Friday, January 30, 2015

සමකාලීන ගාලු පුර ප්‍රාදේශික ව්‍යවහාරය පිළිබඳ වාග්විද්‍යාත්මක අධ්‍යයනයක්


ජන වහරේ යෙදෙන ජීව භාෂාවක් කලින් කලටත් පළින් පළටත් වෙනස් වීම ලෝ දහම යි. යම් බසක් කතා කරන භාෂක සමාජයක් (
Speech Community) සැතැපුම් සිය-දහස් ගණනෙකින් විසාල භූගෝලීය ප්‍රදේශයෙක පැතිරැ-ගිය කල, පෙදෙසින් පෙදෙසට බස් වහරේ විවිධතා ඇති වේ. මෙ කී ප්‍රදේශ අතරෙහි සන්නිවේදනය ඝනත්වය (Density of Communication) දුබල වීමත්, උපසංස්කෘතික පරිසරයන්හි බල-පෑමත් (Sub-cultural Contact) මෙ ලෙස බස් වහර වෙසෙස් වෙස් ගැනීමට ප්‍රධාන හේතු ලෙස වාග් විද්‍යාඥයෝ දක්වති. මෙ ආකාරයට ප්‍රාදේශික වසයෙන් බස් වහරෙහි දක්නා ලැබෙන විශේෂතා හැදෑරීම භූගෝලීය වාග්විද්‍යාව (Geographical Linguistics) නම් වේ.

භූගෝලීය වපසරිය අනුව බෙහෙවින් කුඩා කොදෙවුවක් වුව ද ශ්‍රී ලංකාවේ නොයෙක් පෙදෙස්හි පවත්නා සමාජ-සංස්කෘතික විශේෂතා මත බිහි වූ ප්‍රාදේශික උපභාෂා ව්‍යවහාර (
Regional Dialects) බොහෝ දැක්ක හැකි ය. පියසේන කහඳගමගේ, මහාචාර්ය ජේ. බී. දිසානායක වැනි වියත්තු සිංහළයේ ප්‍රාදේශික ව්‍යවහාර පිළිබඳ ව බොහෝ පිරියෙසුම් කැරැ ඇත්තෝ ය. ඔවුන් ‘රුහුණු සිංහළය’ (Southern Sinhala) යනුවෙන් හඳුන්වන, ‘දකුණු පළාත් උපභාෂාව’ අනෙක් ප්‍රාදේශික උපභාෂා  ව්‍යවහාරවලට සාපේක්ෂ වැ ප්‍රකට බවක් පෙන්නුම් කරයි. මේ අධ්‍යයනය එ කී සාම්ප්‍රදායික ‘රුහුණු සිංහළය’ ගැන කැරෙන පූර්ණ විමර්ශනයෙක් නො වේ; මෙහි ලා විෂයය වනුයේ ගාලු නගරයෙන් සැතැපුම් දෙකක්-දෙකහමාරක් පමණ නුදුරින් පිහිටි බෝපේ, කුඹල්වැල්ල, රිච්මන්ඩ් කන්ද යන අර්ධ නාගරික ප්‍රදේශයන්හි ශේෂ ව පවත්නා සමකාලීන ප්‍රාදේශික ව්‍යවහාර විතර යි.

මේ අධ්‍යයනයේ දී සාහිත්‍ය පරිශීලනය
(Literature Review), සහභාගීත්ව නිරීක්ෂණය (Participative Observation), සම්මුඛ සාකච්ඡා (Interview) යන ක්‍රමවේද ඉවහල් කොටැ-ගැනිණි. සාමාන්‍යයෙන් උපභාෂාවක් පිළිබඳ ව සිදු වන වාග්විද්‍යාත්මක අධ්‍යයනයෙක දී ඒ වහරෙහි ශබ්දෝච්ච්චාරණය (Pronunciation), වාක්කෝෂය (Vocabulary), ව්‍යාකරණය (Grammar) යන ඉසවු තුන මැ සංස්පර්ශ කැරෙන මුත්, මෙහි දී අප අවධානය යොමු වූයේ වාක්කෝෂය වෙත පමණි.

ගාල්ලේ එක් වැඩිහිටියකු ගෙන් අප තොරතුරු විතාළ විට, “ඔයැයි මක්කටෙයි මේව හොයන්නෙ?” යි හෙතෙමෙ අප ගෙන් ඇසී ය. ඔහු ගේ ඒ පැනය ම ගාලු උපබසෙහි විශේෂ යෙදුම් කිහිපයක් පෙන්නුම් කරයි. සම්මත උපභාෂාවේ (
Standard Dialect) “ඔයා” යි යෙදෙන සර්වනාම පදය ගාල්ලේ දී “ඔයැයි” බවට පත් වේ. එ ලෙස ම “එයා”, “මෙයා” යන සර්වනාම පදත් ගාලු වැසියන් ගේ වහරේ “එයැයි”, “මෙයැයි” බවට පත් වේ. “මෙයැයි කියන දෙයක් අහන ඉළන්දාරියෙක් නෙවෙයි” කියා ගාල්ලේ වැඩිහිටියකු දොස් නඟනුයේ අකීකරු තරුණයකුට ය. “මක්කයි?”,  “මක්කටෙයි?” වැනි පද ගාල්ලට වඩා සුලබ ව හමු වනුයේ මාතර වහරේ ය. “මක්ක ද?”, “මක්කට ද?” ඈ පදත් මීට පර්යාය වැ භාවිත වේ. “කුමකට ද?” යන්න කට වහරෙහි විපරිණාමය වීමෙන්  “මක්කට ද/ මක්කටෙයි” වැනි යෙදුම් නිපන් බව යි, අපට පෙනෙනුයේ: “කුමකට  > මකට  > මක්කට” යනුවෙනි. ප්‍රශ්නාර්ථයේ “ද” නිපාතය වෙනුවට “අයි/එයි” වැනි අන්තයක් ද ගාලු වහරේ කියැවේ. යමකු බෙහෙවින් පමා වූ විටෙකැ දූරකථනයෙන් අමතා “ඔයැයි දැම්ම එනවයි?” කියා ඇතැමෙක් අසති. “ඔයයි මායි” යනුවෙන් සම්මත කට වහරේ එන යෙදුම ඇතැම් විට “ඔයැයිතුයි මායිතුයි” ආදී වසයෙන් ගාලු වහරේ යෙදේ. ඔයැයි+ත්+යි > ඔයැයිතුයි, මා+යි+ත්+යි > මායිතුයි යනුවෙන් සමුච්චිතාර්ථයේ “ත්” හා “යි” යන නිපාත දෙක ම මෙහි යෙදෙන බවෙක් පෙනේ. 

වත්මන් ගාලු නාගරිකයේ ව්‍යවහාර වන ඤාති නාමවල (
Kinship Terms) නම් සම්මත උපභාෂාවට වඩා වෙනස්කම් ඇත්තේ මඳ විසිනි. “අම්මා-තාත්තා, ආච්චි-සීයා, නැන්දා-මාමා, අයියා-අක්කා, නංගි-මල්ලි” යන පද ඔහු ව්‍යවහාර කෙරෙති. මේ අතරින් “අම්මා-තාත්තා, ආච්චි-සීයා, අයියා-අක්කා, නංගි” යනු දෙමළ බසින් ඍණීකෘත පද (Loaned Words) යි. මෙ පෙදෙස්හි “බාප්පාට” ඇතැමකු “බාප්පොච්චි” කියා කියනුයේ බහුමානයෙනි. “අප්පොච්චි” වැනි වහරක් මෙහි නැතත් “බාප්පොච්චි” යන්නක් ව්‍යවහාර වීම විශේෂත්වයෙකි. “පුඤ්චි අම්මලා” මතු නො වැ ගාල්ලේ “බාලම්මලා”, “මද්දු අම්මලා” හා “හින්නි අම්මලා” ද සිටිති. “පුඤ්චි අම්මා” යනු අම්මා ගේ බාල සහෝදරිය යි. අම්මාට බාල සහෝදරියන් කිහිප දෙනකු සිටින විට “බාලම්මලා”, “මද්දු අම්මලා” හා “හින්නි අම්මලා” කරළියට එති. ඇතැම් උපබසෙක “අම්මණ්ඩි” (අම්මා+ණ්ඩි) යනු ගරු අරුත් දනවතත් ගාල්ලේ කතකට “අම්මණ්ඩි” යි කිය හොත් “කුඩ පාරක්” ලැබෙනු නියත ය. එ සේ ම තම වයසට වඩා “පැහිච්චකම්” කරන “කොලු-කුරුට්ටකු” අරබයා “ඕකා හරි බාප්පෙක්” කියා කියනු ලැබේ. “කුරුට්ටා” යන වදනෙහි ප්‍රකෘතිය “කුරුටු” බව අප ගේ නිරික්සුම යි. කුඩා යන අරුත දෙන “කුරු” යන්නට “අටු” යන ස්වාර්ථ තද්ධිතය එක් වීමෙන් “කුරු+අටු>කුරුටු” යන්න නිපැදී ඇති සේ ය. ඒ අනුව “කොලු-කුරුට්ටා” යනු කුඩා කොලුවා යැ.       

ගාලු නාගරිකයේ “මහත්තුරු” (මහ+ අත් +වරු) ද බහුල ය. “ලොකු මහත්තයා, පොඩි මහත්තයා, හින්නි මහත්තයා, හිච්චි මහත්තයා, බේබි මහත්තයා, සුදු මහත්තයා,
කළු මහත්තයා, රතු මහත්තයා, රන් මහත්තයා” ආදීහු ගාල්ලේ බොහෝ වෙති. මේවා බොහෝ විට වැඩිහිටියන් තම දරුවන් කුඩා කල සිට මැ ඇමැතූ සුරතල් නම් (Pet Names) ය. මේ අය අතරෙන් ඇතැම් මහත්තුරුන් පිට පෙදෙස්වල ද සිටිය හැකි නමුදු “හින්නි මහත්තයලා” සහ “හිච්චි මහත්තයලා” ගාල්ලෙන් හා මාතරින් පිට සුලබ නැත. ගාල්ලේ “නෝනලා” ද වෙති. ඇතැමෙක් “හින්නි නෝනලා” ය; ඇතැමෙක් “හිච්චි නෝනලා” ය; ඇතැමෙක් “සුදු නෝනලා” ය. විශේෂණ නැති නිකම් ම “නෝනලා” ද  “එමට යි”. මේවා ද සුරතල් නම් ය. දෙමාපියනට අමතර ව ගමේ සමහර “ඈයන්” ද මේ නම් කියා එකිනෙකා අමතනුයේ හිතවත්කමට ය. “ඈයෝ/ඈයන්” යනු “අය” යන සර්වනාමයෙහි විපරීතයෙකි. මාර්ටින් වික්‍රමසිංහ ගේ සාහිත්‍ය කෘතිවල ද මේ වහර හමු වේ. එ හෙත් වෙනත් පළාත්වල අයට මෙ වදනින් සිහි වනුයේ “කැබැල්ලෑවා” (Anteater) ය. කෙ සේ වෙතත් “දාංගලේ” ඇති “මහත්තුරුන්” සමඟ යොවුන් වියේ “නෝනලා” වැඩි “බජනෙට” යනවාට ඔවුන් ගේ දෙමාපියෝ නොකැමැතියහ. “ඕකුන් එක්ක ඇයි-හොඳයියක් නැතුවට කමක් නැහැ” යි ඔහු තරවටු කරති. සකු, පෙළ බස්හි “ඇසුරු කිරීම” යන අරුත දෙන “භජ්” ධාතුවෙන් සිද්ධ “භජන (භජ්+අන)” යන වදන ඔවුන් උසුරුවන්නේ  “බජනෙ” යනුවෙනි. සිංහළයාට කිසි දාකැ මහාප්‍රාණ කියැවෙන්නේ නැත.

ඉදිරිපිට දී ගෞරවයෙන් කතා කරන විට “නෝනා”, “මහත්තයා” යි කියන්නෝ ම නැති තැන නිග්‍රහ බස් බෙණෙන්නට ද  රුසියෝ ය. “කරන්නා” යන අරුත දෙන “කාරයා” යන සකු වදන කෙනකු ගේ නමක “අග්ගිස්සට” ආඳතොත් ඒ නම් හොඳක් කියන්නට නො වේ. “මුදලාලිකාරයා හද්ද කුණා” යි කීවොත් ඉන් අදහස් වන්නේ “මුදලාලි මහා ලෝභයකු” බව යි. “ජේමිස් කාරයා ම-ගේ රුපියල් සීයකට විද්දා” යි කියතොත් ජේමිස් රුපියල් සියයක් වඤ්චා කළ බවක් හෝ සොරකම් කළ බවක් හෝ ඇඟැවේ. “හද්ද” යනු බෙහෙවින් යනු යි. “හද්ද පිටිසර” යි කියන්නේ බොහෝ දුෂ්කරතා ඇති ඌන සංවර්ධිත ප්‍රදේශවලට ය. පාසලේ දී කැපැවීමෙන් නූගන්වන ගුරුවරයකු අරබයා “ඒ සර්
හද්ද අයිස්කාරයා” යි ගාලු සිසුන් “ආඩපාළි” කීවොත් එහි අරුමයෙක් නැත. ගුරුකම් දීම ඇදුරා ගේ කාරිය වියැ යුතු බැවිනි. එ හෙත් ගාල්ලේ නම් “ඇදුරා” යි කියන්නේ පාසල් ගුරුවරයාට ම නො වේ; කට්ටඩියෝ ද එ නමින් ගැණෙති. “ගුරුකම්” යනුත් “යාතුකර්ම” යන අරුතින් යෙදේ.              

“වැඩ බැරි වුණත් ගම ගාල්ලේ” යි ඇතැමුන් අවමානයට කියන බස ගාලු වැසියෝ “එහෙම්පිටිම්ම” පිළිකෙව් කෙරෙති. ඔවුනට ඕනෑ ම දෙයක් “කජ්ජු කනවා වාගේ” ය. ඒ නිසා “වැඩත් ඇහැකි - ගමත් ගාල්ලේ” යනුවෙන් ඔහු පවසති. එ+හැම+පිටින්+ම > එහැමපිටින්ම > එහෙමපිටින්ම > එහෙම්පිටිම්ම යනුවෙන් මේ පදය වහරට අවුත් තිබේ. “කජු” යි සම්මතයේ හැඳින්වෙන පලතුර ගාල්ලේ දී “කජ්ජු” යැ. “කජ්ජු පුහුලම්” ද “රට කජ්ජු” ද යනු කජ්ජු ජාති ය. “ඇහැකි” යනුදු ගාලු වහරේ අනන්‍යතාවෙකි. “අ+හැකි > ඇහැකි” යනු ඒ පදයෙහි නිපැත්ම යි. “ශක්‍ය” යන සංස්කෘත පදයෙන් බිඳී ආ “හැකි” යන්නට ගාලු වැස්සන් එක් කරන “අ” යන අතිශයාර්ථ උපසර්ගය නිසා එහි අරුත ප්‍රබලතර වේ. ඒ නිසා ඔවුනට වැඩ බැරි යැ යි කීම “ටොම්පචයකි”. මේ පදය “ඇහැක්” යන රූපාන්තරය ද ගනී. ගාල්ලේ එක්තරා ගුරුවරයකු පිට පළාතකට මාරුවක් ලබා ගොස්, “ඇහැක් විදියකට කනක් අඳින්නැ” යි සිසුනට කියා “සමච්චලේට” ලක් වූ බව ගාල්ලේ අය ම කියති.   

“මේ කෑමවලට හින්නො වහලා” යි ඉස්සර අපේ තාත්තා කියනු අප අසා තිබේ. ගාලු ජනයා  “හින්නො” යි කියන්නේ කුහුඹුවනට ය. දැන් නම් තාත්තා ගේ වහරිනුදු මෙ වදන දුරස් වී ඇත. විද්‍යාචක්‍රවර්තීන් ගේ  බුත්සරණේ පවා කුඩා කුහුඹුවන් හැඳින්වීමට “සිනි
-සකසිනි” යන වදන් යෙදී තිබේ (සෝරත හිමි, 2000: 05). මේ පදයෙහි නාම ප්‍රකෘතිය “සිනි” යනු යි. එය දෙමළ බසෙහි කුඩා යන අරුත දනවන ‘சின்ன (සින්න) යන වදන හා නෑකම් ඇත්තෙක් දැ යි නෛරුක්තිකයන් විමැසිය යුතු ය. කෙසේ වුව කුහුඹුවාට “හින්නා” යි කියනුයේ ඌ බෙහෙවින් කුඩා සෙයිනි. “මේ හින්නෙක්කිතර විස්කොත්තක් කාල ඇතෙයි?” කියා යමකු කියන්නේ කුඩා විස්කෝතුවක් කා-ලා මදි බව පැවැසීමට ය. “හින්නෙක්+විතර > හින්නෙක්කිතර” යනු “කූඹියකු විතර” යන අර්ථය යි. එ සේ ම “හිච්චි” යන පදය ද ගාලු උපභාෂාවේ අල්පාර්ථය සූචනය කරයි. “බෝතලේ තෙල් හිච්චක්කත් නැහැ” යි කීවොත් තෙල් බිඳකුදු නැති වග වටහා-ගත යුතු ය. “හින්නි මහත්තයලා” සහ “හිච්චි මහත්තයලා” ගාල්ලෙන් හා මාතරින් පිට සුලබ නැතැ යි ඉහතැ කියන ලද්දේ අල්පාර්ථය සඳහා යෙදෙන “හින්නි, හිච්චි” වදන් වෙනත් උපභාෂාවන්හි විරල බැවිනි.       

එළවළු-පලතුරු සඳහා ද ගාලු ජන වහරේ පැනෙන අපූරු නාම කිහිපයෙක් වේ. “කජ්ජු” ගැන මින් පෙර සඳහන් කැරිණි. “වතුකැන” යන වදන වත්මන් ව්‍යවහාරයෙහි අත්‍යල්ප වෙතත් තව ම ගාල්ලේ අය “වතුමොය” ව්‍යඤ්ජනය කති. “වතුකැන” යනු කෙසෙල් කැන යි; “වතුමොය” යනු කෙසෙල් මල යි. “දිවුල්” යනුවෙන් හැඳින්වෙන පලතුර ගාල්ලේ දී “ජූල්” වෙයි. “ජූල්” හා “දිවුල්” යන පද දෙකින් වඩාත් වෘද්ධතර වනුයේ කිමෙක් දැ යි විනිසිය යුතු ය. මන් ද යත් සිංහළ වදන් පරිණාමයේ දී ජ’යන්න - ද’යන්නට පෙරැළුණු අවස්ථා දැක්ක හැකි බැවිනි. බෙහේජ් > බෙහෙද් > බෙහෙත්, ඇජුරු > ඇදුරු, අඦුන් > අඳුන් ආදිය නිදසුනි. “ජූල්” හා “දිවුල්” අතර ඇත්තේ ද මෙ වැනි සබැඳියාවක් විය හැකි යි. කෙවතුදු ඉහත සඳහන් රිච්මන්ඩ් කන්දේ සිට යාර එකසිය පනහක් පමණ නුදුරේ “ජූල්ගහ හන්දිය” නම් සිවුමංසලක් තිබේ. ඊට “දිවුල්ගහ හන්දිය” යි කියන්නෝ ගාල්ලට පිටින් ආවාහු යැ. “අනෝදා” නම් පලතුර ගාල්ලේ සමහරුනට “අනෝනා” නමි. නො පැසුණු පොල් ගෙඩිය “කුරුම්බා” නම් වේ. ළපැටි කුරුම්බාවට “වෑවර” යැ යි කියනු ලැබේ. හොඳින් මෝරා නැති පොල් “කලටි” ය. කෙවතුදු “ගිනිකූටෙ” පයින් යන මනුස්සයකුට “වෑවරයක්” පිළිගන්වන තැනැත්තා ආගන්තුක සත්කාර හඳුනන්නෙකි.

ගාල්ලේ අය පොල් ලෙලි
-ගහන්නේ නැත; ඔහු පොල් “ඔයති.” පොල් ඔයන්නේ පොල් උලෙනි. “ඔයනවා (ඔ+යනවා)” යන ක්‍රියා පදය ගාල්ලේ අනන්‍යතාවක් බඳු ය. ගාලු වහරේ එන තවත් ක්‍රියා පදයෙකි, “හගිස්සනවා” යන්න. මෙය සිංහළයේ අවභාවිත ක්‍රියා පදයෙකි. යමකු කී දැයක් සැබෑ දැ යි නිශ්චය කැරැ-ගැනීමට තව අයකු ගෙන් විමසා-බැලීම “හගිස්සනවා”  නම් වේ. “මෙහෙ එන්න එපා, ඔය එකෙකා ගෙ කේලං හගිස්සන්න” යි ගාලු ජනයා “කඩා-පනින්නේ” තරහ-ගිය විට ය. “කඩා-පනිනවා” මෙන් ම “තරහ-යනවා” යනු ද ගාල්ලේ බහු භාවිත සංයුක්ත ක්‍රියා පද (Composite Verbs) ය. තරහ “යනවා” නම් ඉතින් කෝපයක් තිබෙන්නට විදියක් නැතැ යි මේ වහර නුහුරු අය කල්පනා කෙරෙති. “ලෑස්ති-වෙනවා” යන ක්‍රියා පදය ගාල්ලේ දී ඇසෙන්නේ “ලේස්ති වෙනවා” යනුවෙනි. එහි ස්වර විපර්යාසයක් වී ඇත. “හැඩි-කරනවා” යනුත් ගාලු වහරේ සංයුක්ත ක්‍රියා පදයෙකි. ඊ අරුත කිලිටි කරනවා යනු යි. “මේ ළමයි මුළු ගේ ම හැඩි-කරල, හරියට වල් විහාරෙ වගේ” යි අම්මලා කියති. “හඩු+ඉ>හැඩි” යන්නෙහි අරුත ‘හඩු බවෙන් / කිලිටිබවෙන් යුතු’ යනු යි. තව ද “වල්” යනු කැලෑව යි; “විහාරය” යනු පන්සල යි. කැලෑවේ ඇති පන්සල “වල් විහාරය” යි. එය “අතුපතු ගා-ලා” පිරිසුදු කරන්නට කෙනෙක් නැත. එ බැවින් අපිළිවෙළ යි. “ගොහොදු-වෙනවා” යනු වැසි කාලයේ දී ගාලු ජනයා ගේ මුවට නැඟෙන සංයුක්ත ක්‍රියා පදයෙකි. වතුර වැටීමත්, පයට පෑගීමත් නිසා පොළොව මඩ වූ විටැ මෙ සේ කියනු ලැබේ. “ඔතන ගොහොදු කරන්නෙ නැතුව හිටහන්” වැනි අනාදර විධානයක් ගාල්ලේ වැඩිහිටියකු ගෙන් අසන්නට ලැබිය හැකි ය. “හිටපන්, කරපන්, කියපන්” වැනි විධානක්‍රියා පද (Commands) ගාල්ලේ දී “හිටහන්, කරහන්, කියහන්” යන වෙස් ගනී. ඒවාහි ම බහුවචන රූප “හිටහල්ලා, කරහල්ලා, කියහල්ලා” ඈ වෙසින් සිටී. එ තන්හි හ’කාරාදේශය වී ඇත. “ඕන එකෙකුට කියහල්ල, මං බය නෑ යකෝ!” යි කියන්නේ “හයිකාරයෙකි”. ශක්ති > සවි > සයි > හයි  යනු ඒ පදයේ පරිණාමය යි.

ගාල්ලේ හ’කාරාදේශයේ අඩුවෙක් නැත. “උස, කෙසෙල්, දිසාව” වැනි වදන් ගාල්ලේ දී ඇසෙන්නේ “උහ, කෙහෙල්, දිහාව” ඈ විසිනි. ස්ථානාර්ථයේ “අස” යන වදන ද එහි දී “අහ” යන රුව ගෙන යෙදේ. “ඕන අහක පලයං” කියා කෝප වූ විට බැණැ
-වැදුණු අය ම “අනේ, ඒ මනුස්සයා මොන අහක ගියා ද මන්දා” යි කියමින් සොයන්නේ වහා හිත උණු වන බැවිනි. උස් බිමෙක පිහිටි නිවෙසකට “උඩහ (උඩ+අහ)” යි කියන මේ අය පහත් බිමෙක පිහිටි නිවෙසකට “පල්ලෙහ (පල්ලෙ+අහ)” යි කියත්.       

ජන මාධ්‍යයන් ඔස්සේ සම්මත උපභාෂාව ව්‍යාප්ත වීම නිසාත්, නාගරිකකරණය නිසාත් අදින් දසක කිහිපයකට පෙර මෙ පෙදිස්හි වහරේ පැවැති බොහෝ යෙදුම් මේ වන විට වියැකී
-ගොස් ඇති බවෙක් පෙනේ. එ හෙත් ව්‍යවහාරයෙන් නො ගිලිහුණු යෙදුම් ද නොමඳ බව මෙහි දැක්වුණු තතු ඇසුරින් නිගමනය කළ හැකි යි. ගාලු දිසාවේ ග්‍රාමීය ප්‍රදේශයන්හි නම් තව මැ බොහෝ ව්‍යවහාර විශේෂතා දක්නා ලැබේ. මේ විමැසුමට ඒවා අවිෂයය යි. කෙසේ වෙතත් වත්මන් ගාලු පුරයේ අර්ධනාගරික පරිසරයෙහි ව්‍යවහෘත ප්‍රාදේශික උපභාෂාව (Regional Dialect of Semi-urban Galle) පිළිබඳ ව යම් අවබෝධයක් ලැබීමට මේ සංක්ෂිප්ත විමර්ශනය ඉවහල් වනු ඇතැ යි විශ්වාස කරම් හ.


ආශ්‍රිත ග්‍රන්ථ

කුමාරතුංග, මුනිදාස (1936). සංක්ෂිප්ත දශ කුමාර චරිත ප්‍රදීපය. කොළොඹ: පහන් පහර.

කහඳගමගේ, පියසේන (1998). ප්‍රාදේශීය ව්‍යවහාර. කොළොඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

දිසානායක, ජේ. බී. (1976). සිංහල ජන වහර. කොළොඹ: සී/ස. ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම.

සෝරත හිමි, වැලිවිටියේ (සංස්.). (2000). විද්‍යාචක්‍රවර්තීන් විසින් විරචිත බුත්සරණ (නව මුද්‍රණය). කොළොඹ: සී/ස. සමයවර්ධන ප්‍රකාශකයෝ.

Gunasekara, A. M. (1891). A Comprehensive Grammar of the Sinhalese Language (Reprint -    1999)
. New Delhi/Madras: Asian Educational Services

(මේ ලිපිය 2014 වසරේ දී සහෘද ප්‍රසාදි ශාස්ත්‍රීය සංග්‍රහයේ  මංගල කලාපයේ පළ වූ අතර දිවයින පුවත් පතෙහි වටමඬල අතිරේකයේ ද පළ විය)

1 comment:

  1. ප්‍රාදේශික ව්‍යවහාරය ගැන කලෙකින් කියැවූ රසබර, හරවත් ලිපියක්. ගාලු පුරවරයේ වාක්කෝෂයෙහි අර්ථ නිෂ්පත්තිය නම් කදිමයි. පෙර නොඇසූ බොහෝ දෑ දනගතිමි.

    මගේ තාත්තාගේ් උපන් ග⁣ම අලව්ව බද නවතල්වත්ත නමැති ගමෙකි. එ-ගමෙහි මගේ පිය පාර්ශ්වයෙන් "හින්නි/හිච්චි" යන පද අසන්නට ඇත. තාත්තාගේ අයියා⁣ට "හින්නි මහත්තයා"යි ගම්මු කියති. තාත්තාගේ මවගේ නැඟණිය "හින්නි අම්මා" යනුවෙන් අමතනු ලැබෙයි. තවත් මෙබඳු නෑකම් ඇත. ඊට හේතුව දැන් විසඳා ගතිමි. තාත්තාගේ මවගේ පියා ගාල්ලෙහි ය. ඒ භාවිතය එකල ඒ ගමෙහි ම මඳ වශයෙන් පැතිරී ඇති බව හැඟෙයි.

    මේ සටහන මවෙත යොමු කළාට නොවක් තුති වේ වා! කදිමයි ගනුෂ්ක අයියේ.

    ReplyDelete