සිංහල භාෂාවේ ෆ අකුර මුලින් ම භාවිත කෙළේ ඒබ්රහම් මැන්දිස් ගුණසේකර සුරුවන් නො ව එම්. ඒ. ධර්මරත්න සුරුවන් බව හෙළි දරවු කරමින් අගනා ලිපියක් 2014 දී 'දිවයින' පුවත්පතට සැපැයූවෝ බුද්ධික කෝනාර සුරුවෝ ය. එතෙක් ඒබ්රහම් මැන්දිස් ගුණසේකර සුරුවනට පැවැරී තුබුණු ෆ අකුරේ නිර්මාතෘත්වය ඉන් ගිලිහී ගියේ ය. මේ වග ගිනිකටුවැවේ විපුල හිමියෝ ද සිය 'සිංහල අක්ෂර මාලාව' කෘතියෙහි වාර්තා කළ හ.
ෆ අකුරේ නිර්මාතෘත්වය කෙසේ වෙතත් 'ඥානාදර්ශය' සඟරාව,' ඉංගිරිසි සිංහල ශබ්දකෝශය', 'A Comprehensive Grammar of the Sinhalese Language' කෘතිය මඟින් ෆ අකුර ප්රචලිත කිරීමේ ගෞරවය නම් ඒබ්රහම් මැන්දිස් ගුණසේකර සුරුවනට හිමි ය.
මැන්දිස් ගුණසේකර සුරුවන් කිසි විටෙක ෆ අකුරට අයිතිවාසිකම් කීවේ නැත. ඔවුන් ගේ වියරණ පොතෙහි එය හඳුන්වා දෙන්නේ "සිංහල භාෂාවට ඇවැසි වී තිබෙන ඉංගිරිසි f අකුරේ ශබ්දය දීමට ඇතැමකු විසින් මෑතෙක පටන් ... ෆ සංකේතය සකස් කොටගෙන තිබේ" (Of the late years the symbol ෆ ... has been adopted by some to represent the sound of the English letter 'f', which is wanting in the Sinhalese language.) යනුවෙනි (1891: p.28).
මෙහි ලා 'ඇතැමකු' (some) යනු මැන්දිස් ගුණසේකර සුරුවන් 1891 දී සිය වියරණ පොත ලිවීමට පළමු ව 1884 දී 'වෛද්යාභිධානය' ලියූ එම්. ඒ. ධර්මරත්න සුරුවන් හෝ ඊටත් පෙර සිටි කවුරුන් හෝ විය හැකි ය. 1884ට වඩා පැරැණි පොතෙක මේ අකුර හමු වන තෙක් මෙය යෙදූ ආදිතමයා එම්. ඒ. ධර්මරත්න සුරුවන් ලෙස සැලැකීමේ වරදෙක් නො පෙනේ.
ශ්රැති මාත්රයෙන් පමණක් දැන සිටි 'වෛද්යාභිධානය' අපටත් මෙසේ දකින්නට සැලැස්වූ දහම් රණසිංහ සුරුවනට නම් කෙතෙක් පින් දුන්නත් හිතට මදි ය.
No comments:
Post a Comment