Saturday, December 17, 2022

සුප්‍රබුද්ධ පොදු ජන ගායක නිහාල් නෙල්සන්

නිහාල් නෙල්සන්
(1946 ජනවාරි 01 - 2022 දෙසැම්බර 13) 
  
සිංහල සංගීත ක්ෂේත්‍රයේ අනන්‍ය මුද්‍රාවක් සනිටුහන් කළ නිහාල් නෙල්සන් ගේ වියොව මෙරට එක්තරා ගායක කුලකයක සමාප්තිය සනිටුහන් කරයි. මේ ගායක කුලකය වනාහි මෙරට පොදු ජනයා ගේ ජීවිතය ගැන, පොදු ජනයා ගේ බසින්, පොදු ජනයා ගේ රිද්මයට ගයමින්, පොදු ජනයා අතර ගැවැසී ජීවත් වූ ගායක කුලකය යි. එබැවින් ඔහු තුමූ 'පොදු ජන ගායක' යන නමට නිසි වෙති. මා ගේ මෘතිකත්වය අනුව මේ කුලකයට බොහෝ ගායකයන් අයත් වූ යි කිය නොහැකි . මේ කුලකයට අයත් වූයේ වොලී බැස්ටියන්, එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස් සහ ඇතැම් විට ධනපාල උඩවත්ත පමණි. ධනපාල උඩවත්ත අරබයා 'ඇතැම් විට' යන විශේෂණය යෙදුවේ ඔහු ගේ ඇතැම් ගීත පමණක් මෙකී කුලකයට ඇතුළත් වන බැවිනි. එබැවින් පොදු ජන ගායක කුලකයේ අන්තිමයා නිහාල් නෙල්සන් ලෙසත් ඔහු ගේ වියොව පොදු ජන ගායක කුලකයේ නිමාව ලෙසත් හැඳින්වීමේ වරදෙක් නො වේ. මේ ලිපියේ අරමුණ වන්නේ නිහාල් නෙල්සන් සුප්‍රබුද්ධ පොදු ජන ගායකයකු ලෙස හැඳින්වීමට නිසි වන අයුරු පැහැදිලි කිරීම යි.

නිහාල් නෙල්සන් ගේ ගීතවලින් අතිමහත් බහුතරයකට විෂය වූයේ මෙරට නාගරික පොදු ජන ජීවිතය යි. මෙහි ලා 'පොදු ජන' යනුවෙන් මා අදහස් කරන්නේ සමාජවාදි විප්ලවයෙක දී සංයෝගයට පත් වෙති යි කියැවෙන නිර්ධන හා පහළ මධ්‍යම පංක්ති දෙක යි. නිහාල් ගැයූ තරමක් ගැයූවේ මේ පංක්ති දෙකට අදාළ අනුභූතීන් ගැන . "ඇරපං කරාමේ මේක අපේ පයිප්පේ" යි ගැයෙන විට අපට සිහි වන්නේ පැල්පත් නිවාස පෙළක් කෙළවර පොදු වතුර පයිප්පය ළඟ පෝලිම් ගැසී සිටින නාගරික නිර්ධන පංක්තිය යි. "පනස් දෙකේ කොළ කුට්ටම" බෙදූ ජෙමා ගේ වත්ත පමණක් නො "ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" පිහිටියේ මෙවැනි නිවාස පෙළක . "මේ කුඩු අත් හැරියේ නැත්නම් මගෙ රට කුඩේ කුඩු" යි කියා නිහාල් අවවාද කෙළේ පංක්තියට අයත් තාරුණ්‍යයට යි. අනෙක් අතට "කොටස් කරපු ඉඩම් කට්ටි සේල්" එකකින් පරිචි (perches) අටක දහයක ඉඩම් කට්ටියක් ණය වී හෝ මිලට ගෙන ගෙයක් දොරක් සාදා ජීවිතයේ සෙසු කාලය පුරා "පිත්තල මොළ රත් කරගෙන දුක් කරදර පැක් කරගෙන" ණය ගෙවන්නේ අර කී නිර්ධන පංක්තියට වඩා සමාජ ගර්වයෙන් සොච්චම් ආදායමකින් පමණක් ඉහළින් සිටින මෙරට පහළ මධ්‍යම පංක්තිය යි. හැම දා රෑට බත් කා ඇති වූ කල්හි වෙනසකට කියා "ලට්ට පට්ට දාලා හැදුව කොත්තු රොටිය" දිව්‍ය භෝජනයක් සේ බුදින්නට මේ පංක්ති දෙක එක් වෙති. දුකක් කරදරයක් එළැඹි කල්හි "දෝතින් පඬුරු අරං බාර හාර ඔප්පු කරං කතරගමේ දෙවිඳුට වැඳලා" පිහිට යදින්නේ මේ පංක්ති දෙක එක පොදියට යි. මේ වනාහි මොරටු වැසි නිහාල් නෙල්සන් තමා අවට දුටු පොදු ජන ජීවිතය යි.

නාගරික පොදු ජන ජීවිතය පිළිබඳ නිහාල් නෙල්සන් ගායනය කෙළේ සමකාලීන පොදු ජන බසිනි. ඉංගිරිසි - සිංහල කේත මිශ්‍රණයෙන් (code mixing) ද කේත පරික්‍රමණයෙන් (code switching) ද ඔහු ගේ ගී බස අනූන විය. එහෙත් තමන් "ප්‍රබුද්ධ" යැ යි හඳුන්වාගත් ගායකයන් එච්. ආර්. ජෝතිපාලට "පීචං" අඩයාළම ගැසූ කල්හි ඊට එරෙහි " ගොල්ලො ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ" යි කියන්නට ඇවැසි සම්භාව්‍ය භාෂා පෞරුෂය (linguistic personality) නිහාල් නෙල්සන්ට තිබිණි. වනාහි වැල්ලවත්තේ පොලිටෙක්නික් විද්‍යාලයයෙන් පාලි සංස්කෘත භාෂා හැදෑරීමෙන් ඔහු උකහාගත් පෞරුෂය යි. ස්වකීය නාගරික අනුභූති ප්‍රකාශනයට උචිත නාගරික භාෂා විලාසයක් තෝරාගැනීම සඳහා නිහාල් නෙල්සන්ට පිටු බලය සපයන්නට ඇත්තේ මේ භාෂා පෞරුෂය යි. ඉංගිරිසි ගුරුවරියක ගේ එක පුතු වුව හේ තෙමේ නිර්මාණ අවශ්‍යතා මිස කිසි විටෙකත් පංක්ති අවශ්‍යතා තෘප්ත කිරීමට ඉංගිරිසිය යොදා නො ගත්තේ . නාගරික නිර්ධන සහ පහළ මධ්‍යම පංක්ති දෙක ගැන ගැයීමට 'ගීතගෝවින්දයේ' බස වත් 'කව්සිළුමිණේ' බස වත් උචිත නොවන බව ඖචිත්‍යවාදය ගැන අසා තුබුණු හේ දත්තේ . ඊට උචිත වන්නේ හුදෙක් පොදු ජන වහර නො ලැඟූ ගේයතා ගුණයෙන් පිරි නාගරික භාෂාවෙකි. හුදෙක් භාෂා පෞරුෂයෙකින් තොර භාෂා ඥානයක් පමණක් ලැබූවකුට ආචීර්ණ කල්පිකයන් ග්‍රාම්‍යතා දෝෂයෙන් ගැරැහූ 'තද පොර, ෆොරින් කකුල, මචං, ලට්ට පට්ට, සෙට් වෙනවා, එන්ටර් වෙනවා' වැනි නාගරික පොදු ජන ව්‍යවහාර ගීත පදමාලා සඳහා යොදාගැනීමට හැකි වන්නේ නැත. එබැවින් ආචීර්ණ කල්පිකයන් ගේ සාහිත්‍ය සිද්ධාන්ත අතික්‍රමණය කොට නාගරික අනුභූතීන් නාගරික භාෂාවෙන් ගැයීමට පෞරුෂය තුබූ නිහාල් නෙල්සන්ට " ගොල්ලො ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ යි" කියන්නට සුජාත අයිතියක් තිබිණි. ගීතයේ භාෂාව විෂයයෙහි නිහාල් නෙල්සන් කළ අත් හදා බැලීම් ගැන සිතන්නට තරම් වත් පෞරුෂයක් ප්‍රබුද්ධ කුලකයට තුබුණේ නැත.

නිහාල් නෙල්සන් ඉපැදී, හැදී, වැඩී ජීවත් වූයේ නාගරික පොදු ජනයා අතර . එබැවින් ඔහු ගායනය කෙළේ නාගරික පොදු ජනයා ගැන . මොරටු වැසි නාගරිකයකු වූ ඔහු ප්‍රබුද්ධත්වයට පත් වීම උදෙසා ගම පිළිබඳ ව්‍යාජ සෞන්දර්ය වර්ණනයේ යෙදුණේ නැත. මේ නිර්ව්‍යාජත්වය ඔහු ගේ නිර්මාණවල සේ ජීවිතයේ ගප් වී තිබිණි. මොරටුවේ සල්ගාදු හෝටලයට ගොඩ වැදී එහි එන යන නානා ප්‍රකාර මිනිසුන් සමඟ තේ බිබී අල්ලාප සල්ලාපයෙන් කාලය ගත කිරීම නිහාල් නෙල්සන් හට ප්‍රියකර වූ බව තතු දත්තෝ පවසති. ව්‍යාජ තාරකා ප්‍රතිරූපයක් (star personality) නඩත්තු කිරීම සඳහා තමා අයත් නොවන ඉහළ මධ්‍යම පංක්තික සාටෝප කෙරෙහි දළ ලොබින් බොරු හර පසු පස හඹා යන බොහෝ ගායන ශිල්පීන් ගණයට නිහාල් නෙල්සන් අයත් නො වී ය. හේ තෙමේ පොළොවේ පය ගසා ජීවත් විය. නිහාල් ගේ පූර්වගාමියකු වූ එම්. එස්. ප්‍රනාන්දු  කෙරෙහි මේ ගුණය පැවැතිණි. ගල්කිස්සේ හෝටලය ළඟ සිටි ආතර් අයියා, පොල් විකිණූ මැගි අක්කා, ටැක්සි කාරයා ආදි වසයෙන් එම්. එස්. තමාට හමු වූ පොදු ජනයා පිළිබඳ ගී ගැයී . නිහාල් නෙල්සන් මේ අනුයමින් බජව් කාමරයේ ගුණෙ අයියා, බූරු පොළේ ජෙමා, කොත්තු බාස්, බස් කොන්දොස්තර මෙන් වතුර කරාමය ළඟට එන විවිධ චරිත තමා හා ගැවැසි නාගරික පොදු ජනයා පිළිබඳ ගැයී . ගීතයට එවන් මිනිසුන් වස්තු විෂයය කොටගෙන සැබෑ ජීවිතයේ දී ඔවුන් ගෙන් ගවු ගණනක් ඈත් ජීවත් වීමේ දෙබිඩි පිළිවෙත නිහාල් නෙල්ස්න් ගේ ක්‍රමය නො වී ය. හැත්තෑව දසකයේ දී නිහාල් නෙල්සන් ගෙදර ගිය ලංගම බසයේ කොන්දොස්තර ව සිටි හේමසිරි හල්පිටට ගීත රචකයකු වසයෙන් 'පිල් හට ගත්තේ' නිහාල් නෙල්සන් "ගුණෙ අයියා ගේ කාමරේ" ලිවීමට ඔහුට දුන් අවස්ථාව නිසා ය. හැම දෙනා කෙරෙහි ම පරිපූර්ණ සමානාත්මතාවෙන් පැවැත්තේ වුව නිහාල් නෙල්සන් කිසිවකු ගේ දුර්ගුණ උකහා නො ගත්තේ . නිර්මාංස, නිර්මද්‍ය පිළිවෙත්හි පිහිටි ඔහු නාගරික පොදු ජනයා අතර ගෙවූයේ නිර්මල පද්මාකාර ජීවිතයෙකි.

නිහාල් නෙල්සන් වඩාත් සතුටු වූයේ පොදු ජනයා ඉදිරියට ගොස් ඔවුන් වෙනුවෙන් ගී ගැයීමෙනි. සිය ගීතවලට ගුවන්විදුලියේ ප්‍රබුද්ධයන් නානා තහඤ්චි පනවත් දී හේ අකම්පිත ප්‍රසංග වේදිකාවේ ජය කෙහෙලි නැංවී . ඉස්සකු සේ එහාට මෙහාට පනින අතර මයික්‍රෆෝනය උඩ දමමින් අතින් අතට මාරු කරමින් නිහාල් නෙල්සන් කළ ඉදිරි පත් කිරීම ඔහු ගේ ගායනයෙහි ප්‍රාසංගිකත්වය ඉහළ නැංවී . කොතරම් නැටුම් වැටුම් සමඟ ගායනය කළ නිහාල් නෙල්සන් කිසි විටෙක හති අරිමින් ගී ගැයුවේ නැත. පැහැදිලි උච්චාරණයක් අචල ස්වරයක් නිහාල් නෙල්සන් සතු තිබිණි. මුල් පටිගත කිරීමෙහි වූ පරිද්දෙන් ම සජීවී ප්‍රසංග වේදිකාවේ දී ගායනය කිරීමට හැත්තෑ පස් හැවිරිදි වියේ දී පවා නිහාල් නෙල්සන් හට තුබුණු හැකියාව බොහෝ ප්‍රබුද්ධයනට තුබුණේ නැත. මේ සියල්ල ඔහුට සංගීත ප්‍රසංග සඳහා අනවරත අනම්‍ය ඉල්ලුමක් ඇති කෙළේ . මේ ඉල්ලුම නිහාල් නෙල්සන් ගේ අභාවය තෙක් නොවෙනස් පැවැතියේ . ප්‍රසංග වේදිකාව සිය එක කෙළි මඬල කොටගත් බැවින් ඔහුට ගීතවලට රූපරචනා කරවා රූපවාහිනී නාළිකාවල ප්‍රචාරය කිරීමේ අවශ්‍යතාවෙක් කිසි දාක ඇති නො වී . එල්. පී. තැටි දහයක්, . පී. තැටි පනහක්, කැසට් පට එකසිය පහළොවක් පිරෙන්නට ගීත දහස් ගණනක් ගායනය කළ නිහාල් නෙල්සන් හට ඇති වන්නට ගීත තිබිණි. එබැවින් ගීත කැබැලි එකට අමුණා අවිරාම ගීතාවලියක් (nonstop) ගායනය කිරීම බාල වැඩක් බව ඔහු ගේ කල්පනාව විය. එබැවින් නිහාල් නෙල්සන් කිසි දාක අවිරාම ගීතාවලි ගායනය කෙළේ නැත. හැම විට පොදු ජනයා ඉදිරියට ගොස් සම්පූර්ණ ගීත නිසි පරිදි ගායනය කොට ඔවුන් පිනැවීමෙන් පමණක් හේ සතුටට පත් විය.

නිහාල් නෙල්සන් ඔහුට කෙණෙහිලි කම් කළ ප්‍රබුද්ධයන් පරයා සුප්‍රබුද්ධත්වයට පත් වූයේ හුදෙක් ම ඔහු ගේ බස් හරඹ නිසා පමණක් නො වේ. නිහාල් නෙල්සන් ස්වකීය ජීවන දෘෂ්ටියෙන් ද බොහෝ ප්‍රබුද්ධයන් පරයා සිටියේ . නිහාල් නෙල්සන් ගේ ගීතවල භාෂා භාවිතය සහ අන්තර්ගතය පිළිබඳ ප්‍රබුද්ධයන් ගේ මහා ගෝරනාඩුවෙක් වරෙක සිළුමිණ පුවත්පතේ පළ විය. කටුක ලෙස නිහාල් නෙල්සන් විවේචනය කරමින් ප්‍රබුද්ධ විචාරකයන් ලියූ පිටු කාලේ, පිටු බාගේ ලිපි දිනවල සිළුමිණේ පළ විය. ඇතැම් කලාකරුවකු නිහාල් නෙල්සන් වෙනුවෙන් හඬ අවදි කරමින් පිළිතුරු ලිපි සැපැයූ නමුදු නිහාල් නෙල්සන් තෙමේ ආර්ය වූ තූෂ්ණීම්භාවය රැක සිටියේ . මේ පිළිබඳ නිහාල් නෙල්සන් ගේ ප්‍රතිචාරය දැනගැනීමට ඔහු ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා සිළුමිණේ මාධ්‍යවේදියෙක් ඔහු හමුවට ගියේ . මේ සා විවේචනයක් සිදු වත් දී මුනි වත රැක සිටින්නේ ඇයි දැ යි විමැසූ විට නිහාල් නෙල්සන් කීවේ "සිළුමිණේ පිටු බාගෙක දැන්වීමක් දාන්න කීයක් යනවද? මට සල්ලි නෑ, මගේ සින්දු අහන්න කියලා වගේ දැන්වීම් දාන්න. ඔය විචාරකයන් මට නොමිලෙම ලබා දෙන්නෙ ලොකු ප්‍රචාරයක් නෙ. මම මොකට නිකං උත්තර බඳින්න ගිහිල්ලා ඒ ප්‍රචාරය අහිමි කරගන්නෙ?" කියා . "මා මළ දා සොහොන් කොතේ ගී ලියන්න එපා" යි ගැයීමෙන් නිහාල් නෙල්සන් සිය පරිණත ලෝක දෘෂ්ටිය චිර ප්‍රකට කෙළේ . ප්‍රබුද්ධ කුලකයේ ගී සිළු මිණ වූ ඩබ්ල්යු. ඩී. අමරදේව "මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනැවි" යි භාවාතිශය පද මාලාවෙකින් ආයාචනය කරද්දී නිහාල් නෙල්සන් කියුවේ තමා මළ පසුත් හැම ගෙදරක ම සතුටින් තමා ගේ ගී අසමින් නැටීම පමණක් ගායකයකු වසයෙන් තමාට ප්‍රමාණවත් බව යි. වනාහි ප්‍රබුද්ධයන් ගේ කන් අඩි පුපුරන්නට දුන් සැර අතුල් පහරෙකි. මට වැටැහෙන පරිදි නම් මරණය පිළිබඳ බෞද්ධ ජීවන දෘෂ්ටියට වඩාත් සමීප වන්නේ නිහාල් නෙල්සන් ගේ දෘෂ්ටිය යි. 

මේ ලිපිය මා ගේ පෞද්ගලික අනුස්මෘති කිහිපයෙකින් නිම කරනු කැමැත්තෙමි. මට වයස අවුරුදු පහක් හයක් වන කාලයේ මා ගේ ප්‍රියතම ගායකයන් වූයේ ප්‍රියන්ත ප්‍රනාන්දු, උපාලි කන්නන්ගර, නිහාල් නෙල්සන්, අයිවෝ ඩෙනිස් සහ ඩබ්ල්යු. ඩී. අමරදේව යි. මේ සියලු දෙනා මා හැඳිනගත්තේ රූපවාහිනී සංගීත වැඩසටහන් නැරැඹීමෙනි. එවක රූපවාහිනී සංගීත ප්‍රසංගවල මේ ශිල්පීන් ගී ගයන තෙක් මම නිදි වරාගෙන නෙත් දල්වා සිටියෙමි. නිහාල් නෙල්සන් ගේ "කුක්කු කූ කූ" ගීයත් ඩබ්ල්යු. ඩී. අමරදේව ගේ "ඉර හඳ පායන ලෝකේ" ගීයත් මා එවක නිතොර මිමිණූ ගීත අතර විය. අද මෙන් එදාත් ගීත කලාවේ ප්‍රබුද්ධ-පීචං භේදයක් මට අදාළ නො වූ බව වැටැහීමෙන් මට මහත් සතුටක් දැනේ. එහෙත් එදා මා පිනැවූ සියලු ශිල්පීන් අද අප අතර නැති බව සිහි වීමෙන් ඒ සතුට පරයා ළය කකියා යන වේදනාවෙක් දැනේ. ප්‍රසිද්ධියේ ඩබ්ල්යු. ඩී. අමරදේව ප්‍රමුඛ ප්‍රබුද්ධ කුලකයේ මහා රසිකයන් ලෙස බැහැවෙමින් හොර රහසේ නිහාල් නෙල්සන් ගේ ගීත රස විඳි සාහිත්‍ය කලා කුහකයන් නිසා නිහාල් නෙල්සන් හට සිදු වූ විශාලතම අසාධාරණය නම් ඔහු පිළිබඳ ප්‍රමාණවත් ශාස්ත්‍රීය අධ්‍යයනයක් මෙතෙක් සිදු නොවීම යි. ඔහු ගේ මරණයෙන් පසු හෝ එවැන්නක් සිදු කිරීමට ගීත කලා විෂයක පර්යේෂකයන් උනන්දු යුතු බව මා ගේ අවංක විශ්වාසය යි.

නිහාල් නෙල්සන් හට උතුම් වූ නිවන් සුව ලැබේ වා!

No comments:

Post a Comment