පාරු පාලමෙන් කොළඹට - ගීත විචාරය

දහ නව වන සියවසේ අග කොළොම් පුරය පසුබිම් කොටගත් ප්‍රේම වෘත්තාන්තයක් වර්ණනා කරමින් අශෝක කෝවිලගේ රචනා කළ මේ ගීතය ඓතිහාසික විශිෂ්ටතාවක් සහිත නිර්මාණයෙකි. රෝහණ වීරසිංහ සංගීතවත් කළ මෙය සුනිල් එදිරිසිංහ මනරම් ලෙස ගැයුවේ ය.

"පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙන කොට අපි හොඳට ම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා"

මෙහි කථකයා නුවර පළාතේ සිට වෙළෙඳ කටයුතු සඳහා ගැල් පෙළකින් කොළොඹ කොටුවට යන එන තරුණයෙකි. ග්‍රෑන්ඩ් පාස් පාරු පාලමෙන් කැලැණි ගඟ තරණය කොට ඔහු රැගත් ගැල් පෙළ කොළොඹ නගරයට සැපත් වෙයි. 'ග්‍රෑන්ඩ් පාස්' (grande passe) යනු පුර්තුගීසි බසින් 'මහ මංකඩ' හෙවත් 'ප්‍රධාන ප්‍රවේශය' යි. නාගලගම් වීදියත් පෑලියගොඩත් යා කරමින් පැවැති පාරු පාලම 1825 සැප්තැම්බර් මස 14 දා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා විසින් විවෘත කරන ලදුව 1895 මැයි 24 දා වික්ටෝරියා පාලම විවෘත කරන තුරු කොළොඹට තුබුණු ප්‍රධාන ම ප්‍රවේශය විය. තරුණයා පිටකොටුවට ළඟා වන විට බොහෝ හවස් වී ඇත. එබැවින් සෙක්කු වීදිය, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය, කෙළින් වීදිය, ගෑස්වර්ක් වීදිය යා වී නිපන් හන්දියේ ගෑස් ලාම්පු පහ දැල්වෙයි. ඒ හන්දියට ඒ නම ලැබුණේ 1872 පටන් එහි දැල්වුණු ගෑස් ලාම්පු පහ නිසා ය. ගෑස්පහ හන්දියෙන් සෙක්කු වීදිය පැත්තට යන තරුණයාට එහි විකුණන්නට තිබෙන කම්බා දැක මතක් වන්නී කයිමන් දොරකඩ වෙසෙන සිය පෙම්වතිය යි. කයිමන් දොරකඩ නමින් හැඳින්වෙන්නේ කොළඹ කොටුවේ නැඟෙනහිරි දොරටුව යි. 'කායිමන්' (kaaiman) යනු ලන්දේසි බසින් කිඹුලා ය. එවක බේරේ වැවේ සිටි කිඹුලන් මේ දොරටුව අසල ගැවැසි බැවින් එය 'කයිමන් දොරකඩ' යන නම් ලබා ඇත. අද එහි ලන්දේසීන් පිහිටුවාලූ සීනු කනුව දක්නට හැකි ය.

"කොළඹ රටේ ඉපදුණාට මට ම ඔබින සෙලෙස්තිනා
බේරෙ වැවට හඳ පෑවුව වාගේ මට උඹේ සිනා
කබාකුරුත්තාව ඇඳන් මුතු දෙපොටක් ගෙලේ දමා
සාන්ත බස්තියන් ඇළේ පාරු පදිමු සෙලෙස්තිනා"

කොළොඹ රටේ ඉපැදුණු එකියක වන නමුත් සෙලෙස්තිනා තමා ගේ ඉරණම්කාරිය බව මේ වෙළෙඳ තරුණයා විශ්වාස කරයි. ඇගේ සිනාව හරියට බේරේ වැවට හඳ පෑයුවා වැනි ය. ඒ සා සෞම්‍ය ය; ප්‍රභා ජනක ය; චමත්කාර ජනක ය. 'සෙලෙස්තිනා' (Selestyna) යනු 'ස්වර්ගීය' යන අරුත් දෙන කිතුනු ආගමික ස්ත්‍රී සංඥා නාමයෙකි. ලතින භාෂාවේ 'ස්වර්ගය' යන අරුත දෙන 'celeste' යන ප්‍රකෘතියෙන් සිද්ධ Selestyna යනු පුර්තුගීසි භාෂාවේ ප්‍රකට ව යෙදෙන්නෙකි. කොළොඹ කොටුවේ ආරක්ෂාව පිණිස 1521 දී පුර්තුගීසීන් ඉදි කළ වැව 1700 දී පමණ වැඩි වර්ධනය කැරුණේ ලන්දේසීන් විසිනි. ඒ වාරි කර්මාන්තයේ නියැළී සිටි ලන්දේසීන් ගේ මහ මැවිසුරුවා වූ 'දෙ බේර්' (De Beer) ගේ නම වැවට ලැබුණේ 'බේරේ වැව' ලෙසිනි. කබාකුරුත්තාවක් හැඳ මුතු දෙපොටක් පැලැඳගෙන සෙලෙස්තිනා සැරැසී සිටින්නී සිය පෙම්වත් වෙළෙඳ තරුණයා සමඟ සාන්ත බස්තියන් ඇළේ පාරු පැදීමට ය. 'කපා' (capa) යනු පුර්තුගීසි බසින් 'ලෝගුව' වැනි අරුත් දෙන පදයෙකි. 'කබා කුරුත්තුව' එවක පහත රට ස්ත්‍රීන් අතර ජනප්‍රිය ව තුබුණු හැට්ටයෙකි. ඔවුන් ඔරු පැදි සාන්ත බස්තියන් ඇළ (St Bastian Canal) යනු වත්මන්හි පිටකොටුවේ පාවෙන වෙළෙඳ පොළ පිහිටි ඇළ යි. එය සාන්ත බස්තියන් කඳු පාමුල පිහිටියෙන් ඒ නම ලැබුණා විය හැකි ය.

"මහ මංකඩ කවි මඩුවක් හෙට හවසට පැවැත්වෙනා
නම් දරාපු කවි කාරයො එහි එන වග කතා වුණා
ට්‍රෑම්කාර් එකේ ගිහිං කවි අහමු ද සෙලෙස්තිනා
ඉංගිරීසි රැජින වගේ මට නම් උඹ සෙලෙස්තිනා"

මේ වෙළෙඳ තරුණයා එදාත් පසු දාත් කොළොඹ රැඳෙන්නෙකි. ඇතැම් විට ඔහු ලැගුම් ගන්නේ කයිමන් දොරකඩ සෙලෙස්තිනා ගේ නිවෙසේ විය හැකි ය. එසේ නම් ඇය ඔහු ගේ උපබිරියක ද විය යුතු ය. එවැනි අඹු-සැමි සබඳතා දහ නව වන සියවසේ වෙළෙඳුන් ගැල්කරුවන් වැනි සඤ්චාරක ජීවිත ගෙවූවනට අමුත්තෙක් නො වී ය. කෙසේ වෙතත් ඔහු පසු දා 'මහ මංකඩ' පැවැත්වෙන කවි මඩුවක් නැරැඹීම සඳහා සෙලෙස්තිනා සමඟ යාමට බලාපොරොත්තු වෙයි. 'මහ මංකඩ' යනු කොළොඹ එන විට ඔහු පසු කොට ආ 'ග්‍රෑන්ඩ් පාස්' ම ය. ඒ එන අතරමඟ දී පසු දා එහි කවි මඩුවක් පැවැත්වෙන බව ඔහු සවන් වැකී ඇත. චිත්‍රපට ශාලා, සමාජ ශාලා, සංගීත ප්‍රසංග ආදිය නොතුබුණු එවක ජනප්‍රිය සංස්කෘතික විනෝදාංග වසයෙන් පැවැතියේ නාඩගම් මඩු, කවි මඩු ආදිය යි. ඔහු ඒ ගමන යෝජනා කරන්නේ 'ට්‍රෑම්කාර්' එකේ යන්නට ය. 1899 සැප්තැම්බර් 12 වැනි දා ආරම්භ වූ ට්‍රෑම්කාර් (tramcar) සේවය කොළොඹ කොටුවේ යෝර්ක් වීදියේ සිට තොටළඟටත් බොරැල්ලටත් ධාවනය විය. ඔවුනට කොළොඹ කොටුවෙන් ට්‍රෑම්කාරයෙක නැඟ ග්‍රෑන්ඩ් පාස්හි දී බැහැගත හැකි ය. ඔහුට සුරූපී සෙලෙස්තිනා පෙනෙන්නේ ඉංගිරිසි රැජින වාගේ ය. මේ කියන්නේ 1876 මැයි 01 වැනි දා සිට 1901 ජනවාරි 22 වැනි දා තෙක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මහා රාජීනිය වූ වික්ටෝරියා මහ රැජින ගැන ය.

මේ වනාහි ඉතිහාසයත් සාහිත්‍යයත් සෞන්දර්යාත්මක ව සංයෝග වූ අපූර්ව නිර්මාණයෙකි. එහෙවු නිර්මාණයට මේ සා අමන රූප රචනයක් කළේ කවරෙක් ද? කැලැණි ගං මිටියාවතේ ඉපැදී හැදී වැඩී එහි ම දිවි ගෙවූ සුනිල් එදිරිසිංහට වත් ඒ අමනයාට දෙකක් ඇන කැලැණි ගඟ හරහා තුබුණු පාරු පාලම ගැන කියා දෙන්නට බැරි වී ද?

https://www.youtube.com/watch?v=jk1BEsWZKUI

Comments

Popular posts from this blog

පුරාණ සුවර්ණ භාෂිත

සිංහල හෝඩියට ඥ ඕනෑ නම් මේ තර්ක හත බිඳින්න.

කොම්පඤ්ඤ වීදිය ද? Slave Island ද? මඤ්ඤං ද?