කතා කරන්න යි ඕන කෙනෙකුට පුළුවන්. ඒක ඒ කෙනා ගේ අයිතිය සහ රුචිය. ඔයින් එකක් වත් තවත් එකකට වඩා උසස් වත් පහත් වත් නැහැ. හැබැයි පැහැදිලි ව තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේවා 'රීති' නෙවෙයි 'ව්‍යාකරණ පද්ධති' කියන එක.