ඇත්තට ම කතා කරන විදියට ලියන එකේ කිසි වරදක්
නැහැ. කතා කරන විදියට ලියනවා කියන එකෙන් මා අදහස් කරන්නේ කතා කරන බසේ තියෙන ව්‍යාකරණ
රටා (sentence
patterns) පමණක් ලේඛනයට යොදා-ගත යුතු යි කියන ඒක. එහෙම
නැතුව කතා කරන බසේ තියෙන සියලු ම ලක්ෂණ ලේඛනයට ගන්න ගියොත් ඒක මහ අවුලක් වෙනවා.
උදාහරණයක් විදියට කතා කරන බසේ සන්ධි වැඩි යි. කතා කරන කොට ඇති වෙන සියලු ම සන්ධි ඒ
විදියට ම ලියන්න ගියොත් සමහර විට වාක්‍ය පිටින් ම සන්ධි වෙන්න පුළුවන්. ඒ නිසා කතා
කරන බසේ තියෙන උච්චාරණ ලක්ෂණ (articulatory features) අනුව ලේඛනයේ
වචන ලියන්න යමකු උත්සාහ කරනවා නම් ඔහු මුලින් ම න-ණ, ල-ළ භේදය, ෂ-ශ භේදය හා
අල්පප්‍රාණ-මහාප්‍රාණ භේදය ආදිය අත්හරින්න ඕනෑ. මොකද ස්වාභාවික භාෂණයේ උච්චාරණය
වන්නේ එක න'යන්නකුත්, එක ශ'යන්නකුත්, අල්පප්‍රාණ
අකුරුත් විතරක් නිසා. මේක උච්චාරණ විෂයක ශබ්ද විද්‍යාවේ (articulatory phonetics)
පර්යේෂණවලින් සනාථ කළ සත්‍යයක්. හැබැයි උත්ප්‍රාසය කියන්නේ කතා කරන සිංහලය ම ලියන්නත්
සම්මත කරගන්න ඕනෑ කියන කෙනකු වන අජිත් තිලකසේන මහත්තයා සිංහල මිනිස්සුන් ගෙ කටින්
මහාප්‍රාණ අකුරු නො කියැවෙන බව දන්නෙ නැති එක. ඔහු න-ණ, ල-ළ භේදය හා ෂ, ශ භේදය අත
හැරියාට තව ම මහාප්‍රාණ ලියනවා.
සිංහල කියන්නේ ද්විරූපතාවක් (diglossia) ඇති බසක් කියලා මහාචාර්ය ජේ. ඩබ්. ගයර් මහත්තයා වගේ ම එතුමා ගෙ ගෝළයා වන කේ. එන්. ඕ. ධර්මදාස මහත්තයත් කියනවා. ඒත් දැන් ඒ මතය පරණ යි; සමකාලීන සිංහලයේ ත්‍රිරූපතාවක් (triglossia) තියෙන බව එක්තරා සමුළුවක දී මා පැහැදිලි ව පෙන්වා-දුන්නා. සිංහලයේ ‘ඉහළ වහර’ (high variety) හෙවත් ‘ලේඛන ව්‍යවහාරය’ සහ ‘පහළ වහර’ (low variety) හෙවත් ‘භාෂණ ව්‍යවහාරය’ කියන දෙක මැද්දේ ‘අතර මැදි වහරක්’ (intermediate variety) තියෙන බව යි මා පෙන්වා-දුන්නේ. ගයර් මහත්තයා ඒ කාලෙ මේ අතරමැදි වහර දැකලා තිබුණත් ඔහු ඒක හැඳින්නුවේ භාෂණයේ ම උපප්‍රභේදයක් ලෙස. ඔහුට අනුව සිංහලයේ භාෂණ ව්‍යවහාරය ඇතුළේ ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ තමා විධිමත් භාෂණ ව්‍යවහාරය (formal spoken variety), අවිධිමත් භාෂණ ව්‍යවහාරය (colloquial spoken variety). ඔහු විධිමත් භාෂණ ව්‍යවහාරය ලෙස හැඳින්වූ භාෂා ස්වරූපය එකල භාෂණයට පමණක් සීමා වෙලා තිබුණු බව ඇත්ත. ඒත් අද ඒ භාෂා ස්වරූපය ඕනෑ තරම් ලේඛනයෙත් යෙදෙනවා. අන්න ඒ භාෂා ස්වරූපය තමා ‘අතර මැදි වහර’ (intermediate variety) යනුවෙන් මා හඳුන්වන්නේ. දැන් හුඟක් සති පතා පත්තරවල තීරුලිපි ලියැවෙන්නේ ඔය ව්‍යවහාරයෙන්. කොටින් ම මා මේක ලියන්නෙත් ඒ ව්‍යවහාරයෙන්. ඒක දැන් භාෂණ-ලේඛන යන මාධ්‍ය (modes) දෙකෙන් ම ඉදිරිපත් වන නිසා, ඒ වහර ඇත්තට ම වර්තමාන සිංහල භාෂාවේ ඉහළ කාර්ය විස්තෘතියක් (functional distribution) අත් කර-ගන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක අපි විකල්ප ලේඛන රීතියක් (alternative writing style) හැටියට පිළිගන්න මැළි වෙන්න ඕනෑ නැහැ. එහෙම විකල්ප ලේඛන රීතියක් හැටියට සම්මත කරගන්න කොට භාෂණයේ තියෙන කොයි කොයි ලක්ෂණ ලේඛනයට යොදා-ගන්නවා ද කියන කාරණේ ගැන පොදු සම්මුතියක් තියෙන්න ඕනෑ. ඒ ගැන ‘භාෂණ සිංහලය ප්‍රමිත කිරීම’ යන මැයින් මහාචාර්ය අශෝක ප්‍රේමරත්න මහත්තයා ලිපියක් ලියා තියෙනවා. ඒක සංස්කෘති සඟරාවේ 25 වැනි කලාපේ 01 වැනි අංකයේ පළ වුණා.
සිංහල විතරක් නෙවෙයි ඕනෑ ම භාෂාවක සජීවී ව්‍යවහාරය තමා කතා කරන බස. ලියන බස කියන්නේ කතා කරන බසට වඩා සියවස් ගණනක් පරිණාමය අතින් පිටිපස්සෙන් තියෙන භාෂා ස්වරූපයක්. හැබැයි නිර්මාණාත්මක ලේඛකයා දැන-ගන්න ඕනෑ සුදුසු තැන කතා කරන බසත් සුදුසු තැන ලියන බසත් යොදා-ගන්න. කතා කරන බස එක ම ලේඛන ව්‍යවහාරය හැටියට සම්මත කරගන්න ඕනෑ කියලා යමකු කියනවා නම් ඒකට මා විරුද්ධ යි. එහෙම කළොත් මතු පරපුරට ලියන සිංහල බැරි වීම නිසා අපේ සම්භාව්‍ය සාහිත්‍යය කියවන්න බැරි වෙලා-යනවා. ඒක මහ අපරාධයක්. අනික් අතට මහාචාර්ය ජේ. බී. දිසානායක මහත්තයා පෙන්වා-දෙන හැටියට වර්තමාන සිංහලයේ ලේඛන ස්වරූප තුනක් තියෙනවා. එක: සම්භාව්‍ය ලේඛන ව්‍යවහාරය. හෙළ හවුලේ අය ප්‍රමුඛ පිරිසක් ඒ ව්‍යවහාරය භාවිත කරනවා. දෙක: සමකාලීන ලේඛන ව්‍යවහාරය. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පටන් මේ දක්වා බොහෝ ලේඛකයන් භාවිත කරන්නෙත් පාසල්වල උගන්වන්නෙත් ඒ ව්‍යවහාරය. තුන: සමතික්‍රමණ ලේඛන ව්‍යවහාරය. ඒක තමා ඔය කට වහරින් ලිවීම. මේ ව්‍යවහාර තුන ම භාවිත කරන අය ඉන්නවා. ඒ නිසා මෙයින් එකක් විතරක් අවශ්‍ය යි කියලා කෑ ගහනවා නම් ඒක අසාධාරණ යි. මොකද යම් ලේඛකයකු ගෙ භාෂා රීතිය යනු ඔහු ගේ අභිමතය හා අනන්‍යතාව.
මේ ගැන යමක් ලියන්නැ යි අපෙන් ඉල්ලා-සිටි සඳුන් ප්‍රියංකර විතානගේ සොහොවුරාට ස්තුති යි.
No comments:
Post a Comment