දේශපාලන විචාරකයකු වසයෙන් කුමාරතුංග මුනිදාසයන්
කළ කී දෑ නිසි පමණ කතාබහට ලක් වනු අසන්නට නො ලැබෙන තරමි. එ බඳු කතාබහකට යම් පමණකට
හෝ ප්‍රවේශයක් සැපැයූ එක මැ තැනැත්තාණෝ ‘කුමාරතුංග ගේ සමාජ දර්ශනය’ රචනා කළ හරිශ්චන්ද්‍ර
විජේතුංගයෝ යැ. භාරතයේ සංස්කෘතික සහ දේශපාලනික බල ව්‍යාප්තිය හෙළ දිවැ ස්වෛරී
භාවයට හානි පමුණුවන ආකාරය එ දා කුමාරතුංගයන් මැනැවින් විශ්ලේෂණය කොටැ තිබේ. ස්වදේශ
මිත්‍රයා, ලක් මිණි පහන, සුබස, The Helio වැනි පුවත්පත් සඟරා ආදියට ඔවුන් සැපැයූ
ලිපි ඉඳුරා මැ ඒ අදහස් පළ කරයි. මේ තතු නැවැත නැවැතත් විමැසීම කාලෝචිත වන්නේ ආර්ථික,
දේශපාලනික සහ සංස්කෘතික වසයෙන් හෙළ දිව ගිල-ගැනීමට භාරතීය එට්කා ආක්‍රමණය සැරැසෙමින්
සිටිනා බැවිනි.
වරක් දේවානම්පිය තිස්ස රජු ගැනැ ලියූ කුමාරතුංගයෝ
ඔහු භාරතයට පරම දීනයකු වැ සිටි බව සසාධක වැ සනාථ කළහ. ඔවුන් ගේ විග්‍රහය අනුව ලිස්බනයට
දීන වැ සිටි දොන් ජුවන් ධර්මපාල රජු ද එතරම් දීනයෙක් නො වී යැ. හුදු බල ලෝභය නිසා
මහා ජන සංහාරයක් කළ භාරතයේ අශෝක රජු ‘ධර්මාශෝක’ කිරීමත්, බුදු සසුනේ චිරස්ථිතිය
පිණිස යුද වැදුණු හෙළ දිවැ ගැමුණු රජු ‘දුෂ්ට ගාමිණී’ කිරීමත් භාරතයේ කුමන්ත්‍රණයක්
බව ද කුමාරතුංගයෝ මොනොවට පැහැදූ හ. බුදුන් පහළ වූ දඹදිවැ ඉපැදෙන්නට පතනා තත්කාලීන ජනප්‍රිය
සිංහල බෞද්ධයා ගේ දීන චින්තනය ද කුමාරතුංගයන් ගේ නිරන්තර උපහාසයට ලක් වී. කුමරතුඟු
පබඳ ඇසුරු කළ ඇත්තෝ මේ තතු දනිති. එබැවින් දීර්ඝ වසයෙන් මෙහි ලා ගෙන හැරැ පෑම නිසි
නො වේ.
කුමාරතුංගයන් ගේ ළමා කතාවලින් හෙළි වන භාරත
විරෝධය පිළිබඳ වැ මෑතෙකැ දී අපට අසන්නට ලැබුණේ කොළොඹැ සරසවියේ ලලිතසිරි ගුණරුවනුන්
පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයෙකිනි. මිතුරු වෙසින් පැමිණෙන එට්කා ආක්‍රමණයේ සැබෑ
පරමාර්ථ හඳුනා-ගැනීමට අසමත් වීමේ දුර්විපාක පැහැදිලි කිරීම සඳහා ඔහු තුමූ කුමාරතුංගයන්
ගේ ‘මඟුල් කෑම’ කථා වස්තුව භාවිත කළහ. ඒ වූකලී මනා විග්‍රහයෙකි. කුමාරතුංගයන් ගේ ‘හීන්සැරය’
ද දේශපාලන කථා වස්තුවක් බව ඒ වන විටත් බොහෝ විචාරකයන් පෙන්වා-දී තිබිණි. කුමාරතුංගයන්
ලියූ අනෙක් ළමා කතාව වන ‘හත්පණ’ එ බඳු දේශපාලන අන්තර්ගතයෙකින් සපුරා විමුක්ත දැ යි
අපි මඳක් විමැසූමු. ඒ කථා වස්තුව පුරා පල් මෝඩයකු ලෙස නිරූපිත ‘කිරි හාමි’ ගේ නම ගැනැ
අපට කල්පනා වූයේ එ විටැ යැ.
‘කිරි හාමි’ යනු සංස්කෘත භාෂාවට පෙරැළූ කලැ ‘ක්ෂීර
ස්වාමීන්’ යනු යි. ‘ක්ෂීර ස්වාමීන්’ නම් වූයේ පුරාණ භාරතයේ වුසූ බ්‍රාහ්මණයෙකි. ගුප්ත
යුගයේ වික්‍රමාදිත්‍ය රජ දවසැ වුසූ අමරසිංහ ආචාර්යයන් ගේ ‘අමරකෝශයට’ සැපැයුණු
ආදිතම ව්‍යාඛ්‍යානය වූ ‘අමරකෝශෝද්ඝාටනය’ ලීවේ ‘ක්ෂීර ස්වාමීන්’ හෙවත් ‘කිරි හාමි’ යැ.
එහෙවු භාරතීය පණ්ඩිතයකු ගේ නමින් පල් මෝඩයකු හැඳින්වීම හුදු අහම්බයක් නො වන බව අප
ගේ මෘතිකත්වය යි. ජාතක පොත ලියූ කුරුණෑගල් යුගයේ ලේඛකයන් එහි නොයෙක් තැනැ දඹදිවැ
බමුණු පඬිවරුන් උපහාසයට ලක් කළ සේ මැ කුමාරතුංගයන් ‘කිරි හාමි’ ගේ මෝඩකම් ගැනැ
ලීවේ ‘ක්ෂීර සාමීන්’ වැනි දඹදිවැ බමුණු පඬිවරුන් ගේ මුග්ධ විශ්වාස
උපහාසයට ලක් කරනු පිණිසැ වියැ නොහැකි ද?
No comments:
Post a Comment