සාම්ප්‍රදායික සංස්කෘත ව්‍යාකරණය අනුව 'සද්භාව' යන්නෙහි උපසර්ගයෙක් නැත. 'සත්' යනු සංස්කෘතයේ නාම ප්‍රකෘතියෙකි. '-ත්ව' වැනි තද්ධිත ප්‍රත්‍යය ඊට යෙදී සත්+ත්ව > සත්ත්ව වැනි නාම පද නිපැයෙන්නේ එ බැවිනි. අනෙක් පදයක් හා සන්ධි වීමේ දී අනුයාත ශබ්දවල බලපෑමෙන් 'සත්' යන්න 'සද්/ සජ්/ සච්' වැනි රූපාන්තරණ ගනී. මෙ කී සංස්කෘත භාෂා ව්‍යවහාරය අනුව 'සද්භාව' යනු සන්ධි පදයෙකි. එහි උපසර්ගයෙක් නැත.
'සත්' යන්න සංස්කෘතයෙහි නාම ප්‍රකෘතියක් වුව ද සිංහලයේ දී තවත් නාමයකට පූර්වයෙන් මිස කිසි විටෙක ස්වාධීන ව නොයෙදෙන පරිදි පරිසර සීමනයකට (environment restriction) එය පත් ව ඇත. මේ නිසා සංස්කෘතයේ දී කෙසේ වුව සිංහලයේ දී 'සත්/ සද්/ සජ්/ සච්' යන රූප සියල්ල එක ම උපසර්ගයක පදාණුක විකල්පන (allomorphic alternations) ලෙස සැලැකීම යෝග්‍ය ය.
ජේ. බී. දිසානායක ද 'සත්/ සද්' යන රූප දෙක පූර්වසර්ග (prefixes) ලෙස දක්වයි. (ඉංගිරිසිය දෙස බලාගෙන ඔහු උපසර්ගවලට කියන්නේ 'පූර්වසර්ග' කියා ය. 'සච්/ සජ්' යන රූප දෙක භාෂාවේ යෙදෙන බව ඔහු දන්නේ නැත.) එ හෙත් කුමාරතුංග මුනිදාස ආදි සාම්ප්‍රදායික ව්‍යාකරඥයෝ කිසි විටෙකත් ඒවා උපසර්ග ලෙස නො දක්වති. 'සත්/ සද්/ සජ්/ සච්' යන රූප සංස්කෘතයේ දී නාම ප්‍රකෘති ලෙසත් සිංහලයේ දී උපසර්ග ලෙසත් සැලැකිය යුතු බව මා ගේ පෞද්ගලික මතය යි.
ව්‍යාකරණඥයන් අතර මතභේදයට තුඬු දී ඇති මෙ බඳු කරුණු ඇසුරින් පාසල් සිසුන් ගෙන් පැන විතෑරීම අසාධාරණ බව කිය යුතු ය. මෙ බඳු පැන දිය යුත්තේ සරසවිවල වියරණ උගන්නා සිසුනට විචාරාත්මක විමර්ශන (critical examinations) සැපැයීම සඳහා ය.
No comments:
Post a Comment