Thursday, September 30, 2021

මහා විහාරයට මුවා වී බයිබල් අච්චුවට බුද්ධ ධර්මය බැස්සීමේ තැතක් ද???

කැලණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ගමගේ මහාත්මා විසින් පසු ගිය මාස කිහිපයක් තිස්සේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය බිහේෂ් සම්පත් ආදීන් අරබයා කැරුණු විවිධ ශාස්ත්‍රීය (?) විවේචනවල දී පුනරුක්ත කැරුණු උද්ධෘත පාඨ හා පාරිභාෂික පද හා කිහිපයක් කෙරෙහි අප ගේ විශේෂ අවධානය යොමු විය. ඒවා ක්‍රිස්තු ධර්ම අධ්‍යයන ක්ෂේත්‍රයෙන් උදුරාගත් බව බැලු බැල්මට පෙනුණ නමුත් මඳක් හෝ ඒ ගැන හැදෑරීමෙන් තොර ව ඒ ගැන ලිවීමට අපි මැළි වූමු. දැන් ඒ හැදෑරුම අවසන් බැවින් එතුමා ඒවා උකහාගත් තැන් කවරේ ද යනු එතුමා වටා රොක් වී සිටින පැවිදි, උපැවිදි, නොපැවිදි ඈ සකල විධ බෞද්ධ විද්වතුන් ගේ ද පොදු සිංහල බෞද්ධ ජනයා ගේ ද පහන් සංවේගය පිණිස මෙසේ හෙළි දරවු කරමු. 

1. "පරිවර්තනයක් කියවනවා කියන්නේ වේල් එක පිටින් මනමාලි ඉඹගන්නවා වගේ" - අරුණ ගමගේ
“Reading the Bible in translation is like kissing your new bride through a veil” - එච්. එන්. බියාලික්

මේ වනාහි රාජ් සෝමදේව මහතා ගේ මහාවංස පරිශීලනය ගැනත් බිහේෂ් සම්පත් මහතා ගේ නාට්‍යශාස්ත්‍ර පරිශීලනය ගැනත් අරුණ ගමගේ මහතා යෙදූ වහරකි. යම් කෘතියක් ඇසුරු කිරීමේ දී එය ලියැවුණු මුල් බසින් නොකියවා පරිවර්තනයක් කියැවීමේ නරක බව පෙන්වා දෙන්නට එතුමා මෙය යොදාගත්තේ ය. පර්යේෂණ මූලාශ්‍රය වර්ගීකරණය පිළිබඳ අතිසූක්ෂ්ම විග්‍රහය අනුව යෙතොත් පරිවර්තනයක් ප්‍රාථමික මූලාශ්‍රයයක් නොවන බවත් ද්වෛතීයික මූලාශ්‍රයයක් වන බවත් සැබෑ ය. එහෙත් හැම එකක් ම එය ලියැවුණු මුල් බසින් ම කියවන්නැ යි කීම කොතරම් ප්‍රායෝගික වැඩක් ද යන්න නුමුළා වූ සිහි ඇත්තෝ දනිති. එහෙත් අපට අවශ්‍ය ඒ ගැන කීමට නොව අරුණ ගමගේ මහතා මේ යෙදුම උකහාගත් තැන හෙළි දරවු කිරීමට යි. 

යුදෙවු ජාතික කවියකු වූ හයිම් නච්මන් බියාලික් (Haim Nachman Bialik) විසින් “Reading the Bible in translation is like kissing your new bride through a veil” යන්න නිරතුරු උපුටා පානු ලැබුවේ බයිබලය හදාරන්නන් හීබ්රු භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා යි. මෙහි නිවැරැදි සිංහල පරිවර්තනය වන්නේ "බයිබලයේ පරිවර්තනයක් කියැවීම වනාහි අලුත ගෙනා මනමාලිය වේල් එක පිටින් ම සිඹ ගැනීම වැන්නකි" (පරිවර්තනය මගේ) යනු යි. බයිබල් අධ්‍යයනය ක්ෂේත්‍රයේ මේ මතය මහත් තදින් ප්‍රචාරය කරන පිරිසක් සිටිති. එහෙත් බයිබලය ඉගෙන ගැනීමට නම් එහි පරිවර්තනයක් වුව කම් නැතැ යි කියන්නෝ ද වෙති. 

කෙසේ වෙතත් අරුණ ගමගේ මහතා මෙය උපුටා පාන්නේ යකා දේවධර්මය උපුටා පෑ ආකාරයට ය (විස්තර සඳහා පහත අංක 3 බලන්න). එනම් තම අරමුණට සීහෙන පරිදි රිසි සේ විකෘත කොට සන්දර්භයෙන් ද උදුරා පිටට ගෙන ය. පරිවර්තනයක් කියැවීම යනු "වේල් එක පිටින් මනමාලි සිඹ ගැනීමක්" බව ව්‍යවහාර වන්නේ බයිබල් අධ්‍යයනයේ දී පමණි. ඒ ඇතැම් පරිවර්තනවල මුල් අරුතට හානි වූ තැන් තිබෙන නිසා ය. එහෙත් බයිබල් අධ්‍යයනයෙන් පිට වෙනත් කිසි දු ක්ෂේත්‍රයක ඔය වැනි නියමයක් පනවා නැත. පරිවර්තන අධ්‍යයනය ව්‍යාවහාරික වාග්විද්යාවේ ක්ෂේත්‍රයක් වසයෙන් මේ සා වර්ධනය වී ඇති සමයයෙක බයිබල් භක්තිකයකු කී බසක් උපුටා පාමින් පරිවර්තනවලට නිග්‍රහ කිරීම මහාත්ම ගතියක් නො වේ. 

අනෙක් අතට බයිබල් අධ්‍යයනය ක්ෂේත්‍රයට පරිමිත ව ව්‍යවහාර වන යෙදුමක් ඉතා සියුම් ලෙස විකෘත කොට එහි වූ "බයිබල්  පරිවර්තන" වෙනුවට "ඔනෑ ම පොතක පරිවර්තන" යොදා අරුණ ගමගේ මහතා බෞද්ධ විද්වතුනට පහර දෙන්නේ ඇයි? ථේරවාද බුද්ධ ධර්මය රැකීම උදෙසා අභීත සිංහ විලාසයෙන් වාදාභිමුඛ වන අරුණ ගමගේ මහතා ක්‍රිස්තු භක්තිකයන් ගේ  බයිබල් අධ්‍යයන පිළිබඳ නිර්ණායක බෞද්ධයනට අමෝරන්නේ ඇයි? 

හයිම් නච්මන් බියාලික් ගේ ප්‍රකාශය පිළිබඳ පූර්ණ විවරණයක් සහිත සම්පූර්ණ ලිපිය: https://christiantoday.com.au/news/kissing-through-a-veil-is-not-intimate-enough.html?fbclid=IwAR0uJ_xx0InAQN3r1AJaXmmr20baUcPBsy-GZPZ2DG6tSfRxwEGL_T0uhNU

2. "හැම පරිවර්තනයක් ම අර්ථනිරූපණයකි." - අරුණ ගමගේ
"Every translation is an interpretation." - රැබී ජස්ටින් ගොල්ඩ්ස්ටයින් 

මේ වනාහි ඡන්දස් පිළිබඳ දේශනයක දී අරුණ ගමගේ මහතා විසින් බිහේෂ් සම්පත් මහතා ගේ නාට්‍යශාස්ත්‍ර පරිශීලනය පිළිබඳින් කියන ලද්දකි. එතුමා මෙය යොදාගත්තේ ද යම් කෘතියක් ඇසුරු කිරීමේ දී එය ලියැවුණු මුල් බසින් නොකියවා පරිවර්තනයක් කියැවීමේ නරක බව පෙන්වා දෙන්නට ය. එහෙත් මේ වනාහි පරිවර්තනය අධ්‍යයනයේ ඉඳුරා පිළිගැනෙන කාරණයෙක් නො වේ. පරිවර්තන අධ්‍යයනයේ දී මුල් කෘතියෙහි අන්තර්ගතය පරිවර්තකයා අතින් විකෘත නොවන සේ පරිවර්තනය කිරීමෙන් විශ්වස්ත පරිවර්තන (faithful translations) ලද හැකි බව ඉගැන්වේ. ඒ සඳහා පරිවර්තකයා හුදු ද්විභාෂා ඥානය මතු නො ව මනා අභ්‍යසනයෙකින් ද ව්‍යුත්පත්තියෙකින් ද යුක්ත විය යුතු ය. 

අරුණ ගමගේ මහතා එබඳු පරිවර්තන න්‍යාය සිද්ධාන්ත නොතකා ඇද බාන "Every translation is an interpretation" යන ප්‍රකාශය ද බයිබල් අධ්‍යයන ක්ෂේත්‍රයට පරිමිත ව්‍යවහාරයකි. එහෙත් ඔහු එය තත්සන්දර්භයෙන් පිටට ගෙන භාවිත කරන්නේ බිහේෂ් සම්පත් මහතා නාට්‍යශාස්ත්‍ර පරිවර්තනයක් ඇසුරු කිරීම විවේචනය කිරීමට ය. "හැම පරිවර්තනයක් ම අර්ථ නිරූපණයක්" බව මුලින් කීවේ කවරෙක් ද කියා අප නොදන්නා නමුත් රැබී ජස්ටින් ගොල්ඩ්ස්ටයින් (R. J. Goldestein) විසින් බයිබලය කියවන්නේ නම් හීබ්රු බසින් ම කියැවිය යුතු බව සනාථ කිරීමට විවිධ බයිබල් පරිවර්තනවල එක ම පාඨය විෂම ලෙස යෙදී ඇති තැන් ගණනාවක් පාමින් ලියූ ලිපියට සිරස තබා ඇත්තේ "Every translation is an interpretation" යනුවෙනි. 

"හැම පරිවර්තනයක් ම අර්ථ නිරූපණයක්" බව අරුණ ගමගේ මහතා තර කොට කියන්නේ, ත්‍රිපිටකය පරිවාර කොට ලියැවී ඇති සමස්ත අටුවා සාහිත්‍යය ම කිහිප විටක් භාෂා කිහිපයකට පරිවර්තනය කිරීම නිසා සෑහෙන තරම් විකෘත වී ඇති බවක් ඇඟැවීමට දෝ හෝ යි අපට සාධාරණ සැකයෙක් උපදී. මුලින් මගධ බසින් පැවැති බුද්ධ කාලීන අටුවා හෙළ දිව් ඇදුරන් අතින් හෙළ බසටත්, ඒ හෙළ අටුවා නැවැත බුද්ධඝෝෂාදි ඇදුරන් අතින් පාලි බසටත් දෙවරක් ම පරිවර්තනය වූ හෙයින් එවා ද ඒ හැම අවස්ථාවක දී ම සිදු වූ අර්ථ නිරූපණවලින් දූෂිත බවක් අරුණ ගමගේ මහතා නොකියා කියන බවක් අපට පෙනේ.    

බයිබල් අධ්‍යයනකරුවන්  "බයිබල්  පරිවර්තන" උදෙසා පමණක් යෙදූ නිර්නායකයක් "ඔනෑ ම පොතක පරිවර්තන" උදෙසා යොදාගනිමින් අරුණ ගමගේ මහතා බෞද්ධ විද්වතුනට පහර දෙන්නේ ඇයි? ථේරවාද බුද්ධ ධර්මය රැකීම උදෙසා අභීත සිංහ විලාසයෙන් වාදාභිමුඛ වන අරුණ ගමගේ මහතා ක්‍රිස්තු භක්තිකයන් ගේ  බයිබල් අධ්‍යයන පිළිබඳ නිර්ණායක බෞද්ධයනට අමෝරා අටුවා සාහිත්‍යය ද සැක කරන තැනට ඔවුන් පත් කරන්නේ ඇයි? 

රැබී ජස්ටින් ගොල්ඩ්ස්ටයින් ගේ සම්පූර්ණ ලිපිය: https://www.bethisraelnc.org/translators-note-every-translation-interpretation/?fbclid=IwAR2Iq7RIViXLx8e-FJyf9CwyyzsnWVB4YMoerBxAZVTO5yKw3ja14f6iSBE

3. "යකා පොත කියවන්නේ යකාට උවමනා හැටියට ය" - අරුණ ගමගේ   
"The devil can cite Scripture for his purpose" - විලියම් ශේක්ස්පියර් 

මේ වනාහි රාජ් සෝමදේව මහතා උදෙසා අරුණ ගමගේ මහතා යෙදූ වහරකි. එතුමා මෙය උකහාගෙන ඇත්තේ විලියම් ශේක්ස්පියරයන් ගේ The Merchant of Vanice (වැනීසියේ වෙළෙන්දා) නාට්‍යයේ ප්‍රථම ජවනිකාවේ තුන් වන අංකයෙනි. මේ වනාහි අන්තෝනියෝ (Antonio) විසින් බසානියෝ (Bassanio) උදෙසා කියන ලද්දක කොටසකි. අදාළ සම්පූර්ණ උද්ධෘතය මෙසේ ය:  

Mark you this, Bassanio,
The devil can cite Scripture for his purpose.
An evil soul producing holy witness
Is like a villain with a smiling cheek,
A goodly apple rotten at the heart:
O, what a goodly outside falsehood hath!

- William Shakespeare 

මේක මතක තබාගන්න, බසානියෝ,
යකාටත් තම උවමනාවට ශුද්ධපාඨ පෑ හැකි යි.
දෙවියන් සාක්කි කොට පාන නරුම මිනිහා 
සිනාවෙන් වත සරසාගත් අපරාධකරුවෙක්;
ඇතුළෙන් කුණු වූ ලස්සණ ඇපල් ගෙඩියක්.
අහෝ, නපුරට ඇත්තේ කවර තරම් හොඳ පිට පෙනුමක් ද!

- පරිවර්තනය මගේ

මෙහි ඇත්තේ "The devil can cite Scripture for his purpose." යනුවෙනි. එහි අර්ථය "යකාට තමා ගේ අරමුණ උදෙසා ශුද්ධ පාඨ උපුටා දැක්විය හැකි ය" යන්න යි. මෙහි Scripture යන්නෙහි S අකුර කැපිටල් අකුරින් යොදා ඇති බව සැලැකිල්ලට ගත යුතු ය. දෙවියන්  වහන්සේ හෝ උන් වහන්සේ සම්බන්ධ කවරක් හෝ උදෙසා යෙදෙන නාම පදයක මුල් අකුර කැපිටල් අකුරකින් යෙදීම ඉංගිරිසි භාෂා සම්ප්‍රදායය යි. ඒ නිසා මෙතැන ශුද්ධ පාඨ යනුවෙන් අදහස් වන්නේ දේවධර්මය මිස අන් කිසි පොතක් නො වේ.   

යකා බයිබලය උපුටා පා ජේසු ක්‍රිස්තුන් වහන්සේ යාප්පු කැරගන්නට තනන අවස්තාවක් බයිබලයේ නව ගිවිසුමේ (මතෙව් 4:1-11, ලූක් 4:1-12) සඳහන් වේ. විලියම් ශේක්ස්පියරයන් ඉහත දෙබසෙහි සඳහන් කරන්නේ මේ අවස්ථාව විය හැකි බව දක්වන ක්‍රිස්තු ධර්මය පිළිබඳ කන්සාස් වෙබ් අඩවිය මෙසේ කියයි. 

"This quotation ("The devil can cite Scripture for his purpose.") may be built on Jesus’ encounter with Satan as found in Matthew 4:1-11 and Luke 4:1-12. In these passages, Satan uses Scripture to lure Jesus into exercising pride and pursuing fame and power. Jesus turns aside Satan’s use of Scripture to tempt him into demonstrations of his greatness with quotes from other passages. These passages counter Satan’s arguments that would lure him away from his ministry/calling." 

"මේ උද්ධෘතය ("යකාට තමා ගේ අරමුණ උදෙසා ශුද්ධ පාඨ උපුටා දැක්විය හැකි ය") පදනම් වී ඇත්තේ ජේසුන් වහන්සේට සාතන් (යකා/යක්ෂයා) මුණගැසීම පිළිබඳ මතෙව් 4:1-11 සහ ලූක් 4:1-12 ඡේද මත විය හැකි ය. මේ ඡේදවල දී සාතන් විසින් මානය පතුරන්නටත් කීර්තිය සහ බලය හඹා යන්නටත් ජේසුන් වහන්සේ පොලඹවා ලීමට ශුද්ධ පාඨ භාවිත කරනු ලබයි. වෙනත් ඡේදවලින් කරුණු උපුටා පාන ජේසුන් වහන්සේ සිය මහත්වය පාන්නට සාතන් කළ පෙලැඹවීම පිටු දකින සේක. මේ ඡේද විසින් සාතන් ගේ තර්ක බිඳ හැර ඔහු ගේ අරමුණ ව්‍යර්ථ කොට දමනු ලබයි."

(පරිවර්තනය මගේ)    

බයිබලික පුරා කථාවක් සමඟ සම්බන්ධයක් ශුද්ධ පාඨ පිළිබඳ ශේක්ස්පියරික යෙදුමක් ඉතා සියුම් ලෙස විකෘත කොට එහි වූ "ශුද්ධ පාඨ" වෙනුවට "පොත"  යොදා අරුණ ගමගේ මහතා බෞද්ධ විද්වතුනට පහර දෙන්නේ ඇයි? ථේරවාද බුද්ධ ධර්මය රැකීම උදෙසා අභීත සිංහ විලාසයෙන් වාදාභිමුඛ වන අරුණ ගමගේ මහතා ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ බයිබල් කතා ම උපහැරණ කොට පාන්නේ ඇයි? 

කන්සාස් වෙබ් අඩවියේ සම්පූර්ණ ලිපිය: https://www.kansas.com/living/religion/article1121000.html

4. අර්ථවිවරණය (Exegesis) සහ අර්ථාරෝපණය (Eisegesis)

මේ වනාහි රාජ් සෝමදේව මහතා උදෙසාත් සනරාමර වාදයේ දී බිහේෂ් සම්පත් මහතා උදෙසා අරුණ ගමගේ මහතා යෙදූ වහර දෙකකි. අර්ථය පිළිබඳ පාරිභාෂික දෙකක් බව බැලුබැල්මට පෙනන නමුත් මේ දෙක අර්ථවිචාරයේ (semantics) භාවිත වන පාරිභාෂික පද නො වේ. මේවා ද ක්‍රිස්තියානි ආගමයේ බයිබල් අධ්‍යයනයෙහි ලා භාවිත වන පාරිභාෂික ව්‍යවහාර දෙකකි. ග්‍රීක සම්භවයක් සහිත මේ පද දෙකෙන් Exegesis යන්න 1823 පටන් ඉංගිරිසි භාෂාවේ භාවිත වන්නේ බයිබලය අර්ථවිවරණය කිරීම යන අරුතින් බවත් Eisegesis යන්න 1859 පටන් භාවිත වන්නේ බයිබලයට අර්ථාරෝපණය කිරීම යන අරුතින් බවත් ඉංගිරිසි භාෂාවේ නෛරුක්තික ශබ්දකෝශය සඳහන් කරයි. ඔක්ස්ෆෝඩ්, කේම්බ්‍රිජ් ශබ්දකෝශ ද මේ බව සනාථ කරයි. 

බයිබල අධ්‍යයන ක්ෂේත්‍රයේ මේ දෙක හඳුන්වන්නේ බයිබලය කියවන්නන් ගේ ප්‍රධාන ප්‍රවේශ දෙක යනුවෙනි. එනම් බයිබලය අර්ථ විවරණය කිරීම සහ බයිබලයට අර්ථ ආරෝපණය කිරීම යි. බයිබලය අර්ථ විවරණය කරන්නෝ සැබෑ ක්‍රිස්තු භක්තිකයෝ ද බයිබලයට අර්ථාරෝපණය කරන්නෝ අන්තවාදී මූලධර්මවාදී නිකාය භක්තිකයෝ ද වෙති. ක්‍රිස්තියානිය ප්‍රධාන ආගමික ශුද්ධ පාඨ අධ්‍යයනයෙහි ලා ව්‍යවහාර කරන මේ පද දෙක තත්සන්දර්භයෙන් වියුක්ත කොට ගෙන සිංහල භාෂාව, ඉතිහාසය, පුරාවිද්‍යාව, වාග්විද්‍යාව ආදියෙහි යොදන්නට යාම වනාහි තමා ගේ මිම්මෙන් අනුන් මනින්න යාමක් බව පැහැදිලි ය. 

බයිබල් අධ්‍යයන ක්ෂේත්‍රයේ යෙදෙන exegesis සහ eisegesis යන පාරිභාෂික පද දෙක ඉතා සියුම් ලෙස සන්දර්භයෙන් වියුක්ත කොට යොදා අරුණ ගමගේ මහතා බෞද්ධ විද්වතුනට පහර දෙන්නේ ඇයි? ථේරවාද බුද්ධ ධර්මය රැකීම උදෙසා අභීත සිංහ විලාසයෙන් වාදාභිමුඛ වන අරුණ ගමගේ මහතා  ක්‍රිස්තු භක්තිකයන් ගේ  බයිබල් අධ්‍යයන පිළිබඳ නිර්ණායක බෞද්ධයනට අමෝරන්නේ ඇයි? 

ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ වෙබ් අඩවිය exegesis සහ eisegesis යනු බයිබලය කියවන්නන් ගේ ප්‍රධාන ක්‍රම දෙක බව පෙන්වා දෙන සම්පූර්ණ ලිපිය: https://www.christianity.com/wiki/christian-terms/what-are-exegesis-and-eisegesis.html?fbclid=IwAR3guRNFGjwLI56Sm9SzMDrVW97sw8U46Nf1km0TpNgYMgWT4BuCJ1u_2lc

5. සනරාමර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ 

පසු ගිය දා පැවැති සනරාමර වාදයේ දී වාදියා වූ බිහේෂ් සම්පත් මහතා තර්ක කෙළේ 'සනරාමර' යන පදයෙහි 'බුදුන් වහන්සේ' යන අර්ථය නැති නමුත් බෞද්ධයන් හට ඒ පදයෙන් 'බුදුන් වහන්සේ' ඇඟැවෙන බවත් සිහිපත් වෙන බවත් පෙන්වා දීමට යි. එහි දී ප්‍රතිවාදියා වූ අරුණ ගමගේ මහතා exegesis සහ eisegesis වැනි ක්‍රිස්තියානි ව්‍යවහාර ඇද බාමින් කෙස් පැළෙන තර්ක ගෙනාවේ  'සනරාමර' යන පදයෙන් බුදුන් වහන්සේ ඇඟැවෙන්නේ වත් නැති බව කීමට යි. එතුමා කී බස අසත්‍ය බව පසු ව අප ගේ හිතවතකු කළ ස්වාධීන සමීක්ෂණයකින් සනාථ වුව ද මේ සන්දර්භයට අදාළ කරුණ අනෙකක් බැවින් අපි ඒ ගැන වැඩි විස්තර පසුවට තබමු. 

'සනරාමර' යන පදයෙන් කිසි සේත් ම බුදුන් වහන්සේ ඇඟැවෙන්නේ නැති බවත් එතුමාට ඒ පදයෙන් ඇඟැවෙන්නේ දේවාල, කට්ටඩියන් ආදීන් බවත් අරුණ ගමගේ මහතා ඒ සංවාදයේ දී කීවේ ය. 'සනරාමර' යන පදයෙන් බුදුන් වහන්සේ නො ඇඟැවෙන බව සනාථ කිරීමට මෙතුමා මේ සා උත්සහ ගන්නෙත් එහි ඇඟැවුම් ලෙස දේවාලය ආදිය දක්වන්නේත්, දෙව් ලොව සිට මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් මනුලොවට පැමිණි ජේසු ක්‍රිස්තුන් වහන්සේ හැඳින්වීමට 'සනරාමර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ' වැනි ව්‍යවහාරයකට මඟ පාදන්නට දෝ හෝ යි අපට සාධාරණ සැකයක් ඇති විය. ජේසු ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා නිසාත් මිනිසුන් අතර මිනිස් වෙසින් උපන් නිසාත් අරුණ ගමගේ මහතා ගේ බස අදහාගෙන උන් වහන්සේ හැඳින්වීමට යම් කිතුනුවකු 'සනරාමර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ'  යි යෙදුවහොත් අපි කුමක් කරමු දෝ හෝ යි මා පැන විටේ දී විමැසූ අවස්ථාවේ අරුණ ගමගේ මහතා කීවේ කවුරුන් හෝ එසේ යෙදුව හොත් ඒ ගැන තමාට කරන්නට දෙයක් නැති බවත් මා කරන්නේ එතුමාට අනවශ්‍ය ලේබල් ගැසීමක් බවත් ය. 

ලේබල් ගැසිල්ල කෙසේ වෙතත් සනරාමරගුරු ඈ විසින් බුදුන් වහන්සේ උදෙසා ම සිංහල බෞද්යධන් යෙදූ ඒ පදය ක්‍රිස්තුස් වහන්සේට වුව යෙදීමට මඟ පෑදීම සඳහා දෝ අරුණ ගමගේ මහතා බෞද්ධ විද්වතුනට පහර දෙන්නේ ඇයි? ථේරවාද බුද්ධ ධර්මය රැකීම උදෙසා අභීත සිංහ විලාසයෙන් වාදාභිමුඛ වන අරුණ ගමගේ මහතා  ක්‍රිස්තු භක්තිකයන් අතට බෞද්ධයන් ගේ හද බසෙහි වචන පමුණුවන්නට වැර දරන්නේ ඇයි? 

මෙතෙක් වේලා අප දැක්වූ කරුණු පහ ම පිරික්සා බලන්නකුට අරුණ ගමගේ මහතා ගේ ක්‍රියාකලාපය පිළිබඳ සාධාරණ සැකයක් ඇති වනු වැලැක්විය නොහැකි ය. ථේරවාද බුද්ධ ධර්මය රකින්නට යැ යි කියමින් මහා විහාර නාමය පෙරටු කොටගෙන පැවිදි, උපැවිදි, නොපැවිදි මහ පිරිසක් පිරිවරාගෙන වාදයට අවුත් අරුණ ගමගේ මහතා සිංහල බෞද්ධ විද්වතුනට බයිබල් අධ්‍යයනයේ නිර්ණායක අමෝරන්නේ කවර පරමාර්ථයක් සඳහා ද? මේ ගැන අපට ඇත්තේ මහත් සැකයෙකි. අප දැක්වූ කරුණු පිරික්සා බලන කාට වුව ද ඒ සැකය සාධාරණ බව පෙනී යනු ඇත. ඒ නිසා අප ගේ සැකය දුරු කොට ස්වකීය නිර්දෝෂ භාවය ඔප්පු කිරීම සඳහා අත්තුක්කංසන පරවම්භන ආදියෙන් අනූන, සපම්පෝරික, මයික් මියුට් පන්නයේ ප්‍රසිද්ධ දේශනයක් සහ සංවාදයක් වත් පවත්වන ලෙස අරුණ ගමගේ මහතාට අපි සාදරයෙන් ඇරියුම් කරමු. එදාට අප ගේ සැක දුරු කැරගැනීම සඳහා ප්‍රතිතර්ක නඟන්නට අපට ඉඩක් දෙන මෙන් ද ඉල්ලා සිටිමු. එසේ ඉඩක් නො ලද හොත් අකැමැත්තෙන් වුව ද ප්‍රතිතර්කත් මෙසේ ම ලියන්නට අපට සිදු වනු ඇත. 

"සත්කරු ගත්කරු පමණ - ඔබ හට කරුණෙක් නො වේ
දෙවියකු කී දැයක් වත් - කරුණු නැති වැ නො අදහනු"

- කුමාරතුංග මුනිදාස

1 comment:

  1. අරුණ කීර්ති ගමගේ සහ Buddhist Psychotherapy Read; https://transyl2014.blogspot.com/2023/04/buddhist-psychotherapy.html

    ReplyDelete