සංස්කෘත භාෂාවේ 'වංශ' යනුවෙන් යෙදෙන නාමය පාළි භාසාවේ 'වංස' යනුවෙන් සහ සිංහල භාෂාවේ 'වස්' යනුවෙන් යෙදෙනවා. ඒ නිසා 'වංශ' යන්නත් 'වංස' යන්නත් දෙක ම නිවැරැදි යි. හැබැයි ඒවා යෙදෙන පරිසර වෙනස්.
'මහා වංසය', 'දීප වංසය', 'බෝධි වංසය', 'දාඨා වංසය' ආදි අපේ වංස කා බොහොමයක් පාළි භාසාවෙන් ලියැවුණු ඒවා. ඒ නිසා ඒ පොත්වල නම් ලියා දැක්වීමේ දී 'වංස' යන පදය යෙදිය යුතු යි.
සිංහලයෙන් ලියැවුණු 'සිංහල බෝධි වංශය', 'අනාගත වංශය' වැනි පොත්වල 'වංස', 'වංශ' යන දෙකෙන් ඕනෑ එකක් යෙදිය හැකි යි. මොක ද මිශ්‍ර සිංහලයේ පාළි වචනත් සංස්කෘත වචනත් හරි හරියට පාවිච්චි වෙන නිසා.
ඔය අනුව 'ථූප වංසය' මිසක් 'ථූප වංශය' කියන එක උචිත නැහැ. 'ථූප' කියන වචනෙ පාළි නිසා ඒකත් එක්ක ගැළැපෙන්නේ 'වංස' කියන පාළි වචනය.
නිරුක්ති අනුව බැලුවා ම වංශ/ වංස කියන්නේ 'උණ පුරුක' කියන අරුත. යම් ජාතියක පරම්පරා කථාව එකිනෙක බැඳුණු උණ පුරුක් දාමයක් වගේ හින්දා තමයි උපචාරාර්ථයෙන් (metaphoric meaning) ඒකට 'වංස කථාව' කියන්නේ.
No comments:
Post a Comment