Thursday, October 5, 2017

සිංහලයෙන් ලොවට ගිය තත්සම තද්භව භේදය


ලෝකයේ භාෂා අධ්‍යයන ඉතිහාසය විමසා බැලුවා ම ප්‍රධාන සම්ප්‍රදාය දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ ප්‍රාචීන සම්ප්‍රදායය (Oriental Tradition) සහ ප්‍රතිචීන සම්ප්‍රදායය (Western Tradition) යනුවෙන්. ප්‍රාචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ භාරතය. ප්‍රතිචීන සම්ප්‍රදායයේ නිජභූමිය වුණේ පුරාණ ග්‍රීසිය. පුරාණ භාරතීය භාෂාඥයන් සංස්කෘත භාෂාව පිළිබඳ සූක්ෂ්ම විග්‍රහාත්මක අධ්‍යයනවල යෙදුණ කාලයේ පුරාණ ග්‍රීක භාෂාඥයන් කෙළේ භාෂාව ගැන දාර්ශනික සංවාදවල යෙදීම. මේ නිසා ප්‍රාචීන සම්ප්‍රදායය ප්‍රතිචීන සම්ප්‍රදායයට වඩා බොහෝ ඉදිරියෙන් පැවති බව ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් (Leonard Bloomfield), ඩබ්. ඇස්. ඇලන් (W. S. Allen) වගේ නූතන වාග්විද්‍යාඥයන් පවා පිළිගෙන තියෙනවා. නූතන උච්චාරණ විෂයක ශබ්ද ශික්ෂාඥයන් (Articulatory Phoneticians) පාණිනිට සදා ණය ගැති බව වරක් ලෙනාඩ් බ්ලූම්ෆීල්ඩ් ප්‍රකාශ කරලා තිබුණා. ඒ විදියට ප්‍රාචීන සම්ප්‍රදායයෙන් ප්‍රතිචීන සම්ප්‍රදායය උකහා ගත්ත තවත් එක් වාග්විද්‍යාත්මක සිද්ධාන්තයක් ගැන හෙළි දරවු කිරීම තමයි මේ කෙටි ලියැවිල්ලේ අරමුණ.

සිංහල භාෂාව අධ්‍යයනය කරන කවුරුත් පාහේ තත්සම, තද්භව, නිෂ්පන්න කියන වර්ගීකරණය ගැන දන්නවා. මේක භාෂාවක ප්‍රකෘති ගැන නෛරුක්තික දෘෂ්ටියෙන් (Etymological Perspective) ඉදිරි පත් කරලා තියෙන විශිෂ්ට වර්ගීකරණයක්. සිංහල භාෂාවේ විද්‍යමාන ආදිතම ව්‍යාකරණය වන ‘සිදත් සඟරාව’ තමයි සිංහල භාෂාවේ ප්‍රකෘති මුලින් ම මෙහෙම නිරුක්ති අනුව වර්ග කරලා දක්වන්නේ. ඒත් මේක ‘සිදත් සඟරාව’ ලියපු ප්‍රතිරාජ පරිවේණාධිපති අනවමදර්ශී හාමුදුරුවන් ම ගොඩ නඟපු වර්ගීකරණයක් නෙවෙයි. උන් වහන්සේත් මේ වර්ගීකරණය අරගත්තේ පුරාණ භාරතයේ හිටපු ප්‍රාකෘත භාෂාඥයන් ගෙන්. ප්‍රාකෘත භාශාඥයන් තත්සම, තද්භව, දේශීය යනුවෙන් මේ භේදය දක්වලා තියෙනවා. තත්සම කියන්නේ සංස්කෘත භාෂාවෙන් ඒ විදියට ම නොවෙනස් ව ගත්ත ප්‍රකෘතිවලට. තද්භව කියන්නේ ප්‍රාකෘත භාෂාවේ වර්ණ සංස්ථිති (Syllable Structures) සහ ශබ්ද විස්තෘති (Phonemic Distribution) අනුව හැඩගස්වලා සංස්කෘත භාෂාවෙන් ගත්ත ප්‍රකෘතිවලට. ඔවුන් දේශීය කිව්වේ ප්‍රාකෘත භාෂා ව්‍යවහාර කළ ප්‍රදේශවල බිහි වුණ ප්‍රකෘතිවලට. ඒ නිසා ඒ ප්‍රකෘතිවලට සංස්කෘතයෙන් නිරුක්ති දක්වන්න බැහැ. අනවමදර්ශී හාමුදුරුවන් නිෂ්පන්න කියලා හැඳින්නුවේ මේ දේශීය කියන ප්‍රකෘති වර්ගය ම තමයි.     

මේ වර්ගීකරණය  මුලින් ම දක්වපු ප්‍රාකෘත භාෂාඥයා කවුද කියලා හරියට ම කියන්න තරම් දැනුමක් අපට නැහැ. ප්‍රාකෘත වාක්කෝශය සූක්ෂ්ම විදියට විශ්ලේෂණය කරලා ‘පාඉඅලච්ඡි’ කියන නිඝණ්ඩුව ලියපු ධනපාලත්, ඒ මත පදනම් වෙලා ‘දේශීය නාම මාලා’ නම් නිඝණ්ඩුව ලියපු හේමචන්ද්‍රත් ප්‍රාකෘත භාෂාවල තිබුණ දේශීය ප්‍රකෘති ගොනු කරලා දක්වලා තියෙනවා. ඒ ප්‍රකෘතිවලට සංස්කෘත භාෂාවෙන් නිරුක්ති දක්වන්න බැහැ. කොහොම වුණත් මේ තත්සම, තද්භව, දේශීය කියන වර්ගීකරණය අනුව තමතමන් ගේ භාෂාවල ප්‍රකෘති වර්ග කරන්න හින්දී, පඤ්ජාබි, සින්ධි, ගුජරාති, ඔරියා, බෙංගාලි වගේ නූතන ඉන්දු-ආර්ය භාෂාවලට ව්‍යාකරණ ලියපු ව්‍යාකරණඥයන් පෙලඹුණා. ඔවුන් අනුයමින් මලයාලම්, කණ්ණඩ, දෙමළ භාෂාවල ව්‍යාකරණඥයනුත් තමතමන් ගේ භාෂාවල ප්‍රකෘති වර්ග කළා. ‘සිදත් සඟරාව’ ලියපු අනවමදර්ශී හාමුදුරුවන් මේ වර්ගීකරණය ගත්තේ ප්‍රාකෘතයෙන් වෙන්න ඕන. ‘වීරසෝලියම්’ කියන දෙමළ ව්‍යාකරණයෙන් ‘සිදත් සඟරාව’ යම් ආභාසයක් ලබලා තියෙන බව ඇත්ත. තත්සම, තද්භව, දේශීය කියන වර්ගීකරණය ‘වීරසෝලියම්’ ව්‍යාකරණයේ තියෙනවා ද නැද්ද කියලා වෙන ම හොයලා බලන්න ඕන. ඒකට ප්‍රමාණවත් දෙමළ දැනුමක් අපට නැහැ. දෙමළ ව්‍යාකරණයකින් ගත්තා වුණත් මේ වර්ගීකරණයේ නිර්මාතෘවරු ප්‍රාකෘත භාෂාඥයන් නිසා අනවමදර්ශී හාමුදුරුවන් මේ වර්ගීකරණය ගත්තේ ප්‍රාකෘතයෙන් ය කීමේ ලොකු වරදක් නැහැ.
 

නූතන සිංහල ව්‍යාකරණඥයන් කිහිප දෙනෙක් ම මේ වර්ගීකරණය ගැන වැදගත් අදහස් දක්වලා තියෙනවා. ඒ අතර කුමාරතුංග මුනිදාස, නිතලව සිරි ඤාණිස්සර හාමුදුරුවෝ, ඩබ්. ඇස්. කරුණාතිලක කියන විද්වතුන් විශේෂ යි. තත්සම, තද්භව, නිෂ්පන්න කියන පාරිභාෂික පද වෙනුවට කුමාරතුංග භාවිත කරන්නේ ආනීත, අනුපාතිත, දේශීය කියන පද. ඒක නිකම් හිතුවක්කාර වචන මාට්ටුවක් නෙවෙයි. විශේෂයෙන් ම නිෂ්පන්න කියන පාරිභාෂිකයට වඩා දේශීය කියන පාරිභාෂිකය සුදුසු ඇයි ද කියන එක කුමාරතුංග සාධක සහිත ව පෙන්නාදෙනවා. දැන් ඇතැම් ඓතිහාසික වාග්විද්‍යාඥයනුත්
Borrowing (ඍණිත පදය) කියන පාරිභාෂිකයට වඩා Importation (ආනීත පදය) කියන පාරිභාෂිකයට කැමැත්තක් දක්වනවා. ඒ ප්‍රතිචීන වාග්විද්‍යාඥයන් දැන් දැන් නඟන තර්ක ඊට අඩ සියවසකට විතර කලින් තමයි කුමාරතුංග ඉදිරි පත් කළේ. නිතලව හාමුදුරුවන් නිෂ්පන්න ප්‍රකෘතිවල දක්වන මූල නිෂ්පන්න සහ නිෂ්පාදිත නිෂ්පන්න කියන ප්‍රභේද දෙකත් ඉතා වැදගත් නිරීක්ෂණයක්. ඒ වගේ ම නියම තද්භව සහ කවි කෘත තද්භව යනුවෙන් කරුණාතිලක ඉදිරි පත් කරන තද්භව ප්‍රකෘතිවල ප්‍රභේදයත් ඊට කලින් වෙන කිසිවෙක් දක්වලා තිබුණ එකක් නෙවෙයි. මේ ප්‍රභේද ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම මේ ලිපියේ මාතෘකාවට අදාළ නැහැ. අපට අවශ්‍ය වුණේ ප්‍රාකෘත භාෂාඥයන් දක්වපු මේ වර්ගීකරණය සිංහල භාෂාඥයන් පෝෂණය කරපු හැටි කියන්න විතර යි.

තත්සම, තද්භව, දේශීය කියන නෛරුක්තික වර්ගීකරණය සිංහල භාෂාවට ගත්තේ ප්‍රාකෘතයෙන් වුණත් මේක ලෝකයට ගියේ සිංහල භාෂාවෙන්. ඇත්තට ම ප්‍රතිචීන භාෂාඥයන් මේ ගැන දැනගෙන තව ම අවුරුදු සියයක් වත් ගත වෙලා නැහැ. සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත ආදි ප්‍රාචීන භාෂා පිළිබඳ විශාරදයෙක් වුණ ජර්මන් ජාතික ඓතිහාසික වාග්විද්‍යාඥ විල්හෙල්ම් ගයිග්ර්ට හිටියා ගෝළයෙක් හෙයබට් ග්යුන්තර් කියලා. ඔහුත් වියෙනා විශ්වවිද්‍යාලයයේ මහාචාර්යවරයෙක්. 1943 දී ඔහු ‘සිදත් සඟරාව’ ජර්මන් භාෂාවට පරිවර්තනය කළා. දෙවැනි ලෝක මහා යුද්ධය නිසා මේ පොත හරි හැටි සංසරණය වුණේ නැහැ. ඒත් කොහොම හරි ඩබ්. බේට්ස් කියන භාෂාඥයා 1959 දී ජර්මන් භාෂාවේ ප්‍රකෘති තත්සම, තද්භව යනුවෙන් වර්ග කළා. ඔහු තත්සම සඳහා
Fremdwort කියන පාරිභාෂිකයත්, තද්භව සඳහා Lehnwort කියන පාරිභාෂිකයත් යෙදුවා. ජර්මන් භාෂාවෙන් Fremdwort කියන එකේ අර්ථය Foreign Word (විදේශීය පදය); Lehnwort කියන එකේ අර්ථය Loan Word (ඍණිත පදය). මේක හරි දුර්වල නාමකරණයක්. තත්සම සහ තද්භව කියන නම් දෙකෙන් ඒ සංකල්ප දෙකේ ලක්ෂණ පැහැදිලි ව ප්‍රකට වුණාට Fremdwort සහ  Lehnwort කියන නම් දෙකෙන් එහෙම වෙනසක් ප්‍රකට වෙන්නේ නැහැ. සවිස්තර නිර්වචන දුන්නේ නැත්නම් වචන දෙක බලපු ගමන් කාට වුණත් හිතෙන්නේ දෙක ම එකක් කියලා. මේ හින්දම Fremdwort සහ  Lehnwort කියන දෙකේ සීමා නිර්ණය කරගන්න ජර්මන් භාෂාඥයන්ට අවුරුදු පණහක් විතර ගත වුණා. ඔවුන් අතරේ මේ ගැන දීර්ඝ සංවාද, ප්‍රතිවාද සිදු වුණා. ඔවුන් මේ දෙවර්ගය හඳුනාගැනීමේ නිර්ණායක පිහිටුවාගත්තේ බොහොම මෑතක දී.

ඉංගිරිසි භාෂාඥයන් තත්සම, තද්භව භේදය හරියට දැනගෙන තව ම අවුරුදු දහයක් වත් නැහැ. ඉංගිරිසි භාෂාවේ ඍණිත පද ගැන පුරෝගාමී අධ්‍යයන කරපු අයිනර් හෝගන්
(Einor Haugen), චාල්ස් එෆ්. හොකට් (Charles F. Hockett) වගේ වාග්විද්‍යාඥයන් කිසිවෙක් එහෙම වර්ගීකරණයක් දක්වලා තිබුණේ නැහැ. ඔවුන් එහෙම නො කළේ ඉංගිරිසි භාෂාවට ඒ වර්ගීකරණය අදාළ නැති නිසා නෙවෙයි; ඔවුන් එහෙම වර්ගීකරණයක් දැනගෙන හිටියේ නැති නිසා. ඉංගිරිසි භාෂාඥයන්ට තත්සම, තද්භව භේදය පැහැදිලි ව හඳුන්වාදුන්නේ 2008 දී එස්මි වින්ටර්-ෆ්රොයිමෙල් (Esme Winter-Froemel) කියන භාෂාඥයා. ජර්මන් භාෂාවේ තිබුණ Fremdwort සහ  Lehnwort කියන වර්ගීකරණය Foreign Word සහ Loan Word යනුවෙන් ඔහු ඉංගිරිසියට හඳුන්වාදුන්නා. ඊට කලින් ප්‍රාචීන භාෂා ගැන ඉංගිරිසියෙන් පොත් ලියපු ඇතැම් විද්වතුන් tatsama loans සහ tadbhawa loans වගේ යෙදුම් ඒ පොත්වල භාවිත කරලා තිබුණත් ඒවා ඒ පොත්වලින් එහාට ගියේ නැහැ. ඒ විදියට ඉංගිරිසි භාෂාවේ ප්‍රකෘති වර්ග කරන්න හරි වෙන යම් ප්‍රතිචීන භාෂාවක ප්‍රකෘති වර්ග කරන්න හරි ඒ කිසිවෙක් වෑයම් කරලා තිබුණේ නැහැ. ඉංගිරිසි භාෂාවෙන් තව මත් මේ සඳහා පැහැදිලි සම්මත පාරිභාෂික දෙකක් නැහැ. තත්සම කෙසේ වෙතත් තද්භව සඳහා integrated borrowings, assimilated borrowings, adapted borrowings ආදි නාම රාශියක් එක් එක් ලේඛකයෝ යොදනවා. මේ වර්ගීකරණය ගැන ඉංගිරිසියෙන් ලියපු අවස්ථාවක අපි තත්සම සඳහා adopted borrowings යන්නත් තද්භව සඳහා adapted borrowings යන්නත් යෝජනා කළා. ඒ පද දෙකෙන් තත්සම සහ තද්භව යන සංකල්ප දෙක වඩා පැහැදිලි ව ප්‍රකට වෙන බව යි අපේ අදහස.

කොහොම වෙතත් මේ කෙටි ලියැවිල්ලෙන් අපට පෙන්නාදෙන්න ඕන වුණේ තත්සම සහ තද්භව කියන ප්‍රකෘති විෂයක නෛරුක්තික වර්ගීකරණය ලෝකයට ගියේ සිංහල භාෂාවෙන් බව. 1943 දී හෙයබට් ග්යුන්තර් කරපු සිදත් සඟරා පරිවර්තනයෙන් සහ ඒ අනුව යමින් 1959 දී ඩබ්. බේට්ස් ලියපු ලිපියෙන් ජර්මන් භාෂාඥයන් මේ සංකල්ප දැනගත්තා. 2008 දී ඒ ජර්මන් භාෂාඥයන් ගේ මතවාද අනුසාරයෙන් එස්මි වින්ටර්-ෆ්රොයිමෙල් ලියපු ලිපියෙන් ඉංගිරිසි භාෂාඥයන් මේ සංකල්ප දැනගත්තා. මේ අනුව තත්සම, තද්භව, දේශීය කියන වර්ගීකරණයේ නිර්මාතෘවරු ප්‍රාකෘත භාෂාඥයන් වුණත් නූතන ශාස්ත්‍ර ලෝකය ඒ ගැන දැනගත්තේ ‘සිදත් සඟරාව’ ජර්මන් භාෂාවට පරිවර්තනය වීමත් එක්ක. මේ වර්ගීකරණය පෝෂණය කරමින් නිතලව සිරි ඤාණිස්සර හාමුදුරුවන් සහ ඩබ්. ඇස්. කරුණාතිලක වගේ සිංහල භාෂාඥයන් ඉදිරි පත් කරපු ප්‍රභේද ගැන නම් තව ම ප්‍රතිචීන භාෂාඥයන් දන්නා බවක් පෙන්න නැහැ. ඉංගිරිසි භාෂාවට විතරක් නෙවෙයි තවත් බොහෝ භාෂාවලටත් මේ ප්‍රභේද අදාළ යි. සංස්කෘත භාෂාවෙන් ලොවට ගිය වාග්විද්‍යා සංකල්ප බොහොමයක් තිබුණත් සිංහල භාෂාවෙන් ලොවට ගිය වාග්විදා සංකල්පයක් වශයෙන් අපි දන්න විදියට තියෙන්නේ මේක විතර යි. අපි මේ ලිපියෙන් හෙළි දරවු කරන කල් තත්සම, තද්භව භේදය ලොවට ගියේ සිංහලයෙන් බව සිංහල භාෂාඥයන් දැන හිටියේ නැති බව කියන්න පුළුවන්.

මේ ලිපිය අපි කරපු වෙනත් දීර්ඝ අධ්‍යයනයක අතුරු පලයක්. ඒ සඳහා අපට අවශ්‍ය වුණ ඇතැම් දුර්ලභ ශාස්ත්‍රීය කෘති සපයාදුන් මහාචාර්ය අශෝක ප්‍රේමරත්න, ඇතැම් ජර්මන් වචනවල අර්ථ නිරුක්ති කියාදුන් කථිකාචාර්ය ජයමල් ද සිල්වා, මේ ගැන යමක් ලියන්නට අප පෙලඹවූ රාජකීය පණ්ඩිත ගිනිකටුවැවේ විපුල හිමි යන විද්වතුන්ට අපේ ගෞරවයත් ස්තුතියත් හිමි යි.

2017. 10. 06
දිවයින වටමඬල     
         

No comments:

Post a Comment