සමකාලීන ව්‍යවහාර සිංහලයේ 'බාච්චුව' යන රූපයෙන් ව්‍යවහාර වන පද දෙකෙකි. ඒ දෙක භාෂා දෙකෙක එකිනෙකින් වෙනස් මූලයන් ගෙන් සිද්ධ ය.
'බාච්චුව' යන පදයෙහි එක් අරුතක් නම් 'කුඩා සැහැල්ලූ බෝට්ටුව' යන්න යි. ඒ අරුතින් 'බාජු' යන පදය ද දකුණු පළාතේ ව්‍යවහාර වේ. 'බාජු බෝට්ටු' යනු අද පවා ඇතැම් වැඩිහිටියන් ගෙන් අසන්නට ලැඛෙන්නෙකි. 'බාජු බෝට්ටු' යන්න හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ගේ 'මහා සිංහල ශබ්දකෝශයෙහි' දැක්වෙතත් ඔවුන් ඊට දෙන අරුත නිවැරැදි නො වේ. පුර්තුගීසි භාෂාවේ 'barco' (බාචො) යනු 'සැහැල්ලූ මුහුදු යාත්‍රාව' වැනි අරුතකි. බෝට්ටුවක් හැඳින්වීමට යෙදෙන 'බාච්චුව / බාජුව' යන වදන් සිංහලයට පැමිණියේ එයිනි. ඉංගිරිසි භාෂාවේ 'barge' (බාජ්) යනුවෙන් යෙදෙන වදනත් 'barco' (බාචො) යන පුර්තුගීසි වදනත් ඥාති පද ය.
'බාච්චුව' යන්නෙහි අනෙක් අරුත නම් 'ලිහිල් උඩු කය ඇඳුම' යන්න යි. එය ඇතැම් විට 'බාච්චි' යනුවෙන් ද ව්‍යවහාර වනු ඇසේ. හරිශ්චන්ද්‍ර විජේතුංගයන් ස්වකීය 'මහා සිංහල ශබ්දකෝශයේ' ඊට නම් නිවැරැදි ව අරුත් දී තිබේ. ලන්දේසි භාෂාවේ 'baadje' (බාජ්ජෙ) යනු 'පිරිමින් ගේ උඩු කය ඇඳුම' යන අරුත දෙන වදනෙකි. ඇඳුමක් හැඳින්වීමට යෙදෙන 'බාච්චුව / බාච්චිය' යන වදන් සිංහලයට පැමිණියේ එයිනි. එහි ලා යම් අර්ථ අවනතියක් (semantic degeneration) සිදු ව තිඛෙනු පෙනේ. මුහුදු යාත්‍රාවක් වන 'බාච්චුව'ත් උඩු කය ඇඳුමක් වන මේ 'බාච්චුව'ත් අතර කිසි දු නෛරුක්තික සම්බන්ධයෙක් නැති.
නිවැරැදි අරුත් නිරුත් සහිත ව මේ වදන් ශබ්දකෝශවලට වැද්දගත යුතු ය.
Saturday, March 31, 2018
Tuesday, March 20, 2018
ජෙහාන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලාංකේය පහළ මධ්‍යම පංක්තිය

මගේ විග්‍රහයට කලින් කිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෑත කාලයේ මම බලපු ටෙලි වෘත්තාන්ත අතරින් හොඳ ම කලාත්මක ගුණයක් තියෙන නිර්මාණය 'කූඹියෝ' බව. රංගනය, සංගීතය පමණක් නෙවෙයි කැමරා හැසිරැවීම පවා අතිශය කලාත්මක යි. රූප පෙට්ටියේ හැම දා ම දැකලා දැකලා එපා වෙච්ච පුයර මූණු පෙන්නන්නෙ නැතුව සැබෑ රංගන කෞශල්‍යයක් තිඛෙන නිතර දකින්න නො ලැඛෙන රංගන ශිල්පීන් පිරිසක් මෙහි යොදාගෙන තියෙනවා. ඔවුන් ගේ උපරිම කුසලතාව ප්‍රකට වෙන විදියට හසුරුවාගැනීම ගැන අධ්‍යක්ෂවරයා අගය කළ යුතු යි. තුමිඳු දොඩන්තැන්න, කලණ ගුණසේකර, ටයිටස් ඇන්තනී, පීටර් ද අල්මේදා, පරාක්‍රම, ලක්ෂ්මන් මෙන්ඩිස්, ඩබ්ල්‍යු. ජයසිරි, යුරෙනි නොශිකා, ජගත් මනුවර්ණ කියන්නේ විශිෂ්ට රංගන පෞරුෂ බවට වාදයක් නැහැ. මේ රංගන ශිල්පීන් ඔවුනට හරියට ම ගැළැපෙන චරිතවලට යොදාගැනීම මත තමයි ටෙලි වෘත්තාන්තයේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. විශේෂයෙන් ම තුමිඳු, කලණ, පීටර් කියන තෝරාගැනීම් අධ්‍යක්ෂවරයා හරියට ම කරලා තියෙනවා. හැබැයි කලණ අර අමුතු විදියට උඩ බලාගෙන ඕනවට එපාවට ඇවිදින විදියේ නම් අධිරංගන (overacting) ස්වභාවයක් මට දැනෙනවා. ඒත් ඒකෙන් ලොකු හානියක් නැහැ.
සමස්තයක් වශයෙන් ගත්තා ම .කූඹියෝ. මෑත ඉතිහාසයේ මම බලපු විශිෂ්ට ටෙලි වෘත්තාන්තයක් කියලා හඳුන්වන්න පුළුවන්. වෘත්තාන්තයේ අග හරියේ වින්‍යාස විපර්‍යය (plot twist) සහ වස්තු විකාසන ශීඝ්‍රතාව (fastness of events) නො වෙන්නට 'කූඹියෝ' මං බලපු අතිවිශිෂ්ටතම ටෙලි වෘත්තාන්තය කියලා හඳුන්වන්න තිබුණා. ටිරාන් රට ඉඳලා ඇවිල්ලා ජෙහාන්ව මරන්න හිතාගෙන කනත්තකට ඇදගෙන යන තැන පටන් සිදු වෙන වින්‍යාස විපර්‍යය නිසා ප්‍රේක්ෂකයා මවිතයට පත් වෙනවා. ඔය වින්‍යාස විපර්‍යයෙන් ඇති වන මවිතය නිසා ප්‍රේක්ෂකත්වය වෘත්තාන්තය කෙරෙහි තැබූ විශ්වසනීයතාවට යම් හානියක් වුණ බව යි මගේ පෞද්ගලික කල්පනාව. එතැන ඉඳලා අතීත සංසිද්ධි පිළිබඳ ව ජෙහාන් ඉදිරි පත් කරන අර්ථ නිරූපණ වටහාගන්නත් ඒවා ඒ විදියට ම පිළිගන්නත් අමාරු යි.
අතීත සංසිද්ධි පිළිබඳ ජෙහාන් ගේ අර්ථ නිරූපණ සාධාරණීකරණය කිරීමේ උපක්‍රමයක් වසයෙන් ඇතැම් අතීත දර්ශන නැවැත පෙන්වීමත් දුර්වල උපක්‍රමයක්. එහෙම කිරීමෙන් වස්තු වින්‍යාසයේ හේතුඵල සම්බන්ධය රැකගැනීමට අධ්‍යක්ෂවරයා දරන උත්සාහය ප්‍රේක්ෂකයා හමුවේ නිරුවත් වෙනවා. අනික් අතට විනාඩි විස්සේ කොටස් දෙකක් බැගින් ටෙලි වෘත්තාන්තය සති පතා විකාශය වෙන නිසා අතීත සංසිද්ධි පිළිබඳ ජෙහාන් ඉදිරි පත් කරන සංකීර්ණ අර්ථ නිරූපණ ග්‍රහණය කරගැනීම ප්‍රේක්ෂකයාට අසීරු වෙනවා. ඒ නිසා ජෙහාන් ගේ අර්ථ නිරූපණවල හේතු ඵල සම්බන්ධය හරි හැටි ඒත්තු ගන්න නම් යූටියුබයට ගිහිල්ලා වින්‍යාස විපර්‍යය සිද්ධ වෙච්ච තැන ඉඳලා අවසානය දක්වා ම එක දිගට බලන්න සිද්ධ වෙනවා. මේක විකාශ කාල සීමනය නිසා ඇති වුණ ගැටලූවක්. විනාඩි හතළිහකට සකස් කරලා තිබුණ කොටසක විකාශ කාලය විනාඩි විස්ස දක්වා සීමා කරවපු ITN ආයතනය ඒ ගැටලූවට වග කියන්න ඕනෑ.
දැන් මම මගේ මාතෘකාවට බහින්නම්. බොහෝ දෙනා 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තයට ආකර්ෂණය වුණේ ජෙහාන් ගේ කූටෝපාය දැකලා. ඒ කියන්නේ 'ආතල් එක' පිණිස සහ 'සම්තිං එක' පිණිස ජෙහාන් ගහන 'ගේම්' දැකලා තමයි බොහෝ දෙනෙක් මේ ටෙලි වෘත්තාන්තයට කැමැති වෙන්නේ. ජෙහාන්ට මුලින් ම හිරුණිව හම්බ වුණ දවසෙ විදේශිකයෙක් වගේ කරන රංගනය හුදෙක් ම ආතල් එක පිණිස ගහපු ගේමක්. හැබැයි මාකට් එකෙන් එළවළු අරං සුපර් මාකට් එකෙන් ගෙනාපු විදියට විකුණපු එක සම්තිං එක පිණිස ගහපු ගේමක්. මේ දෙ ආකාරයේ ම ගේම් නිසා ප්‍රේක්ෂකයා ගේ කුතූහලය ඇවිස්සෙනවා. ඊ ළඟට කාට ගේමක් දෙයි ද කියන එක තමයි ප්‍රේක්ෂකයා බලං ඉන්නෙ. ජෙහාන් ගහන ඔය ගේම් ඔක්කොම ප්‍රේක්ෂකයා විඳිනවා.
ඔය අතරේ මා ඇතුළු පිරිසක් 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තයට ආකර්ෂණය වුණේ ජෙහාන් ප්‍රකට කරන ලෝක දෘෂ්ටිය ගැන ඇති වුණ ප්‍රසාදය හින්දා. ශ්‍රී ලාංකේය පහළ මධ්‍යම පංක්තියේ සාටෝප ජීවිතවල ව්‍යාජ පුරුෂාර්ථ ගැන ජෙහාන්ට හොඳ අවබෝධයක් වගේ ම විවේචනයක් තියෙනවා. ටෙලි වෘත්තාන්තයේ මුල් හරියේ ජෙහාන් තනිකර ම ජීවිකාව හොයාගන්නේ පහළ මධ්‍යම පංක්තියේ ව්‍යාජ පුරුෂාර්ථවලට පින් සිද්ධ වෙන්න. ජෙහාන් ගේ එළවළු වෙළෙඳාම ඔහු ඉලක්ක කරන්නේ පහළ මධ්‍යම පංක්තියේ ඉහළ ස්තරයට සහ ඉහළ මධ්‍යම පංක්තියට. ඒ කියන්නේ මාකට් එකට ගිහිල්ලා හොඳ එළවළු ටිකක් තෝරගන්න එක තමන් ගේ සමාජ තත්ත්වයට හොඳ මදි කියලා හිතන ස්තරය තමයි ඔහු එතැන දී ගොනාට අන්දන්නේ. ඊළඟට ඔහු පළ කරපු සඟරාව ඉලක්ක කරන්නේ පහළ මධ්‍යම පංක්තියේ පහළ ස්තරයට. එතැන දී ඔහු ගොනාට අන්දන්නේ ඉහළ සමාජ ස්තරයට නැඟලා 'ජීවිතේ ජය ගන්න' කෙටි පාරවල් හොයන ස්තරය.
ශ්‍රී ලංකාවේ පහළ මධ්‍යම පංක්තියේ ඉහළ ස්තරයත් පහළ ස්තරයත් දෙක ම ගැන ජෙහාන්ට තියෙන අවබෝධය නිසා තමයි 'සුසන්ත සාගර චන්ද්‍රසිරි' කියන නම වෙනුවට 'ජෙහාන් ෆනෑන්ඩො' කියන පොශ් නම ඔහු භාවිතයට ගන්නේ. මේක ඇත්තට ම තමන් ගේ නම පොශ් නැති නිසා පොශ් වීම නැමැති ව්‍යාජ පුරුෂාර්ථයට වහල් වෙලා කරපු වැඩක් නෙවෙයි. ඔහු නම මාරු කරන්නේ ම පොශ් කමට සලකන පහළ මධ්‍යම පංක්තිය ගොනාට ඇන්දීම පහසු කරගැනීම සඳහා. 'ජෙහාන් ෆනෑන්ඩො' කියන නමට පහළ මධ්‍යම පංක්තියේ පහළ ස්තරය සහ නිර්ධන පංක්තිය සලකන්නේ තමන්ට වඩා ඉහළ සමාජයේ සාමාජිකයෙක් ය කියලා හිතලා; පහළ මධ්‍යම පංක්තියේ ඉහළ ස්තරය සහ ධනපති පංක්තිය සලකන්නේ තමන් ගේ සමාජයේ සාමාජිකයෙක් ය කියලා හිතලා. ඒ වුණාට ඇත්තට ම ජෙහාන් කියන්නේ තමන්ට කියලා ඉන්න හිටින්න තැනක් වත් නැති අනාථයෙක්. ඒත් පොළොවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.
ජෙහාන් අයත් වන පහළ මධ්‍යම පංක්තියේ පොදු ජීවන පරමාර්ථ තමයි වැදගත් රස්සාවක් හොයාගැනීම, ලෝන් ගහලා හරි ලොකු ගෙයක් හදාගැනීම, ලීස් කරලා හරි වාහනයක් ගැනීම, ණය වෙලා හරි ලොකුවට මඟුල් කාලා ලස්සණ කෙල්ලෙක් බැඳගැනීම ආදිය. කොටින් ම ඔවුනට අවශ්‍ය කොහොම හරි තමන්ට වඩා ඉහළ සමාජ පංක්තියට රිංගාගන්න. ඕකට කියන්නේ ස්තර අතික්‍රමණ මානසිකත්වය කියලා. ඔය මානසිකත්වය හේතුවෙන් තමන් ගේ ජීවන පරමාර්ථ ඉටු කරගන්න සල්ලි හොයන්න බොහෝ දෙනා මුළු ජීවිත කාලය ම කඹුරනවා. ඔය මානසිකත්වයෙන් මඩනා ලද සමාජ ස්තරය ගැන ජෙහාන් ප්‍රියන්තට කියා දෙන ආකාරය තමයි මේ පින්තූරෙ සඳහන් වෙන්නෙ. ඔය විදියට පහළ මධ්‍යම පංක්තිකයන් හඹා යන ජීවන පරමාර්ථ වෙනුවෙන් කොච්චර හම්බ කළත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කොහොම හරි කරලා තමන් හිටියාට වඩා ඉහළ ස්තරයකට යන්තමින් හරි පය ගහපු දා ඉඳලා ඒ ස්තරයේ සමාජ තත්ත්වය නඩත්තු කරන්න සිද්ධ වෙනවා. එතෙක් කල් සයිවර් කඩේකට ගොඩ වෙලා වඩයක් කාලා ප්ලේන්ටියක් බීපු කෙනාට ඊට පස්සෙ සයිවර් කඩේ තමන් ගේ තත්තවෙට හොඳ මදි වෙනවා. ඒ වෙනුවට ඔහු මැක්ඩොනල්ඩ්ස්, ෆැබ්, ඩොමිනෝස් බැරි නම් අඩු ම තරමේ පෙරේරා ඇන් සන්ස් එකට හරි යනවා.
ජෙහාන් අයත් වෙන්නේ පහළ මධ්‍යම පංක්තියට වුණාට ඔහු ඔය පොදු ජීවන පරමාර්ථ කිසිවක් තකන කෙනෙක් නෙවෙයි. ඔහු ජීවිතයේ මුල් තැන දෙන්නේ 'ආතල්. එකට'. ඔහු තමන් ගේ ශක්ති ප්‍රමාණයෙන් ජීවිතය උපරිමයෙන් විඳිනවා. ඔහු උපයන්නේ තමන් ගේ යැපීම සඳහා විතර යි. ස්තර අතික්‍රමණ පරමාර්ථයෙන් ඔහු කිසි දාක උපයන්නේ නැහැ. ඒ නිසා ඔහු හැම විට ම කරන්නේ තමන්ට .ආතල් එකක්. විඳින්න පුළුවන් දෙයක් විතර යි. 'ඒක වෙන ම ආතල් එකක් බං' කියලා ජෙහාන් නිතර කියන්නේ ඔය හින්දයි. මේ හේතුවෙන් ජෙහාන් ප්‍රධාන ධාරාවේ මධ්‍යම පංක්තිකයා ගෙන් බාහිරස්ථයෙක් (outlier) වෙනවා. ඒ කියන්නේ ඔහු ඉන්නේ රැල්ලෙන් පිටත. ඔහු පිටත ඉඳං ප්‍රධාන ධාරාවේ මධ්‍යම පංක්තිකයන් ගේ සාටෝප ජීවිතවල ව්‍යාජ පුරුෂාර්ථවලට සමච්චල් කරනවා. ඒ ව්‍යාජ පුරුෂාර්ථවලට පින් සිද්ධ වෙන්න ජීවිකාව හොයාගන්න ගමන් ආතල් එකකුත් ගන්නවා. දියුණු වීමේ අධිෂ්ඨානයෙන් ගමේ ඉඳලා නගරයට ඇවිත් රස්සාවක් කරලා කීයක් හරි හරි හම්බ කරගෙන මාමා ගේ දුවව ආවාහ කරගන්න හීන මවන සාමාන්‍ය පහළ මධ්‍යම පංක්තිකයකු වන ප්‍රියන්ත ගේ චරිතයත් එක්ක ජෙහාන් ගේ චරිතය අපූරුවට ප්‍රතිසංසන්දනය (contrast) වෙනවා.
මට 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තය බලන කොට නිරායාසයෙන් ම මතක් වුණේ සෝමවීර සේනානායක අසූව දශකයේ දී නිර්මාණය කළ 'යශෝරාවය' ටෙලි වෘත්තාන්තය. ස්තර අතික්‍රමණ මානසිකත්වයෙන් යුක්ත ව පහළ මධ්‍යම පංක්තියේ ව්‍යාජ පුරුෂාර්ථ හඹා යෑමෙන් විනාශ වෙන වීරසේකර පවුලේ දරුවන් ගේ පුවත තමයි 'යශෝරාවය' ටෙලි වෘත්තාන්තයෙන් කියැවෙන්නේ. වීරසේකර පවුලේ වැඩිමලා වන බලදේව සහ බාලයා වන සූරතිස්ස විතර යි ඔය ව්‍යාජ පුරුෂාර්ථ ගැන අවබෝධයක් ඇති ව ප්‍රධාන ප්‍රවාහයෙන් ඈත් ව ජීවත් වෙන්නේ. බලදේව කියන්නේ ඒ ප්‍රවාහයෙන් බාහිර ව ඉඳගෙන ඉතා මධ්‍යස්ථ ව ඒ දේවල් දිහා බලලා කම්පා වෙන චරිතයක්. ඔහුව ආදර්ශයට ගත්ත සූරතිස්සට මධ්‍යම පංක්තික ප්‍රධාන ප්‍රවාහය පිළිබඳ කොතරම් කම්පාවක් ඇති වෙනවද කිව්වොත් ඔහු අන්තිමේ කිසිවක් දරාගන්න බැරුව ඔළුව හැරුණු අතක යනවා. අන්තිමේ ටෙලි නාට්‍යය ඉවර වෙන්නේ 'ප්‍රවාහයට අන්තර්ගත වුණත් විනාශ වෙනවා; ප්‍රවාහයෙන් බහිර්ගත වුණත් විනාශ වෙනවා' කියන උභතෝකෝටිකය ප්‍රේක්ෂකයා හමුවේ තබමින්. 'යශෝරාවය' ටෙලි වෘත්තාන්තයේ සූරතිස්සත් 'කූඹියෝ' ටෙලි වෘත්තාන්තයේ ජෙහාන් වගේ ම රැකියා විරහිත උපාධිධරයෙක්. සූරතිස්ස එදා තමන් ගේ සමාජාවබෝධය නිසා කම්පාවට පත් වෙන්නේ නැතුව ජෙහාන් වගේ ඒ සමාජාවබෝධය උපයෝගීතාවාදයට පෙරළගත්තා නම් ඔහුටත් සමාජයේ පවතින්න තිබුණා. එහෙම කල්පනා කළා ම එක අතකට 'යශෝරාවය' විසින් ප්‍රේෂ්කයා හමුවේ තැබෙන උභතෝකෝටිකයට 'කූඹියෝ' විසින් පිළිතුරු සැපැයෙනවා.
Thursday, March 8, 2018
වියරණ පැනයට පිළිතුර - 4: සංයුක්ත ස්වර (ද්වියුක්ත ස්වර) සහ සන්ධ්‍යක්ෂර (සන්ධි ස්වර) යනු එකක් ද? දෙකක් ද?
කවර භාෂාවෙක වුව ද ස්වර ශබ්ද අධ්‍යයනයේ දී මුලින් ම උච්චාරණ කාලය (duration) අනුව සියලූ ස්වර හ්‍රස්ව (short) සහ දීර්ඝ (long) යනුයෙන් වර්ග කැරේ. හ්‍රස්ව ගණයට ගැනෙන්නේ උච්චාරණය සඳහා නිමේෂයක් ගත වන ස්වර ය. එනම් 'අ, ඇ, ඉ, උ, ඍ, ඏ, එ, ඔ' යන ස්වර හ්‍රස්‍ව ය. දීර්ඝ ගණයට ගැනෙන්නේ උච්චාරණය සඳහා නිමේෂයකට වඩා ගත වන 'ආ, ඈ, ඊ, ඌ, ඎ, ඐ, ඒ, ඓ, ඕ, ඖ' යන ස්වර ය.
අනතුරු ව කේවල ස්වර (monophthongs) සහ ද්වියුක්ත ස්වර (diphthongs) යනුවෙන් සියලූ ස්වර වර්ග කැරේ. ඒ වර්ගීකරණයට උච්චාරණ කාලයේ බලපෑමෙක් නැත. 'ඓ, ඖ' ස්වර දෙක හැර අන් සියලූ ස්වර කේවල ස්වර ය. 'ඓ' සහ 'ඖ' ස්වර දෙක පමණක් ද්වියුක්ත ස්වර දෙකකි. ඓ ස්වරය හඬවන විට එහි ලා සැබැවින් ම සිදු වන්නේ 'අඉ' යන ස්වර යුග්මය අනන්තර ව උච්චාරණය වීම යි. එසේ ම 'ඖ' යන ස්වරය හඬවන විට එහි ලා සැබැවින් ම සිදු වන්නේ 'අඋ' යන ස්වර යුග්මය අනන්තර ව උච්චාරණය වීම යි.
මේ ස්වර ශබ්ද හැඬැවීමේ දී මෙලෙස ස්වර යුග්මයක් අනන්තර ව උච්චාරණය වන බව ප්‍රභාවලීලේඛ යන්ත්‍රයෙන් (spectrograph) පරීක්ෂා කිරීමෙන් සනාථ කොට ඇත. අනන්තර ව උච්චාරණය වන ස්වර යුග්මය ම එක අක්ෂරයකින් නියෝජනය වන බැවින් ඒවා ද්වියුක්ත ස්වර නමි. එක විට ස්වර ද්වයයක් ම උච්චාරණය වන බැවින් උච්චාරණ කාලය අනුව ද්වියුක්ත ස්වර නියත දීර්ඝ (essentially long) ය.
රජයේ පාසල් පොත්වල 'ද්වියුක්ත ස්වර' (diphthongs) හඳුන්වා ඇත්තේ 'සංයුක්ත ස්වර' (conjunct vowels) යනුවෙනි. ඇත්තෙන් ම ද්වියුක්ත ස්වර යනු සංයුක්ත ස්වරවල එක් ප්‍රභේදයක් පමණි. තව ද .ත්‍රියුක්ත ස්වර. (triphthongs) ආදිය ස්වාභාවික භාෂණයේ තිබේ.
සන්ධි ස්වර (vocalic alternations) යනු ද්වියුක්ත ස්වර/ සංයුක්ත ස්වර සමඟ බොහෝ දෙනා පටලාගන්නා සංකල්පයෙකි. සන්ධි ස්වර යනු උච්චාරණ ලක්ෂණ අනුව කැරෙන වර්ගීකරණයක් නො වේ. ඒ වූකලි භාෂා ව්‍යවහාරයේ පවත්නා දෙයෙකි. සිසුනට ස්වරාදේශ සන්ධි සහ ගුණවෘද්ධි සන්ධි ඉගැනීමට සන්ධි ස්වර පිළිබඳ දැනුම උපකාරවත් වේ.
සන්ධි ස්වර යනු 'ඇ, එ, ඒ, ඓ, ඔ, ඕ, ඖ' යන ස්වර යි. යම් සන්ධි කාර්‍යයක දී සම්මුඛ වබ අසමාන ස්වර යුගලයක් වෙනුවට ආදේශ වන වෙනත් ස්වරයක් වේ නම් ඒ සන්ධි ස්වරයෙකි. මෙහි දී ඇත්තෙන් ම සිදු වන්නේ අසමාන ස්වර යුගලය වෙනත් ස්වරයක් හා විකල්පනය වීම යි. එසේ විකල්පනය වන ස්වරය කේවල ස්වරයක් හෝ ද්වියුක්ත ස්වරයක් හෝ විය හැකි ය.
පහත නිදසුන් විමැසීමෙන් සන්ධි ස්වර විකල්පනය වන ආකාරය පැහැදිලි වේ:
1. එ+අ > ඈ
දෙ+අත > දෑත, දෙ+අවුරුදු > දෑවුරුදු
2. එ+ඇ > ඈ
දෙ+ඇස > දෑස, දෙ+ඇළ > දෑළ
3. අ+ඉ > එ
මහ+ඉසුරු > මෙහෙසුරු, මහ+ඉසි > මෙහෙසි
4. අ/ආ+ඉ/ඊ ඝ ඒ
මහා+ඊශ්වර > මහේශ්වර, නර+ඉන්ද්‍ර > නරේන්ද්‍ර
5. අ/ආ+ඒ > ඓ
ගුණ+ඒකදේශ > ගුණෛකදේශ
6. අ+උ > ඔ
මහ+උර > මොහොර, ලඹ+උර > ලඹොර > ලඹෝර
7. අ/ආ+උ/ඌ > ඕ
සම+උෂ්ණ > සමෝෂ්ණ, මහා+උදර > මහෝදර
8. අ/ආ+ඕ > ඖ
දන්ත+ඕෂ්ඨජ > දන්තෞෂ්ඨජ, මහා+ඕඝ > මහෞඝ
'සන්ධි ස්වර' පිළිබඳ මේ විග්‍රහය සංස්කෘත ව්‍යාකරණයේ දැක්වෙන්නේ 'සන්ධ්‍යක්ෂර' යනුවෙනි. සංස්කෘතයේ ඇ'කාරයත් හ්‍රස්ව එ'කාර - ඔ'කාර යුගලයත් නැති බැවින් සංස්කෘත ව්‍යාකරණය අනුව සන්ධ්‍යක්ෂර (සන්ධි ස්වර) වනුයේ 'ඒ, ඓ, ඕ, ඖ' යන චතුෂ්කය පමණි. 'සන්ධ්‍යක්ෂර' යි කී විට ප්‍රස්‍තුත අක්ෂර කිහිපය ස්වර ද ව්‍යඤ්ජන ද යන බවක් ඒ නමින් හෙළි නොවන බැවින් 'සන්ධ්‍යක්ෂර' යන්නට වඩා .සන්ධි ස්වර. යන පාරිභාෂිකය හැමතින් ම සුදුසු ය.
ද්වියුක්ත ස්වර (සංයුක්ත ස්වර) යනුත් සන්ධි ස්වර (සන්ධ්‍යක්ෂර) යනුත් වෙන් වෙන් ව වටහාගත යුතු එකිනෙකින් ඉඳුරා ම වෙනස් සංකල්ප දෙකක් බව මේ විග්‍රහයෙන් පැහැදිලි වනු ඇති.
Subscribe to:
Posts (Atom)