Monday, January 1, 2018

මැකෝලි ගේ දරුවන් ගේ ගිරිගොරිස් අවුරුද්ද



"We must at present do our best to form a class who may be interpreters between us and the millions whom we govern, - a class of persons Indian in blood and colour, but English in tastes, in opinions, in morals,
and in intellect."
- Thomas Babington Macaulay
2nd February 1835

“අප දැන් වෑයම් කළ යුත්තේ අප හා අප විසින් පාලනය කරනු ලබන දශලක්ෂ ගණනක් ජනයා අතර තෝල්කකම් කිරීම සඳහා ලෙයින් සහ පැහැයෙන් ඉන්දියානුවන් වූ ද රසඥතාව, මතවාද, සාරධර්ම හා චින්තනයෙන් ඉංගිරිසින් වූ ද පංක්තියක් බිහි කිරීමට යි.”
- තෝමස් බැබිංටන් මැකෝලි
1835 පෙබරවාරි 02

__________________________________________________________________

ගිරිගෝරිස් කැලැණ්ඩරේ එක අවුරුද්දක් ඉවර වෙලා තව එකක් පටන් ගැනීම නිමිත්තෙන් මටත් සුබ පැතුම් පණිවිඩ අසූවක් විතර ලැබුණා. මට සුබ පතපු හැම දෙනාට ම මමත් පෙරළා සුබ පැතුවා. මොකක් හරි නිමිති කරගෙන මනුස්සයෙක්ට සුබ පතන එක හොඳ යි. හැබැයි අනික් අතට බැලූවා ම මෙත් බවුන වඩලා පුරුදු සිංහල බෞද්ධයාට අනිකාට සුබ පතන්න අමුතු හේතු ඕනෙත් නැහැ. හැම දා ම තමන් ගේ හිතේ සුබ පැතුම් තියෙන්න එපා යැ.

'පින්කමක් කළාට මදි. පින් අනුමෝදන් වෙන්න නම් පින් වාක්‍යය කියන්න ඕනෑ ය' කියලා හිතන සමකාලීන සිංහල බෞද්ධයා හිතේ තියෙන සුබ පැතුම් අනිකාට කිව්වෙ නැත්නම් ඉටු වෙන එකක් නැහැ කියලා හිතනවා ද දන්නෙ නැහැ. ඒ නිසා දෝ කෙටි පණිවිඩයකින් හරි සුබ පතනවා. අවුරුද්දකට සැරයක් ඔහොම හරි නෑ හිතමිතුරන්ට කතා කරන එක ඒ මානව සම්බන්ධතාවල පැවැත්මට නම් හොඳ තමයි. කොහොම නමුත් ඕකෙන් වාසිය යන්නෙ ජංගම දූරකථන සේවා සපයන සමාගම්වලට.

මට මතක ඇති කාලෙක ඉඳලා මේ ජනේරුව හෙවත් ගිරිගෝරිස් කැලැණ්ඩර් අවුරුද්ද සිංහලයා හරි ඉහළින් සමරනවා. මීට අවුරුදු විස්සකට විතර කලින් මෙහෙමට උජාරු සැමරිල්ලක් තිබුණ බවට මට මතකයක් නැහැ. මට තියෙන ප්‍රශ්නෙ සිංහලයා මොන උළවුවකට ද මේ කැලැණ්ඩරේ පටන් ගන්න දවස සමරන්නෙ කියන එක. සිංහලයාට මේකෙ කිසි ම සංස්කෘතික වටිනා කමක් තියෙන බවක් මට නම් පේන්නෙ නැහැ. හැබැයි යුරෝපීයයාට එහෙම නෙවෙයි.

යුරෝපෙ විතරක් නෙවෙයි ලෝකෙ තවත් බොහෝ ක්‍රිස්තියානි රටවල ජනේරුව සමරන්නෙ නත්තල් සැමරුමේ දිගුවක් විදියට. ඒක ඔවුන්ට සංස්කෘතික වසයෙන් විතරක් නෙවෙයි ආර්ථික වසයෙනුත් වැදගත්. දෙසැම්බර් විසි පස් වැනි දා ඉඳලා ජනවාරි පළමු වැනි දා වෙන කල් සතිය ම ඔවුන්ට උත්සව සමයයක්. ඔය හින්දා නේ සුබ පැතුම් පත්වල 'Seasonal Greetings', 'Merry Christmas & Happy New Year' වගේ යෙදුම් තියෙන්නෙ. නත්තලයි අවුරුද්දයි එක ගැම්මට සමරන එක ඒ අය ගේ සාක්කුවටත් පහසුවක්.

සිංහලයා මේ ක්‍රිස්තියානි (ඉංගිරිසි) අවුරුද්ද සමරන්න යන එක සිංහලයා ගේ සාක්කුවට නම් පහසුවක් වෙන්න කිසි ම විදියක් නැහැ. මොක ද බක් මහේ සිංහල අවුරුද්දට වගේ ම දැන් දැන් සිංහලයා දුරුතු මහේ ඉංගිරිසි අවුරුද්දටත් විය පැහැදම් කරනවා. සිංහල අවුරුද්දෙ කරන නැකැත් චාරිත්‍ර සහ නෑගම් චාරිත්‍ර හැර අනික් ඔක්කොම ඉංගිරිසි අවුරුද්දටත් දැන් කරනවා. අලූත් ඇඳුම් ගන්නවා; ගේදොරේ තීන්ත ගානවා; කිරිබත් කැවිලි හදනවා; රතිඤ්ඤා වෙඩි දානවා; නෑහිතමිතුරන්ට සුබ පැතුම් පණිවිඩ යවනවා; කොටින් ම හොඳ වෙලාවක් බලලා රැකියාවටත් යනවා.

මට නොතේරෙන්නෙ ඇයි මෙහෙම කරන්නෙ කියන එක. සිංහලයා අනාදිමත් කාලයක ඉඳලා අවුරුදු සැමරුවේ බක් මහේ. ඒකට ඓතිහාසික, සංස්කෘතික, දේශගුණික වගේ ම ජ්‍යෝතිර්විද්‍යාත්මක හේතු තියෙනවා. සිංහල බෞද්ධයාට ජනේරු අවුරුද්ද සමරන්න එහෙම හේතු කිසිවක් නැහැ. බක් මහේ අවුරුදු නො සමරන සිංහල ක්‍රිස්තියානියාට නම් දුරුතු මහේ අවුරුදු සමරන්න සාධාරණ හේතු තියෙනවා. ඒත් සිංහල බෞද්ධයාට තියෙන්නෙ අහවල් හේතුවක් ද?

මට තේරෙන හැටියට සිංහල බෞද්ධයා ජනේරු අවුරුද්ද සමරන්න පටන් ගත්තෙ පශ්චාත් යටත්විජිතවාදය අනුකාරකවාදය නිසා. සුද්දට කරන්න ඕනෑ වුණෙත් ඕක ම තමයි. තෝමස් බැබිංටන් මැකෝලි වරක් පැහැදිලි ව කිව්වා ජාතියක් හරියට යටත් කරගන්න නම් ඒ ජාතියේ භාෂාව, සංස්කෘතිය, ශිල්ප ඥානය කියන තුන ම සුද්දගෙ භාෂාවෙන්, සංස්කෘතියෙන්, ශිල්ප ඥානයෙන් ආදේශ කරන්න ඕනෑ ය කියලා. දුරුත්තේ අවුරුදු සමරන අනුකාරකවාදී සිංහලයා අවිඥානික ව අනුබල දෙන්නේ මේ සංස්කෘතික ව්‍යාප්තිවාදයට.

බයිනෙත්තුව ඔළුවට තියලා බයිබලේ අතට දීපු සන්නද්ධ යටත්විජිතවාදය දැන් ඉවර යි. දැන් තියෙන්නෙ සයිබර යටත්විජිතවාදය. දැන් තියෙන්නෙ ගෝලීයකරණය ඔළුවට දාලා කොම්පියුටරේ අතට දුන්නු යටත්විජිතවාදයක්. දැන් කිසි දෙයක් බලෙන් දෙන්නෙ වත් බලෙන් ගන්නෙ වත් නැහැ. සුද්දගෙ ඕනෑ ම කුණු ගොඩක් කිසි විචාරයක් නැතුව ම සිංහලයා කැමැත්තෙන් ම අරගන්නවා. ඕකට උඩගෙඩි දෙන්නෙ හැත්තෑ හතේ බිහි වුණ, ගානකට ආවොත් අම්මා අප්පා වුණත් විකුණන වසල වෙළෙඳ කුලය. දුරුතු මහේ ක්‍රිස්තියානි අවුරුද්ද සංස්කෘතික උත්සවයක් හැටියට මවලා පෙන්නලා සිංහල බෞද්ධයා ගේ සාක්කුව සුද්ද කරන කලාව ඒ අය හොඳට ප්‍රගුණ කරලා තියෙනවා.

ස්වභාෂාව පමණක් අධ්‍යාපන මාධ්‍යය කළාට පස්සෙ බිහි වුණ ළිං මැඩි පරපුර හෙවත් 'පනස් හයේ දරුවො' සහ විවෘත ආර්ථිකය ඇති කළාට පස්සෙ බිහි වුණ ගෝලීය පරපුර හෙවත් 'හැත්තෑ හතේ දරුවො' තමයි දැන් මේ රටේ බහුතරය ඉන්නේ. බැලූබැල්මට පරස්පර වගේ පෙනුණාට ඔය පරපුරු දෙක ම එක වගේ පර ගැත්තො. මෙලෝ විචාරයක් විමංසනයක් නැහැ. අනුන් ගෙන් ගත්තා නම් ඕනෑ දෙයක් හොඳ යි. තමන්ට නැති දෙයක් අනුන් ගෙන් ගන්නවා වගේ නෙවෙයි තමන්ට හොඳ දෙයක් තියෙද්දි අනුන් ගෙ එකක් ගන්නෙ මොකට ද කියලා වත් හිතන්න එපා යැ! එහෙම විචාරයක් ඔය දෙගොල්ලට ම නැහැ. ඔය දෙගොල්ලො ම මැකෝලි ගෙ දරුවො. මෙහෙම කිව්වා ම ඕකුන්ට තරහ යනවා. ඒත් මේවා නොකියා බැහැ.

No comments:

Post a Comment